කොහෝ කොහෝ......මොනමගුලට කොහෝ කියනවදෝ....?



නන්දා මාලිනී "ප්‍රේමයේ මධුර බව මෙයයි" කියලා " ඔබයි රම්‍ය සඳ කිරණ .." සිංදුව කිව්වා වගේම "ප්‍රේමයේ රුදුරුබව මෙයයි" කියල "දෙතොලම පුපුරා ලේ ගැලුවා.." සිංදුව කිව්වා මතක ඇති. හැම දේකම දෙපැත්තක් තියනවලුනේ. මෝඩයාගේ දවසෙන් අවුරුදු මාසෙත් උදා වෙලා. උදේට උදේට ඇහෙන කොහාගේ සද්දෙත් එක්ක එලිවුනු වෙලේ ඉඳන් රෑ වෙනකල් මාකටිං කාරයොන්ගෙ අවුරුදු මාකටිං, අවුරුදු සේල්, රතිඥ්ඥා සද්දෙන් "අවුරුද්දේ සොඳුරු බව මෙයයි" විදියේ මිහිරි හැඟීමක් නිතැතින්ම  හිතට ගලාගෙන එනවා. ටීවී වල, රේඩියෝවල, පත්තර වල නං අවුරුදු අසිරිය බේරෙනවා හෝ ගාලා.  ඒත් ඉතිං  ආර්ථික අපහසුතා තියෙන , පවුලේ වගකීම් දරන, වැඩකරන මිනිස්සුන්ගේ හිතට "අවුරුද්දේ රුදුරු බව මෙයයි" විදියේ හැඟීමකුත්  නොදැනීම වගේ හිතට එන බව මටත් දැනිල තියනවා. හැමෝටම "මේ අවුරුදු කාලේ .. තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ" හිනාවෙන්න බෑ.

පොඩි කාලේ අම්මල තාත්තල වැඩිහිටියෝ කතාවෙනකොට "අවුරුද්දත් එනවා.. අපිව කන්න" කියල නිතරම කියවෙනවා මං අහල තියනවා. "මේ මොන විකාරයක් කියනවද, අලුත් අවුරුද්ද එන එක කොයි තරම් ෂෝක්ද ..."  පුංචි කාලෙ මගේ හිතට දැනුනේ එහෙමයි . පාරතොටේදි අලුත් අවුරුද්දෙ මිනිස්සු එකිනෙකා හම්බුනාම "ආ... කොහොමද.. අවුරුදු සරුයිද?" කියල අහනකොට "වරදක් නෑ..., අවුරුදු ජයයි" කියනවට වැඩියෙ අහන්න හම්බවෙන්නෙ " මොන සරුවක්ද" එහෙමත් නැත්තං "සල්ලි තියනවනං හැමදාම අවුරුදු.." වගේ බොහොම හුරුපුරුදු වචන සෙට් එකක්.  
 රටක ආර්ථිකේ කචල් වෙනකොට , මිනිස්සු අතේ මුදල් ගැවසෙනව අඩු වෙනකොට එදා වේළ අමාරුවෙන් කාලා ජීවත්වෙන මිනිස්සුන්ට "උත්සව කාලෙදි" වැඩිපුර මුදල් වියදම් කරනවා කියන්නෙ බොහොම අමාරු දෙයක්. සම්ප්‍රදාය බිඳින්නත් බෑ. ඒ "අවුරුදු සම්ප්‍රදාය"ත් එක්ක එන සතුට, කෙළිලොල් බව බලාපොරොත්තුවෙන් ඉන්න පොඩි එවුන්ගෙ හිත් නොසතුටෙන් තියන්නත් බෑ. තමන්ගෙ අම්මල තාත්තලට "අවුරුදු සම්ප්‍රදාය රකින්න" ගෙනැත්දෙන ඇඳුම්-කැඩුම් ටික අරගෙන නොදිත් බෑ. පොඩි කාලේ අවුරුදු කාලා පුරුදු , හිතට නිතැතින්ම ගලාගෙන එන සොම්නස් සිතිවිල්ල දියාරු කරලා අරින්නත් බෑ. ඒ නිසාවට අගහිඟකම් පිරිලා ඉතිරිලා ගියත් "අවුරුදු සිරිය" ගෙදරට ගේන්නම වෙනව. අනිත් එක සාමාන්‍ය පන්තියෙ මිනිස්සු අවුරුද්ද පුරාම බොහෝවිට අඳින්නෙ ඔය අවුරුද්දට ගන්න ඇඳුම් කෑලි ටික විතරයි. ඒ ටික ගත්තෙ නැත්තං ඒකත් නෑ.


කතෝලිකයන්ට නත්තල සැමරුවත් එක්කම ලබන ජනවාරි පළවෙනිදට විතරයි අවුරුදු එන්නෙ. අපේ මිනිස්සු ලවා ඒකත් බලෙන් "සමරවන්න" මාකටිං කාරයොන්ට පුළුවන් වෙලා. කතෝලිකයන්ට අවුරුද්දකට එකපාරක් විතරක් සමරන්න, පාටි දාන්න වෙන වැඩේම අපේ එවුන්ට දෙපාරක් කරන්න වෙලා. උන්ට යවන්න වෙන්නෙ "Happy new year" කියල එක SMS එකයි. අපේ උන් ජනවාරි පළවෙනිදට ""Happy new year" එක අරින්නත් ඕන අප්‍රේල් මාසෙ මැද "සුභ අලුත් අවුරුද්දක් වේවා" එක අරින්නත් ඕන. SMS එකේ ඉඳන් පටන්ගන්න වියදම අපේ උන්ට ඩබල් වෙනවා ඔය වැඩෙන්. උන්ට තියෙන්නෙ එක "බෝතල්" මාසයයි. අපේ උන්ට දෙකයි.  මැයි මාසෙ වෙසක් දවස් දෙකට විතරක් නිකං කන්න දන්සැල් හම්බුනත් ඊට කලින් ගෙවල් වලට දන්සැල් වලට සල්ලි එකතුකරන්න එන උදවියට දෙන සල්ලි වලින් සතියක් කඩෙන් කන්න පුළුවන්. 

අවුරුදු කන එක වගේම වෙසක් සමරන එකත් මගාරින්න, අතෑරල දාන්න පුළුවන් දේවල් නෙවෙයි. හැබැයි ඉතිං ඔය හැම එකටම වියදම් කරන්න මිනිස්සුන්ට සල්ලි ඕන. අත් අතේ සල්ලි නෑ. අපේ මිනිස්සු නිකං ඉන්නෙත් නෑ. හැම වෙලාවකම බැලුවොත් වැඩ. සල්ලිත් හම්බවෙනවා .ඒත් එව්ව වාෂ්පවෙන විදිය ගැන කියන්න දෙයියන්ට වත් බෑ. දෙයියො හම්බවෙන්න කපුවෙක් ගාවට ගියාම ඌ පුරුද්දට කියන කතාවම තමයි ඇත්තටම වෙන්නෙ. "සල්ලි හම්බ කරනවා... ඒත් ඉතුරුවක් නෑ".... කාගේද වැරැද්ද? මිනිස්සුන්ගේද? ආර්ථිකය හරියට කළමනාකරණය නොකරන ආණ්ඩුවෙද? එහෙමත් නැත්තං අපේ ජීවිත වලට කිසියම් හෝ අදාළත්වයක් නැති හැම ලබ්බම බලෙන් කරගස්සවන "මාකටිං" කාරයොන්ගෙද? ප්‍රශ්නම තමා...


අවුරුදු කාලෙට නගරවල පාරවල්, රෙදි සාප්පු, මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිං. "අපිට සල්ලි නැති උනාට මිනිස්සුන්ට සල්ලි තියනව, නැත්තං ඔච්චර කොහොමද මිනිස්සු රෙදි කඩවල් වල ඉන්නෙ? මිනිස්සුන්ට අවුරුදු සරුයි, අපිට නැති උනාට " - හැමෝටම ඒ විදියට හිතෙන්න පුළුවන්.  ඒත් යථාර්තය ඒක නෙවෙයි. තමන්ට ඇඳුමක් ගත්තෙ නැතත් පොඩි එවුන්ට ඇඳුම් කෑල්ලක් අරන් දෙන්න, අම්මට තාත්තට අඳින්න චීත්ත කෑල්ලක්, සරොම් කෑල්ලක් අරන් දෙන්න, පොඩි එකාට ආසාවට පත්තු කරන්න නිලා පෙට්ටියක්, බඹර චක්කර දෙකතුනක් අරන්දෙන්න ටවුමට නොයන්නෙ කවුද? ඒ විදියට හිතුවොත් අලුත් අවුරුද්ද නමට හෝ සමරන හැම පවුලකම එක සාමාජිකයෙක්හරි ටවුමට යනවා. එතකොට ටවුන් වල රෙදි කඩ පිරිලා ඉතිරිලා යන එක අහන්නත් දෙයක්ද? පාරෙ යන එන ගමන් මිනිස්සු රෙදි කඩවල් වලට ගිහිං අරන් එන ඉටි බෑග් දිහා හොඳට බලන්න. බෑග් මළු අතින් කටින් එල්ලගෙන යන මිනිස්සු ඉන්නෙ කීයෙන් කීදෙනාද? බොහොමයක් දෙනෙක්ගෙ අතේ පොඩි මල්ලක් දෙකක් තියේවි. දුප්පත් මිනිහෙක් පවුලෙ හතරපස් දෙනෙක්ට අවුරුද්දම අඳින්න අරගෙන යන ඇඳුම් තමයි  ඔය පොඩි මල්ලේ දෙකේ තියෙන්නෙ. ඒ ඇඳුම් කඩේකට ගිහිං බැලුවොත් රාක්ක, හැඟර් වල තියන ඇඳුම් දිහා බලන්නෙ වත් නැතුව ලොකු පෙට්ටි වල සේල් දාල තියන ඇඳුම් ගොඩවල් අවුස්සන මිනිස්සු කොච්චර නම් දකින්න හම්බවෙනවද.. වඩාගෙන යන පොඩි එකා නිලා පෙට්ටියක් ඉල්ලලා අඬද්දි ගිණිකෙළි කඩ ඉස්සරහින් අහක බලාගෙන යන මිනිස්සු කොච්චරක් නම් ඉන්නවද..
කල්‍යාණ මිත්‍රයා බෝනස් කපපු කතන්දරේ ගැන දාල තිබ්බ විස්තරේ නිසාවටයි මේ සම්බන්ධව ලියන්න හිතුනෙ. බෝනස් ඒකත් අරගෙන කරන්න පුළුවන් ප්‍රමාණයට වැඩිය ටිකක් හරි හොඳින් අලුත් අවුරුද්ද සමරන්න හිතාගෙන හිටපු මිනිස්සුන්ගෙ මූණු කළු වෙච්ච හැටි ඌ එතන ලියල තිබුණ. සාමාන්‍ය ජීවිතේ ගැටගහගන්න දඟලනකොට අනුන්ට ගෙවන්න තියන පොඩි පොඩි හෝ ණය මුදල් ආපහු දෙන්න ඕන කියන මතය අලුත් අවුරුද්දත් එක්කම එන දෙයක්. අවුරුද්ද අලුත් නම් පරණ දේවල් ඉවර කරලා තියෙන්න ඕන. විශේෂයෙන් හැමදාම පඩිය දෙනකල් අහල පහළ කඩෙන් ණයට ගන්න බඩු වලට ගෙවන්න ඕන මුදල. ඔය ණය මාසයක් ගානෙ රබර් වගේ ඇදි ඇදී ගිහිං ලොකු ගානක් එක්කහු වෙලා හිරවෙන්නෙ අවුරුදු මාසෙදි. එක ගෙවන්න මුළු පඩියම වියදම් වෙනව. අවුරුද්ද පුරාවට ආණ්ඩුවේ හෝ වේවා පෞද්ගලික හෝ වේවා තමන්ගෙ ආයතනයේ කඹුරණ මිනිස්සුන්ට අලුත් අවුරුද්ද සමරන්න වැඩිපුර මුදලක් දෙන එක ලොක්කොන්ගේ යුතුකමක් විදියටයි මම නං දකින්නෙ. කෑම ටිකක් හදල පොඩි උන්ට කන්න දීල තමුනුත් සප්පායම් වෙන්න පුළුවන් තරමට බඩු වල මිළ අඩුකරන එක ආණ්ඩුව විසින් කරවන්න ඕන කියලයි මම නම් කියන්නෙ. හැමදාමත් මැරි මැරී තමන්ගෙ පවුල ජීවත් කරවන්න දඟලන මිනිස්සුන්ට අවුරුද්දකට වතාවක් වත් සතුටින් ඉන්න දෙන්න ඕන. ඒ විදිහෙ දීමනාවක් ලැබෙනවනම් අඩුමතරමේ මිනිස්සු අවුරුද්දට කෑවෙ ඇන්දෙ නැතත් හිතේ නිදහසින් ඉඳීවි. එහෙම නැතුව  "අවුරුද්ද කියන්නෙ අපිව කන්න ආපු එකක්" කියන සිතිවිල්ල හිතේ දරාගෙන දහසක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඉස්සරහට හම්බවෙන මිනිස්සුන්ට මූනිච්චාවට "සුබ අලුත් අවුරුද්දක් වේවා!!" කියන කිවිල්ලෙන් වැඩක් තියනවද?
මට හොඳට මතකයි පුංචි කාලේ අවුරුද්දට ගෙනැල්ල දෙන්නෙ ඇඳුම් තුනයි නම් අවුරුද්ද දවසට  තුන් පාරකට ඒ ඇඳුම් තුන මාරු කර කර අඳිනවා. තාත්තා ගෙනත් දෙන රතිඥ්ඥා පෙට්ටිය කොටස් කීපෙකට බෙදලා නැකත් වලටත් පත්තු කරන්න ඉතුරු කරගෙන සැරින් සැරේට පත්තු කරනවා. උඩහ ගෙදර ලොකු මාමා හැම අවුරුදු මාසෙම ගෙනත් දෙන නිලා පෙට්ටිය හම්බෙනකල් බලාගෙන ඉන්නවා. පොඩි කාලේ අවුරුද්දට අපිට කොච්චර නම් වැඩ තිබුනද. ඒ දේවල් අපිට අහිමි වෙලා තිබ්බ නම් පුංචි හිත් වලට කොයිතරම් නම් දුකක් දැනේවිද? ඒ දේවල් අහිමි වෙන පොඩි ළමයි කොච්චර නම් අද සමාජෙත් ජීවත් වෙනවද? නත්තල් කාලෙට දුප්පත් පොඩි ළමයින්ගෙ වොයිස් කට් දාල ("මට නත්තලට ඕන බෝනික්කෙක්" විදිහෙ) දුප්පත් ළමයින්ට යමක් දෙන්න ක්‍රියාත්මක කරන එෆ්.එම්. ව්‍යාපෘති අළුත් අවුරුද්දට පොඩි ළමයි වෙනුවෙන් ක්‍රියාත්මක නොවෙන්නෙ ඇයි? චන්දයක් එනකොට ආණ්ඩුවෙන් අඩුකරන බඩු මිළ අලුත් අවුරුද්ද කාලෙට අඩු කරන්න බැරි ඇයි? (අඩු කිරිල්ල කෙසේ වෙතත් ගිනි ගණන් යන එක නම් වෙනවා) . කොම්පැණි වලින් නත්තලට දෙන බෝනස් අවුරුද්දට නොදෙන්නෙ ඇයි? කාටද මේ අරියාදුකම් කරන්නෙ?


සුළු ව්‍යාපාරයක් හෝ කරද්දී තමන් යටතේ වැඩකරන සේවකයන්ගේ ආර්ථික තත්වය ගැන සලකල අවුරුද්ද වෙනුවෙන් පොඩිහරි බෝනස් එකක් දෙන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද. අහලපහල ළමයින්ට අවුරුද්ද වෙනුවෙන් නිලා පෙට්ටි කීපයක් හරි අරන්දෙන්න පුළුවන් නම් ඒ පොඩි එවුන්ට ඒ දේ කොච්චර නම් අගේද. අවුරුදු මාසෙ කුළී වැඩකට නමුත් ගෙදරට එන මනුස්සයෙක්ට පොඩ්ඩක් හොයල බලල කීයක්හරි වැඩිපුර දෙන්න තියනවනම් ඒ මනුස්සයට එක කොයිතරම් ශක්තියක් වේවිද.. පොඩ්ඩක් හිතල බලමු.. හැමෝම එකට සහජීවනෙන් එකම වෙලාවකට වැඩ අරඹන්න, කන්න බොන්න එකට එකතු වෙන අලුත් අවුරුද්දේ ඒ සහජීවනය අර වගේ දේවල් වලින් ශක්තිමත් වෙන්නෙ නැත්ද?  රෙදි සාප්පු ගානෙ ඇවිදිනකොට පාරේදී හම්බවෙන "කපුරු බෝල" විකුණන මනුස්සයත් ඒවා විකුණලා තමන්ගෙ දරුපැටවුන්ට අලුත් ඇඳුමක් අරන්දෙන්න , උන්ව සතුටු කරන්න යමක් කරන්න ඒ වෙළඳාමෙන් උත්සාහකරන බව මතකයෙ තියාගෙන අහක නොබලා "කපුරු බෝල පැකට්ටුවක්" අරගත්තොත් ඒ මනුස්සයගේ අවුරුද්දත් සරු වෙනවා නේද? අපේ කාර්යබහුල ජීවිත වලදී අපිට ගොඩක් දේවල් "මිස්" වෙනවා. ඒත් මේ වගේ පොඩි දේවල් නමුත් හිතේ තියාගෙන තමන්ට කරන්න පුළුවන් විදියේ උදව්වක් උපකාරයක් අපේ "මිනිස් ජාතිය" වෙනුවෙන් කරන්න පුළුවන් නම් ... අඩුම තරමෙ අවුරුදු මාසෙ වත්.
 
අවුරුදු මාසෙ පටන්ගත්ත ගමන් හාහාපුරා කියල "අවුරුද්දේ රුදුරු බව මෙයයි" කියල අවුරුද්දම කාලකන්ණි කරන්න හැදුව නෙවෙයි. මේ ගැනත් පොඩ්ඩක් හිතේ තියාගෙන අපිට අවුරුදු තිබුණට අවුරුදු නැති දස දහස් ගානක් මිනිස්සු ජීවත් වෙන සමාජෙක අපි ජීවත් වෙන්නෙ කියල අදහසක් ඔළුවට දාන්නයි මේ ටික කිව්වෙ. මොකද කලින් කිව්වා වගේ සමහර දේවල් අපට "මිස්"වෙනවා. මේ කියවිල්ලෙන්  කාටහරි සුළුවෙන් හරි උපකාරයක් සිද්ධවෙනවා නං, පොඩි එකෙක්ට නිලා පෙට්ටියක් හරි ලැබෙනවානං .... 

93 comments:

  1. සජ්ජෝ....ඔය උඹ මවාගෙන ඉන්න මොකක්ද එකක්....අපි පොලිටිසයිස් වෙලා වැඩියි...
    උඹ කිව්ව වහේ පාර පුරා රෙදි කඩ..මම මේ වෙලාවෙ ඉන්නෙ දන්දෙනියෙ..හයිවේ එකෙන් මාතරට බැස්ස වෙලාවෙ ඉඳන් දැක්කෙ අවුරුදු පොලවල්...
    අපි පොඩි කාලෙ කාපු රැග අද එක්කෙක්වත් කනවා කියලා මමනම් හිතන්නෙ නෑ දකින්නෙ නෑ..එදා කපුරු බෝල විකුනන පවුල් හිටියේ නෑ..අද උන් කොමර්ෂලයිස් වෙලා බිස්නස් පටන් අරන්.
    උඹයි මමයි වගේ පඩි ගෙවන ඇත්තො මේ මාසෙ මුල ඉඳන්ම ලෑස්තිවෙනවනේ බං ෆෙස්ටිවල් ඇඩ්වාන්ස්, අවුරුදු බෝනස් අරවා මේවා ගෙවන්න අතේ තියෙන දෙකයි පනහෙන්..එහෙම කරලා ඝෙදර ඈයොන්ටයි අම්ම තාත්තටයි අනිත් සනුහරේටත් කහටක් නැතුව බෙදනවනේ..
    ඔහොමයි හඳුන් කූරු විකුනන ඇස් පේන්නෙ නැති ජෝඩුවත්..
    අද මම පොල් කැඩුවා...හෙට ගනන් කරනවා...ඊට පස්සෙ පෝර දාන්න තියෙන සල්ලි පාවිච්චි කරලා වැඩ කොරන ඈයොන්ට අවුරුදු කන්න සපෝර්ට් එකක් දෙනවා..
    මේක කරත්ත රෝදේ වගේ කැරකි කැරකි යනවනෙ මචං...
    අපිට බෝතල් මාස දෙකක් තියෙන එක මරුය කියලා හිතලා නවලා දෙකක් දා ගන්..
    හෙට අටමා මාව බලන්න මෙහේ එනවා..උඹත් වරෙන්..ආසයි උඹව දකින්න...කතා කරන්න...

    ReplyDelete
    Replies
    1. මාත් එනවා... අද රෑ මම බද්දෙගම එනවා...

      Delete
    2. මාතේ...එලස්....නෝනා බද්දෙගම් දාලා කෝල් කරහන්...පාර කියන්න අපි ඉන්න තැනට...අටමා උදේම පිටත් වෙනවා කීවා...

      Delete
    3. ශෙෆාකි තුමා,,, මුලින්ම ආරාධනයට ස්තුති කරලම පටන්ගන්නම්. ඇත්තම කිව්වොත් ගල් වලේ ගල් කඩන බ්‍රේකරේ කැඩිල ඒක හදනවා මේ දවස් වල. වැඩ කරන ගෝලයන්ට වැඩ නැති උනත් සල්ලි දෙන්නෙපැයි. මටත් ආසයි හම්බවෙලා කතාකරන්න. වෙලාවක එන්නම්... අනික ඔය ඉන්නෙ කට්ටිය සූ ගාලා එන්න ;)
      පොඩි කාලේ තරම් නං කටු කන්නේ නෑ තමයි ශෙෆා දැන් එවුං. හැබැයි ඉතිං ආර්ථිකේ අර විදියම තමා. අපේ තැන වල වැඩ කරන උන්ට කොහොමත් අවුරුදු. අපි ණය වෙලා හරි උන්ට කවන එක යුතුකමක් නෙ. ෂුවර් මේ පාර මට ණය වෙන්න වෙනවා ....
      තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිව්වා වගේ හැමෝම තමන්ගෙ මට්ටමින් හිතන්න පුරුදු උනොත් ඔය බර ටිකක් හෝ අඩු වෙයි.. ඒ උනත් මේ මාකටිං එවුං නිසා ඒවා මුකුත් කරන්න බෑ නෙ.
      අටමත් එනවා නං , මාතලනුත් එනවනං " උන්දෙන්නා ඉන්නා තැන කොහෙද තනිකමක්... නැහැනෙ තනිකමක්"

      Delete
    4. මේ ගල් මූසල අටමා මටත් කතා කරා යන්න.. දැන් බලනකොට තනියෙම ගිහිං.. ඒත් මං බැලුව ෆෙස්බුක් එකේ බස් වල සින්දු ගැන දානකොට මේක කොහෙ යනවද කියල.. හෙටත් නිවාඩු එකේ යකෝ යසට එන්න තිබ්බනේ.. සැහ්.. ඕක ගැරඬියෙක් කාපිය..

      Delete
    5. ඔව් ඔව්.. මූ බස් එකේ යන ගමන් සිංදු වලට බනිනවා...

      Delete
  2. සජ්ජො... උඹත් කපුරුබෝල,හඳුන්කූරු ගන්න ඊසි බයිට් එකක්ද? මාත් එහෙමයි බන්...
    ඒ මිනිස්සුන්ට ඕකෙන් ආදායමක් තියෙනවාද කියන එක මට ගැටලුවක්.
    පහුගිය දවසක ගියා රෙදි තෝරන්න වෙන්න වයිෆ් එක්ක.එයා තෝරනකන් මම අයිනකින් වාඩියක් දාල මිනිස්සු දිහා බැලුවා.සමහරු ඇඳුම් මැච් කරනවා.මැච් වෙන එකේ ප්‍රයිස් මැච් වෙන්නෑ.ඉතින් එළ හරකයි මීහරකයි දෙකක් අරන් යනවා.
    සමහර ශොප් වල එවුන් කස්ටමර් ඇඳන් ඉන්න ඇඳුම් දිහා බලල කෙලින්ම කියනවා 'මේවා එක්ස්පෙන්සිව්.. අර පැත්තෙ බලන්න'කියල.මිනිස්සු මූණ හංගගෙන මිළ අඩු බඩු පැත්තට යනවා...
    මේ කාලෙ වියදම් කරන්න මැජික් සල්ලි එන හැටි දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් උකස් ගන්න තැනක විනාඩි දහයක් ඉන්න...
    එහෙම හරි 'වියදම් කිරීමේ සතුට' ලබන්නෙ අවුරුද්දට විතරනෙ...
    ඒ නිසා...
    සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
    Replies
    1. ඊසි බයිට් එකක් කියන්නෙ අමුම අමු ගොනා මම ඔය සම්බන්ධයෙන්. අනිත් උන් කොච්චර එපා කිව්වත් ඔය තැන වලින් වැඩකට නැති දේවල් ගන්නේ උන්ට ශක්තියක් වෙන්න. මම ලොතරැයි ගන්නේ නෑ ප්‍රතිපත්තියක් වශයෙන්. ඒ උනත් අහිංසක මනුස්සයෙක් ඇවිත් දික් කරනකොට නොගෙන ඉන්නෙ කොහොමද, ප්‍රතිපත්ති රකින්නත් ඕන . ඒ නිසා සල්ලි දීල නොගෙන ඉන්නවා.. හෙනම බේබදු මූණු තියන හිඟන්නන්ටත් හිත සතුටින් සල්ලි දෙනවා. මොකද මිනිස්සු කාට හරි අතපාන්න තරමට මානසිකත්වය වැටෙන්නෙ නිකං නෙවෙයි.
      එක්ස්පෙන්සිව් කතන්දරේ මමත් අහල තියනවා. අම්මප ළඟ හිටිය නං වලියක් දානවා...
      උකස් ගන්න තැන් වල හෙනට පෝලිම් ඇති නේ?? ඕව පේන්නේ නෑ නෙ බං . ගෙදරයි ගල් වලයි නෙ ජීවිතේ..
      උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!

      Delete
    2. එකෙන්ම බං ඔය එක්පෙන්සිව් සිද්දිය නම් මාත් අනන්තවත් දැකල තියෙනවා... මොනා වුනත් තමන් ළඟට එන කස්ටමර් ලට එහෙම කතා කරන එක වැරදී..

      Delete
    3. අද තියෙන්නෙ බිස්නස් මාෆියාවක් විතරනේ බං. සදාචාර එව්වට ගෑවිලා වත් නෑ. සදාචාරේ කන්නද.... බඩු ටික විකිනෙනවා නං.. අනික ඔය මිනිස්සු එක්ස්පෙන්සිව් බඩු ගාව තැත්ගැහෙන එකෙන් සල්ලි තියන උත්තමයොන්ට බාධාවෙන එක නවත්තන්න එපැයි...

      Delete
  3. සජ්ජගේ සංවේදී කතාව මගෙ හිතටත් දැනුනා.අලුත් අවුරුදු කියල අපට නං විශේෂයක් නෑ.ඒ උනාට අපේ ගම්වල අය නං තාම අවුරුදු කන්න සල්ලි හොයන්න දහදුක් විඳිනවා.හිතේ අමාරුව යන්නත් එක්ක මං අහල තියෙන කතාවක් කියන්නං.
    ඔන්න එක ආයතනයක ගේට්ටුව ළඟ මොකුත් කරකියා ගන්න බැරි වයසක මනුස්සයෙක් හැට්ට කටු පැකට් විකුනනවලු.ඔතනින් යන මහත්තයෙක් කවදාවත් හැට්ට කටු ගත්තෙ නැතුවට හැට්ට කටු කැරැල්ලක මුදල වන රුපියල් දෙක ඒ මනුස්සයට දීල යනවලු.දෙන්නගෙම කතාවක් බහක් නෑ.ඔන්න දවසක් මහත්තය සුපුරුදු විදියට රුපියල් දෙක දාල යන්න හදද්දි මේ මනුස්සය කතාකළා.
    මහත්තයා...
    මහත්තය නැවතුනා.
    මොකද මොකුත් ප්‍රශ්නයක්ද?
    මහත්තය ඇහුවා.
    අනේ නෑ මහත්තයො කිසිම ප්‍රශ්නයක් නං නෑ.පොඩි පණිවිඩයක් කියන්නයි කතාකලේ...
    පණිවිඩයක්,ඒ මොකද්ද?
    නෑ මහත්තයො අද ඉඳල කටු කැරැල්ලක් දෙකයි පණහයි.

    ReplyDelete
    Replies
    1. සැටිපිකේට් ටෲ..!!!

      Delete
    2. හැලප තුමා... අපි ඔක්කොම සංවේදී මිනිස්සුනෙ සහෝදරයා.. ඒකයි මෙව්වා හිතට දැනෙන්නෙ..
      අර කතාව නං මරු.. ඕක සහතික ඇත්ත..
      අපේ ගල් මෝලේ වැඩකරන උන්ට ගොඩක් වෙලාවට දෙන්න තියනවට වඩා වැඩිපුර සල්ලි දෙනවා මම . ඒ කොච්චර කලත් එකෙක් ඉන්නවා ඌට රුපියල් පනහක් දෙන්න මිස් උනොත් සතියකින් හරි මතක් කරලා එක ඉල්ලනවා. මුන්ට සතියකට වැඩ කරනවට වඩා වැඩිපුර සෑහෙන ගානක් දෙනවා. කන්න පොල් ගෙඩියත් වත්තෙන් අරන් යන්නෙ. ඒත් රුපියලක් මට මිස් උනත් ඒක ඉල්ලනවා.. මරන්න හිතෙන්නෙ ඒ වෙලාවට තමා..

      Delete
    3. ඒ කතාවේ අවසානය.. හ්ම්ම්

      Delete
    4. සඡ්ඡා එකනේ බං වුන්ට සේවකයෝ කියන්නේ..අපේ වුනත් එක පැය බාගයක් දෙන්න තියන දේ පරක්කු වුනොත් මැනේඡරස්ලාගේ අම්මලාට දිර්ඝායුෂ ඉල්ලනවා කෙල්ලෝ

      Delete
    5. අනේ මන්ද බං. මේ ළඟදිත් ඔය වගේ වැඩක් වෙලා මරු නැග්ග .. මොනවා කරන්නද ඉතිං. උන්ගේ එව්ව උන් ගෙනියයි..

      Delete
  4. දැං අවුරුද්දක් නෑ බං.....දැං තියෙන්නෙ බිස්නස්කාරයො සල්ලි වියදම් කරල මීඩියා එකෙන් හදපු තොරොම්බලයක් ... ඒත් අපිට ඒකෙන් ගැලවෙන්ඩ හරිම අමාරුයි ......

    ReplyDelete
    Replies
    1. එක එහෙම තමයි බං. රබානයි කොහාවයි දාලා මාකට් කරනවා ඕන ලබ්බක්. මිනිස්සුන්ට උවමන දේයි එපා දේයි හැම රෙද්දම බලෙන් කරගස්සවනවා. ඔය මාකටිං කාරයෝ තමයි ඕවට වගකියන්න ඕන. ඒත් ඉතිං බැලුවම ඒක උන්ගේ ජොබ් ඒකනේ බං. අනේ මන්ද ඉතිං. මිනිස්සු හරියට කල්පනා කරලා හැම දේම කරනවා නං ඔය ප්‍රශ්න බොහෝ දුරට අඩු වේවි..

      Delete
  5. උඹ මතු කරන කාරණාව මේ ලෝකේ බොහෝ දෙනෙකුට පෙන්නේ නෑ. කොච්චර බැරි වුණත් රැල්ලට අහු වෙනවා. එක පැත්තකින් එක FM එකක් හරි මේ රැල්ලේ උඩු ගම බලා පීනනවා නම් මේ වෙනස කරන්න පුළුවන්. හැම දේකදීම වගේ අවුරුද්දෙත් මිනිස්සු අහු වෙන්නේ නැතිව වැඩ කරන්න පුරුදු වෙනවා නම්. යුතුකම් කියන කොටසින් තමයි බේරෙන්නම අමාරු. අවුරුද්දට කරන්න තියෙන බෙදිල්ල මතක් වුණාම ඇඟ කිලිපොලා යනවා.

    ReplyDelete
    Replies
    1. සුදීක සහෝදරයා.. ඒවා පේන්න දෙන්නෙ නෑ.. ඕකත් මාෆියාවක් වගේ තමා. ප්‍රයිවට් ඉස්පිරිතාල වල මිණියක් එලියට ගේනවා දැකල තියනවද? ඒවා පිටිපස්සෙන් ගෙනියන්න වෙනම ලිෆ්ට් එකක් පවා දාල තියෙන්නෙ. මොකෝ ඕව වල මිනිස්සු මැරෙන්නේ නැත්ද? නෑ.. එක නෙවෙයි ඒවා පෙන්නන්නේ නෑ.. ඒ වගේ තමා මේකත්. උඩුගම් බලා පීනන එක පාඩුයි.. ඒ නිසා උන් ඒක කරන්නෙ නෑ...
      අන්න වචනෙ මට මිස් උන ."යුතුකම්" ඔය යුතුකම් ටික මතක් වෙද්දී මයිල් කෙලින් වෙනවා තමා. හප්පේ.. එකෙක් කියල දීල ඉවරකරන්නද. නොදිත් බෑ නෙ ඉතිං. පුරුදු වෙලා තියන ක්‍රමේ කොහොම වෙනස් කරන්නද...

      Delete
  6. ලංකාවෙ සල්ලි කාරයෝ අවුරුද්ද සමරන්නෙ තරු පහේ හෝටල්වල. වෙලාවට කිරි බත් කන්නෙත් එහෙමයි.. ඔන්න චාරිත්‍රවලට ගිය කල. ඉස්සරහට ඒකත් වැලන්ටයින් දිනේ වගේ වෙලෙන්දන්ටම යයි..
    අපි නං කොහේ හිටියත් අඩුම ගණනේ වෙලාවට කිරිබත්ටික උයලා වෙලාවට කනවා. ඒක හැමදාම වගේ පවුලේ එකතුව සවිමත් කරන දවසක්. පොඩි කෙල්ල එකට නැති එක තමා දුක,. ස්කයිප් වලට පින්සිද්ද වෙන්න සමහරක්දාට එයාට කෙල ගිලින්න දීලා අපි කනවා.

    ReplyDelete
    Replies
    1. අප්පා, තරුපහේ හෝටල් වලත් ඕක කරනවද සරත් අයියා?? කොහොමත් දැන් ඉතිං හැමදේම වෙලේන්දන්ටම ගිය කාලයක් නෙ. එන්න එන්නම එක වැඩි වෙනවා මිසක් අඩුවෙන පාටකුත් නෑ..
      අපි නං ගම් වල ඉන්න නිසා හැමදාම ඕක කරනවා වෙලාවට. කට්ටියම එකට ඉන්න නිසා අවුලක් නෑ.. ඉස්සරහට අපිටත් සරත් අයියට වගේ වේවි සමහර විට. එදාට අර කිව්වා වගේ //ස්කයිප් වලින් කෙළ ගිලින්න දීල අපි කනවා// :D

      Delete
    2. සජ්ජ, ඒක මෙහෙම දෙයකුත් තිය්නව. ලංකාවෙ ගොඩක් සල්ලිකාර සිංහලයො තමන්ට ලැබෙන අනිවාර්ය නිවාඩුව වෙන අවුරුදු දවස් දෙක තුනේ කොළඹින් පිට හොටලෙක නවතින්න යනව. ඒ අය වෙනුවෙන් හොටෙලුත් අවුරුදු උත්සව, කෑම මේස සූදානම් කරනව.

      Delete
    3. ඇත්තටම ඒ සීන් එක මම දැනගෙන හිටියේ නෑ ඉන්දික සහෝදරයා..අනේ ඉතිං අපිට නං සල්ලි තිබ්බත් නැතත් ගෙදර තමා අවුරුදු. ගොඩක් වෙලාවට ගම් රටවල් බලා අවුරුද්දට යන උදවිය නිසා කොළඹත් පාළු වෙනවනෙ. අනේ අනිච්චේ කිව්වලු... හෝටල් වල අවුරුදු ගෙවිල්ල...

      Delete
  7. සල්ලි තියෙනවානම් හැමදාම අවුරුදු තමා. රැකියා කලාය, ව්‍යාපාර කලාය කියලා වෙනසක් නෑ. සමහර ව්‍යාපාරිකයින්ට දෙයක් කරගන්න තියෙන්නෙ ඔය කාලෙ විතරමයි. බලන්න එපායෑ අවුරුද්දට පහුවදා ඉඳලා කඩවල් වේලෙන වේලිල්ල.
    කාලීන අදහසක් සජ්ජා. ඔක්කොටම වඩා හෙඩින් එක අල්ලලා ගිය නිසා නිර්මාණයක් කරන්න හිතුනා. අවසර පතමි!

    ReplyDelete
    Replies
    1. මම ඉන්නෙ සිංහල මුස්ලිම් මිශ්‍ර පරිසරයක.දෙසැම්බර් වල ඉඳන් සරම්,චීත්ත ගෙනත් ගෙවල් වල කෑලි ගානට මහනවා.එකක් මහන්න රුපියල් 5ක් දෙනවා.අප්‍රේල් වෙනකන් මහනවා.හැබැයි මුස්ලිම් අය විතරයි වැඩේ කරන්නෙ.මේ වැඩේ අවුරුදු 3ක් විතර කරවපු අවුරුදු 25ක කොල්ලා කේ.ඩී.එච් එකකින් ගෙදර අවා.අවුරුද්දට විතරයි මේ බිස්නස් එක.

      Delete
    2. මධුවා, මිනිස්සු දුක් විඳින විදිය දැක්ක නිසා මේක දාන්න හිතුවේ. අවුරුදු කාලෙට කරන බිස්නස් වලින් කීයක්හරි හොයාගන්න මිනිස්සුත් ඉන්නවා තමයි. අවුරුද්දට පස්සෙ උන් වේලෙනවා. එක ඇත්ත..
      අනේ ලියහන් ලියහන්. මගෙන් මොනා අවසරද.. ඕන එකක් අල්ලලා ලියහන් අපි බලනවා...

      Delete
    3. ලබ්බා.. ඒකත් බලාගෙන ගියාම මරු බිස්නස් එක. ඇයි වී මෝල්, පිටි පොල්, තෙල් මෝල් වලටත් අවුරුදු කාලෙට ගජරාමෙට වැඩ. ගල් මෝල් වලට නෑ. හෙහ් හෙහ්...

      Delete
    4. //ඔක්කොටම වඩා හෙඩින් එක අල්ලලා ගිය..// මටත් හෙඩිම තමයි නැගලම යන්නේ.. හැක්

      Delete
    5. නෙදකින් විතරක්... අන්තර්ගතය ගන්නම දෙයක් නෑ ඒ කියන්නෙ... මීට හොඳයි කට ගලක උලාගන්නවා...

      Delete
  8. මට නම් යමක් කමක් තේරෙන කාළේ ඉඳලා ඕක ඇහෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට කුරුල්ලෙක් ඇවිත් කින්ඩියට හූ...... හූ..... කියනවා වගේ....

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ මේ කින්ඩි දාන කුරුල්ලා උගේ පැටව් හදන්න බිත්තර දාන්නේ වෙන කුරුල්ලන්ගේ කූඩුවලලු.....දුක අර පැටව් ටික..මොකෝ ඌ වෙන එකෙක්ය කියලා අඳුරගත්තම එලව එලවා කොටනවාලු අනිත් කුරුල්ලෝ...හිටං..

      Delete
    2. හරියට මේ රටේ දරුවෝ වගේමයි... උනුත් ලක් මවගේ දරුවෝ නෙමෙයි වගේ නේ සලකන්නේ...

      Delete
    3. මාතලන් සහෝදරයා... කින්ඩි හූ කතාවට ශෙෆාකි සහෝදරයා දාපු කින්ඩිය කොහොමද... අපිටද මේ කිව්වෙ?? :P හිටං කෑල්ලකුත් දාල...

      Delete
  9. මිනිස්සුන්ට සල්ලි නෑ කියන කතාව ඇත්ත නෙමෙයි. මිනිස්සු අතේ සල්ලි තියෙනවා. ඕනි නං බලන්න කොච්චර සල්ලි නෑ කියලා බැගිරි ගාන එවුන් උනත් බොන්න සෙට් වෙලා,බෝතලයක් බිලා ඊලග එක ගන්න කලෙක්ෂන් එකක් දාද්දි කොහෙන් හරි සල්ලි දෙනවා.

    වෙළෙන්දන් පවා පුරුදු වෙලා ඉන්නේ අහන අහන හැම වෙලේම බිස්නස් හොද නෑ කියලා කියන්න. ඕනි නං බලන්න ටීවී එකේ නිවුස් වල එහෙම අවුරුදු ගැන කියනකොට මිනිස්සුන්ගේ,වෙළෙන්දන්ගේ අදහස් දානවා. එතකොට ඒ හැමෝම කියන්නේ ගිය අවුරුද්දේ තරම් මේ අවුරුද්ද වැඩක් නෑ, සල්ලි නෑ, බිස්නස් නෑ කියලයි.

    හැබැයි ඇත්ත ඒක නෙමෙයි.

    මගේ ගාව වැඩ කරන ගෝලයන්ට දිනකට පඩිය අඩුම ගෙවන්නේ රුපියල් 1100 ක්. උදේට බනිස්,මාළුපාන් එක්ක තේ, දවල්ට කුකුල් මස්, මාළු එක්ක බත්, හවසට තේ දෙනවා. ඒ කියන්නේ මාසෙට දවස් 25 ක් වැඩ කලොත් රුපියල් 27,000 ක් විතර හොයාගන්න පුළුවන්. මෙහෙම පඩි දීලත් දැන් ගෝලයෝ නෑ.

    ලංකාව වගේ රටක මාසෙකට රුපියල් ලක්ෂයක් හොයනවා කියන්නේ සිම්පල්. හොර බොරු/ දුෂිත වැඩ නොකර ඔය අවම ඔය මුදල හොයන්න පුළුවන්. ඒත් වෙලා තියෙන්නේ ලංකාවේ අය හරි කම්මැලි. හැම දේම ලැබෙනකන් බලං ඉන්නවා.

    නිකං ඉන්න එකෙක්ට පුවක්,කුරුඳු වගේ එව්වා ටිකක් එකතු කරලා පිටරටකට යැව්වත් හොද ගානක් ගන්න පුළුවන්. ඒවාට උදව් කරන්න ආයෝජන මණ්ඩලය/ අපනයන සංවර්ධන මණ්ඩලය වගේ ආයතනයත් තියෙනවා. ඒවා දාලා තියෙන්නේ මිනිස්සුන්ට දියුණු වෙන්න කියලා දෙන්න. ලංකාවේ කොච්චර දේවල් තියෙනවද අපනයනය කරන්නම? උදාහරණයක් විදියට ලංකාවේ රුපියල් පන්සියකට විතර ගන්න පුළුවන් හොදම තත්වයේ පුවක් ගෙඩි ටිකක්, ඉන්ටනැෂනල් මාර්කට් එකේ රුපියල් 7,000 (හත් දාහකට) යනවා. ඒවා විකිනින්නේ හර්බල් එකක් විදියට.

    ලංකාවේ තේ කොළ කොච්චර ඉහල මිලකට දෙන්න පුලුවන්ද? මම මේ කියන්නේ මහා පරිමාණයෙන් කරන්න එව්වා ගැන නෙමෙයි. ඊබේ එකේ දාලා වික්කත් ඔය ගණන් වලට දෙන්න පුළුවන්. මම දන්නා අයම දෙතුන් දෙනෙක් ඉන්නවා සුපර්මාකට් එකකින් හොදම තත්වයේ තේ කොළ පැකට් අරං, ඒවා ඊබේ එකේ දාලා විකුනනවා. මෙහෙ රුපියල් 500 ට විතර ගන්න තේ කොළ පැකට් එකකින් ඒ වගේ හත් අට ගුණයක් ලාභ තියෙනවා.

    ඇයි මේ ලංකාවේ ඉන්න මිනිස්සු කම්මැලි කමේ ඔහේ බලං ඉන්නේ, අනික් එවුන්ගෙන් මොනාහරි ලැබෙන කන්? ඉන්ටර්නෙට් එකේ වැල් බල බලා, ෆේස්බුක් එකේ කාලය කකා ඉන්නේ නැතිව ඔහොම දෙයක් වත් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ... එක පැතිකඩක් ගැන සහතිකම සහතික අත්තක් පැහැදිලි කරලා.. මගේ ගල් මොළේ, ගල් වලෙත් ඔය සිංදුව ඔහොමමයි. ඔක්කොම එවුං පඩි ගන්නවා 35000 පැනල .. ඒත් සකසුරුවමට ඒවා වියදම් කරන්නෙ නෑ... එහෙම කරන්නෙ එකයි. අනිත් උන් ඔක්කොම එකයි. බස් වියදම් නෑ. හොඳ ඇඳුම් අඳින්න ඕන නෑ. ඔෆිස් වල වගේ පාටි, මගුල්ගේවල්, මළගෙවල් කෙළවරක් නැතිව නෑ. ඇත්තටම බැලුවම සුපිරි විදියට ඉන්න පුළුවන් උනත් කරන ඉතුරුවකුත් නෑ. එහෙම ඉතුරු කරන එකෙක් හිටියොත් උන් දිගටම වැඩට එන්නෙත් නෑ..
      හැබැයි තව කොටසකුත් ඉන්නවා අපේ සමාජේ අන්ත දුප්පත් විදියට ජීවත් වෙන, ලොකු ආදායම් මාර්ගයක් නැතුව. මම කිව්වෙ ඒ මිනිස්සු ගැන.
      අනික ඉන්ටනෙට් එන මිනිස්සු ඔය තරමටම දුක් විඳින්නෙ නං නෑ.. මම කිව්වෙ එකෙන් පරිභාහිර කොටසක් ගැන..
      ඔබතුමා මටත් හෙන අයිඩියාවක් දීල තියනවා මේකෙන් බිස්නස් එකක් ගැන. අපේ වත්තෙ පුවක් තියනවා අම්බානකට.. පොඩ්ඩක් හොයල බලන්න ඕන ඒ ගැනත්.. බොහොම ස්තුතියි සහෝදරයා කොමෙන්ටුවට. බොග් ලියනවද? නරකද බොගක් ලිව්වොත්??

      Delete
    2. ඉන්ටනෙට් එන හැමෝටම දුක් විදින්නේ නෑ කීවට ලංකාවේ ඉන්ටර්නෙට් එන බහුතරයක් ඩේටා කාර්ඩ් එක දාන්නෙත් අම්මගේ තාත්තගේ සල්ලි වලින්. ඊට වඩා කියක් හරි හම්බ කරනවා ඔය කම්කරුවන් පවා.

      ඉස්කෝලෙ ගිහිං ඉගෙන ගන්න, ඉන්ටර්නෙට් ගැන දැනීමක් නැතත් ලංකාවේ ඇතුලේ ඉදං මාසෙකට රුපියල් ලක්ෂයක් හොයනවා කියන එක මහ වැඩක් නෙමෙයි.

      පහුගිය දවසක මගේ ගෙදර මෝල්ඩින් වැඩට බාස් කෙනෙක් ආවා. අවුරුදු 28 කැ විතර කෙනෙක්. ඔහු මාසයක් විතර වැඩ කලේ. ලක්ෂ එක හමාරක් විතර ගෙව්වා වැඩේට. ඒක තමයි ඔහුගේ වෘත්තීයේ තියෙන නිපුණතාවය.

      වැඩිය ඕනි නෑ, හොද තීන්ත බාස් කෙනෙක්ට කොයිතරම් ගානක් හොයන්න පුලුවන්ද? දැන් බලන්න හොද වාහන මිකැනික් කෙනෙක්ට තියෙන ඉල්ලුම. ඕනනං බලන්න පැලියගොඩ නිසාන් රවී ට තියෙන ඉල්ලුම. එයා හදාගන්නේ නිසාන් වාහන විතරයි. කොයි වෙලේ බැලුවත් වාහන දහයක් විතර පාරේ නවත්තලා තියෙනවා එයාගේ සේවය ලබාගන්න පැමිණි.

      Delete
    3. අම්මප මේ ඇනෝ උදැල්ල දාන්නමනෙ එන්නේ... ඇත්ත ඇත්ත. සම්පූර්ණ ඇත්ත. ඒත් ඉතිං මිනිස්සු ඔක්කොටම හැකියාව දෙන්නත් බෑ, මොළේ දෙන්නත් බෑ නෙ. එහෙම කියල උන් ඔක්කොම කටු කාගෙන ඉන්න ඕනෙද? සමාජ වාදය ගැන කියවනවා නෙවෙයි සහෝදරයා.. ඒත් සමාජ අසාධාරනත්වයක් තියනවා. මිනිස්සු දුක් විඳිනවා. ආ... එකට මොනා කරන්නද, ඒ උන්ගේ කරුමෙ, මොලෙන් වැඩක් ගන්නේ නැතිකම කියල ඒ වගකීම් වලින් මිදෙන්න බෑ. මනුස්සයෝ විදියට අනුකම්පාවෙන් මිනිස්සු දිහා බලන්න පුරුදු වෙන්න ඕන. හිඟන්නෙක් ආවොත් , "ආ .. ඕකගෙ ක්‍රියා කලාපේ අවුල් නිසා ඕකට හොඳ වැඩේ" කියල දොර වහනවද? මට නං බෑ...

      Delete
  10. සියලු සමාජ චාරිත්‍ර, අභිචාර විධි, ආගමික කටයුතු, අප කෙරෙහි බලපාන්නේ අපි ඒවා ග්‍රහණය කරගන්නා මට්ටම අනුවයි. ජනවාරි පළමුවැනිදා යනු වර්තමාන ලෝක සම්මත ව්‍යවහාරික වර්ෂය ලෙස සැලකීම විනා එය කතෝලික ආගමට සම්බන්ධකරගෙන සිතීමෙන් පලක් නැහැ. එය මහා උත්සවයක් නෙවෙයි.

    බෞද්ධ/හින්දු අලුත් අවුරුද්ද ආසන්න වශයෙන් එකම ආකාරයේ සිරිත් විරිත් කරන ජාතික/ආගමික උත්සවයක්. එහිදී අපේ රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් මන්දබුද්ධිකව ක්‍රියා කිරීම කණගාටුවට කරුණක්. සමහරු පහුගිය කාලය පුරාම උපයාගත් ධනය අවුරුදු දින දෙක තුන වෙනුවෙන් වැයකර පසුව සුසුම්ලනවා. තවත් සමහරු පහුගිය කාලය පුරා විනෝදයෙන් ගතකර අවුරුද්ද වෙනුවෙන් කිසිවක් කරකියාගත නොහැකිව සුසුම්ලනවා. මේ දෙකම වැරදියි.

    අපි මුලින්ම අපේ ආර්ථික ශක්තිය කුමක්ද යන්න අවබෝධ කරගත යුතුයි. අනතුරුව තම ආර්ථිකය කළමනාකරණය කරගත යුතුයි. සමහර අය අවුරුදු දිනවල මිලදීගන්න භාණ්ඩ වලින් සෑහෙන ප්‍රමාණයක් ඇත්තටම අවශ්‍ය දේවල් නෙවෙයි. ආසාවට/අනික් අය ගත්ත නිසා/ උජාරුව පෙන්වන්න/ ආදී වශයෙන් කිසිදු තේරුමක් නැතිවයි මිලදීගන්නේ. ගෙදර විසිත්ත කාමරය අඩි 15 x 15 ප්‍රමාණයේ තියන අයත් අඟල් 55 රූපවාහිනියක් මිලදී ගන්නවා. එය නැරඹීමට රූපවාහිනියෙන් ඈත්ව සිටිය යුතු අවම දුර අර විසිත්ත කාමරයේ නැහැ.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා, අවුරුද්දේ ආරම්භය නව වසරට වැඩට යනකොට අලුත් ඇඳුමක් අඳින්න දැන් දැන් හැමෝම පුරුදු වෙලා නේද? ජනවාරි පළවෙනිදට කිරිබතුත් උයනවනේ ගෙවල් වල. 31 රෑට තරුපහේ හෝටලේ තර්ටි ෆස්ට් නයිට් යන්න බැරි උනත් මිනිස්සු සරට ගෙදර ඉඳන් අඩියක් ගහන්නත් පුරුදු වෙලා නෙ. සමහරු රතිඥ්ඥත් පත්තු කරනවනෙ. ඕව අපේ මිනිස්සුන්ට බලහත්කාරයෙන් පටවපු දේවල් නෙ.
      විචාරකතුමා කියන විදියට මිනිස්සු ඕනවට වැඩිය වියදම් කරනවා, නාස්ති කරනවා තමයි. එහෙම කරන්නෙ නැතුව ඉඳලත් හරි හමන් විදියට කන්න බොන්න නැති අඳින්න නැති මිනිස්සු ඇත්තෙම නැද්ද? ඉන්නවා ඕන තරම්.. ඇයි එහෙම වෙන්නෙ? සමාජ අසාධාරණයක් ඇත්තෙම නැද්ද? මිනිස්සු විහින්මද දුප්පත් වෙලා තියෙන්නෙ?
      අලුත් ටීවී එකක් ගන්න එක මනුස්සයෙක්ට අකැපද? ලස්සනට අඳින පළඳින එක අකැපද? එහෙම කලාම බංකොලොත් වෙන්නෙ ඒ මිනිස්සුන්ගේ නාස්තිකාරකම නිසාමද? ආණ්ඩු වලින් සහ මෙව්වා බලෙන් ඔබන්න හදන ආයතන වලින් වැරද්දක් වෙන්නෙම නැත්ද?

      Delete
    2. ///අවුරුද්දේ ආරම්භය නව වසරට වැඩට යනකොට අලුත් ඇඳුමක් අඳින්න දැන් දැන් හැමෝම පුරුදු වෙලා නේද?//
      මේක මට අනුව ඇත්තක් නෙමෙයි බං.
      මම එදාට කරන්නේ හැමදාම අඳින්නේ නැති ටිකක් අළුත් පාට ඇඳුමක් ඇඳගෙන යන එක. ඒ ඇඳුමක් ගන්න සල්ලි නැති කමකට නෙමෙයි. අඳින්න බැරුව පරණම වෙලා හම්පඩ වෙනකල් මම ඇඳුම් අඳිනවා. ඉරෙන ඇඳුමක් පවා මහගෙන අඳිනවා...
      ඒ ගතිය මට ආවේ අපේ දුප්පත් දෙමව්පියන්ගෙන්...

      ///ආණ්ඩු වලින් සහ මෙව්වා බලෙන් ඔබන්න හදන ආයතන වලින් වැරද්දක් වෙන්නෙම නැත්ද?///
      උන් අපේ මිනිස්සුන්ගේ දුර්වල තැන් බලලා පහර දෙනවා. අපිට ඒවයෙන් බේරෙන්න බැරි කමක් නැහැ

      Delete
    3. අනේ මාත් ලොකුවට ඇඳුම් අඳින්නෙ නෑ තමයි ලොකු පුතා. හැබැයි මෙහෙම දේකුත් තියනවා නේද. මිනිස්සු මේ නැහෙන නැහිල්ලේ තරමට ඇඳුමක් අඳින්නෙ නැතුව හරි හමන් කෑමක් කන්නේ නැතුව මැරිලා යන ඒකත් ප්‍රශ්නයක් නෙ. විඳීමක් තියෙන්නත් ඕන නෙ හැමදාම කරන විඳවීම වෙනුවට.
      ඇත්ත, මිනිස්සුන්ගෙ දුර්වල තැන වලට වෙන ඒ පහරදීම නං නවත්තන්න බෑ තමයි. මොලෙන් හිතල ඒවායින් ගැලවුනොත් මිසක්. ඒත් මොළේ බලෙන් දෙන්න බැරි නිසා මිනිස්සු හැමදාම ඕවට අහු වෙනවා...

      Delete
    4. ජීවිතේ කියන්නේ අනුන්ට පේන්න බොරුවට උජාරුවට ඇඳගෙන යන එක කියල හිතන එවුන් ගැන මම කිව්වේ...
      මම කියන්නේ තමන්ට ඇහැකි විදිහට ඒ සියල්ල කරන්න අපි හිත එකඟ කර ගැනීම වැදගත් කියලයි
      ඒ වගේම ඔය බොරුව තේරුම් ගත්තම සරළව ජීවත් වෙන එක හරි ලේසියි වගේම හිතට මාර සනීපයි...

      Delete
    5. අනිවාර්යෙන්... සෝබනේට ලොකුවට ජීවත් වෙන්වවට වැඩිය පොලවේ පයගහල ජීවත් වෙන එක හැබෑවටම සනීපයි..

      Delete
  11. කාලීන මාතෘකාවක්... සල්ලි තියෙනවා නම් හැමදාම අවුරුදු තමයි.

    ReplyDelete
    Replies
    1. සල්ලි දෙයියන්ගෙ මල්ලි කිව්වලු නෙ නේද??

      Delete
    2. මේ යන විදියට බැලුවාම සජ්ජො මල්ලි නෙමෙයි දෙවියන්ගෙ අයියා වෙන් ඕනි.

      Delete
  12. සල්ල නැති කමම නෙමෙයි තමං හම්බ කරන ප්‍රමාණයට වියදං කරල සෑහීමකට පත්වෙන්නෙ නැතුව ඕවර් යන්න යන එකෙන් තමයි වැඩි දෙනෙක් අනාගන්නෙ.
    අපිත් බැඳපු අලුතනං ඔය රෙදි කඩ ගානෙ ගියා. දැන්නං එහෙම නෑ. මේ අහල පහල කඩේකිං රෙදි කෑල්ලක් ගන්නව මිසක්.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා නං තමයි ප්‍රසන්න. හැබැයි පොඩි එකෙක්ට යන්තම් ඇඳුම් කෑල්ලක් අරන් දීල බේරෙන්න පුලුවන්ද? වැඩි හරියක් උදවිය තමන්ට ඇඳුමක් නොගෙන ළමයින්ට යමක් අරන් දෙන්න බලනවා. ඒකත් අමාරුයි...

      Delete
    2. සඡ්ඡා උඔගේ පිලිතුරත් එක්ක එකගයි

      Delete
  13. තමන්ට පුළුවං ප්‍රමාණයට වැඩිය අවුරුදු සමරන්න ගියාමත් එරෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා නං තමයි සහෝදරයා.. පුළුවන් ප්‍රමානෙට අරන් දුන්නත් එරෙන වෙලාවලුත් තියනවා..

      Delete
  14. උඹේ කතාව සංවේදියි ... එත් ඔය වැඩි දෙනෙක්ගේ කතාව . මිනිසසු ජීවත් වෙන්න අරගල කරනවා. අඬනවා , වැලපෙනවා , මරාගන්නවා .. ඊට පස්සේ කියනවා ජීවත් වෙනවා කියලා .. ජීවිතය විඳින මිනිස්සු දැන් නෑ.. ඉන්නේ විඳවන මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ඉවාන්, එක තමයි මම කියන්න හැදුවෙ ඇත්තටම. මිනිස්සුන්ට විඳීමක් තියෙන්න ඕන. මානසික සැහැල්ලුවක් තියෙන්න ඕන. අපේ මිනිස්සු නිකං ඉඳල මේ දේවල් ඉල්ලනවා නෙවෙයි නෙ. නොමැරී මැරෙනව. ඒත් හිතට අස්වැසිල්ලක් තියනවද? සතුටක් තියනවද? මම කියන්නෙ බහුතරය..

      Delete
  15. මට බර වැඩි බං මේ ලිපියයි කමෙන්ටුයි.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බං... එලද බ්‍රා.. බ්‍රෑන්ඩ් එක ගල් !!! අවුරුද්ද ජය වේවා!!!

      Delete
    2. මම යනවා අවුරැද්දට ගමේ එහේ එවුන්ට මාව ලොකු නෑ අපි එකට බිලා හෙලුවෙන් නලා ගන්න ආතල් එකේ මතකය එක්ක මම ලබන අවුරැද්ද වෙනකන් ඡිවත් වෙනවා.

      Delete
    3. උඹ නාන්නෙ හෙළුවෙන්ද?? අපිත් යත්තල්ගොඩ මා ඔයේ ක්ලාස් කට් කරලා ගිහිං නාන්නෙ හෙළුවෙන්. කෝච්චි පාර අයිනේ නෙ. කෝච්චියක් එනකොට මූණ වහගෙන වතුරෙන් ගොඩට ඇවිල්ලත් තියනවා...

      Delete
  16. මගේ පොරෝ පාරින් පත්තු වෙලා මෙහෙව් එකක් ලියුව එක හොඳයි.. මේක මගේ කතාවෙම එක්ස්ටෙන්ශන් එක වගේ.. හොඳ හෝ නරක මිනිස්සු මේ දේ වලට ඇබ්බැහි වෙලා.. මට උනත් ඒකෙන් මිදෙන්න බෑ.. මට 'අවුරුද්දක් කන්න' අඩුම රුපියල් ලක්ශයක් යනවා.. ලොකු කමකට කියනව නොවෙයි.. අපේ පවුල් දෙකේ හැමෝම යම් මට්ටමකින් බලාපොරොත්තුවෙන දෙවල් තියෙනව අවුරුද්දකට සැරයක්වත්.. සමහරුන්ට උන්ගෙ ගෙවල් වල ගෙන්න ගන්න.. සමහරුන්ට අම්මල තාත්තල ඉන්න තැනට ඇවිත් බත් කටක් කාල දවසක් ඉඳල යන්න.. පොඩි උන්නම් බාප්පිගෙන් හරි මාමිගෙන් හරි අලුත් ඇඳුමක් සපත්තු ජෝඩුවක් සමහරුන්ට බෝතලයක් ඔය වගේ.. ඔය ටික කරන්නම ඕනි.. මං හිතන විදියට උන් හිතන්නෙ නෑනේ.. ඉතින් මේ අවුරුද්දෙ ඉඳලම ඊලඟ අවුරුද්දට ලෑස්ති වෙනවා.. කරන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. උඹේ පොරෝ පාරට කොමෙන්ටුවක් ලියන්න ගත්තම ඔය ඔක්කොම ඔලුවට ආවා. එක දිග වැඩි වෙන නිසයි මේක ලිව්වෙ. ඇත්තටම මටත් ඔය සංතෑසියම තමා. වියදම් අම්බානෙක.. යුතුකම් වගකීම්, සම්ප්‍රදායන්ගෙන් මිදෙන්නේ කොහොමද...අනිවාර්යෙන් කරන්නම වෙනවා.. මේක ලියන්න ක්ලූ එක සැපයුවට උඹට ස්තුතියි...

      Delete
  17. මම හිතන්නේ උඹේ ඔලුවටත් පොරෝ පාරක් වගේ මේ ගමන අවුරුද්ද.ඇයි වැඩ කරන උන්ටත් මොනවා හරි දෙන්න එපැයිනේ.එක කොහොම හරි දෙන්න බලපන් ගොඩක් අසරණ මිනිස්සු මේ කාලෙට තමන්ගේ ස්වාමියාගෙන් මොනවා හරි දෙයක් බලපොරොත්තු වෙනවා.
    අවුරුද්දක් එනවා කියන්නේ ඉතින් සාක්කුවට බලපාන දෙයක් වුනත් එකෙන් පැනලා යන්නත් අමාරුයි බං.අපේ නම් ඒ හැටි අවුරුදු සැමරීමක් නැතත් සල්ලි වාෂ්ප වෙනවා බලන් ඉන්න කොට මේ මාසේ.

    ReplyDelete
    Replies
    1. පොරෝ පාරක් කියන්නෙ කියලා වැඩක් නෑ බං. වැඩ කරන ඔක්කොටම පඩිනඩි බේරලා ඇඳුමුත් දීල බොනසුත් දෙනවා. ඔය ඔක්කොම දුන්නත් ණයටත් ඉල්ලන බව මං දන්නවා. ඒකත් දෙනවා. ඒ ඔක්කොම දීල මං කන්නත් එපැයි... පිස්සු වගේ තමා... සල්ලි වාෂ්ප වෙන්නෙ බලන් ඉන්දැද්දී...

      Delete
  18. යුතුකම් බර වැඩියි. වගකීම් සැහැල්ලු වැඩියි.ඔය දෙකටම මැදිවුන අපි ගොන් වැඩියි......

    ReplyDelete
    Replies
    1. උඹේ ඒ කතාවේ ලොකු බරක් තියනවා.... ඇත්තටම ලොකු යුතුකම් තොගයක් කරන්න ගිහිං වගකීම් අඩු වෙලා ගොන් වෙලා කෙලවගන්නවා තමා....

      Delete
  19. දැන් නම් මිනිස්සුන්ට කොහාගේ සද්දෙ ඇහෙද්දිත් කේන්ති යනවා ඇති.. ඇයි ඉතින් තියෙන ප්‍රශ්ණ එක්ක කීයක් දේවල් මේ කාලෙදි කරන්නද..

    මාකටින් වලින් දැන් හුඟක් මිනිස්සුන්ව අල්ලගෙන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, ඇත්තටම මාකටිං කාරයෝ තමයි ඔලු කුරුවල් කරලා මිනිස්සුන්ව කන්නේ... ප්‍රශ්න ඉවරයක් නෑ මිනිස්සුන්ට. උත්සව සමයේ හැමෝම සතුටෙන් කිව්වට බොහෝ දෙනෙක් එහෙම නෑ... අනේ මන්ද...

      Delete
  20. ලියවිල්ල නම් ලෙසටම ලියල තියෙනවා...
    මම නම් කියන්නෙ සජ්ජො ගොඩාක් වෙලාවට මිනිස්සු මාකටින් වලට ‍රැවටෙන නිසා තමයි අමාරුවෙ වැටෙන්නෙ, මං කියන්නෙ හැමෝම හැමවෙලේම නෙමෙයි. ඒත් බහුතරයක් එහෙමයි. මාකටින් වලින් නිර්මාණය කරන වුවමනා පස්සෙ ගියොත් අවුරුදු කාල පස්සෙ දිරවගන්න බැරි වෙනවා..
    හැබැයි ඉතින් අනික් පැත්තෙන් පොඩි උන්ව සතු‍ටු කරන්න මිනිස්සු ගන්න අහිංසක උත්සාහයට නම් මොනාත්ම කියන්න බෑ.. ඔතන මෙහෙම දෙයක් තියෙනවා කොච්චර ඉගෙනගත්තු මිනිහෙක් වුනත් ගොඩාක් අය තමගේ පර්සනල් ෆයිනෑන්ස් කන්ට්‍රෝල් කරගන්න දන් නෑ.. දැන් බලන්න බැංකු වල ලොකු පු‍ටු තියෙන සමහරු වුනත් තමන්ගෙ වැ‍ටුප කළමනාකරනය කරගන්න දන් නෑ.. මේ සමාජ රටාවත් ඕකට වගකියන් ඕනි.

    ReplyDelete
    Replies
    1. මාකටිං කාරයෝ මිනිස්සුන්ට ඕන දේ එපා දේ හැමදේම බලෙන් පටවන්න හරි දක්ෂයි. ඒවා පටලගත්තම මිනිස්සු හොම්බෙන්..
      එක තමයි බං කියන්නෙ. මොන හිතකින්ද පොඩි එවුන්ගෙ ලෝකෙ දුකෙන් තියන්නෙ? ඒ වෙනුවෙන් මිනිස්සු ඕන දෙයක් කරයි... ඔය කයිය ගැහුවට මමත් අනාගන්නව මේ කාලෙට. ලොකු මිනිස්සුත් එහෙම ඇති බං.. ලෝකෙට පරකාස ගෙදරට මරගාත වැඩ...

      Delete
  21. ඇත්ත.. හැම දෙයක්ම කරන්නේ මාකටින් වලින්.. අවුරුදු කෑවත් වැරදියි, නොකෑවත් වැරදියි..

    සකසුරුවමෙන් ජීවත් වෙන්න නොදන්නකම වගේම ඕනෙකමක් නැති එකත් ඔය කෙළවරක් නැති දුප්පත්කමට හේතුවක්. මම කියන්නෙ මිනිස්සුන්ගෙන් කඩා වඩාගෙන හම්බ කරන්න ඕනේ කියන එක නෙවෙයි.

    විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ හම්බ වෙනවනේ.. බොහෝමයක් දෙනා කරන්නේ ඒ සල්ලි වලින් කාලා බීලා ඉන්න එක. ඒ සල්ලි නම් කාල බීල ඉන්නවත් මදි තමයි. ඒත් අපේ ෆැකල්ටියෙම සමහර ළමයි ඉන්නවා මහපොළ නැති වුණත් තමන්ගේ වියහියදම් සපුරගන්න මාර්ග හොයාගෙන ඉන්න. (potrait drawing, graphic designing වගේ ක්‍රම මගින්) ඒ වගේම මහපොළ සල්ලි වියදම් කරලා තව ගෙදරිනුත් සල්ලි ඉල්ලන අයත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නම් මුලින්ම... අනේ මන්දා.. මිනිස්සුන්ගෙ විෂමතාවයන් මේ හැම දේටම හේතු වෙනවා කියලයි අන්තිමටම කියන්න වෙන්නෙ. අපිට කරන්න කිසිම දෙයක් නෑ ඔය ආකල්ප වෙනස් කරන්න. උත්සාහ කලත් වැඩක් නෑ සමහර වෙලාවට. කරන්න පුළුවන් එකම දෙයයි. අපිට පුළුවන් වෙලාවට පුළුවන් විදියට මිනිස්සුන්ට අවශ්‍යතාවයන්ට අනුකූලව උදව් කරන එක. ඇත්තටම හිතුවොත් රටවල් හදන්න පිට බෑ...

      Delete
  22. සල්ලි තියෙන එකාට හැමදාම අවුරුදු / අවුරුදු ඇවිත් යද්දි මගේ පර්ස් එක හිඳුනා.. මේ වාක්‍ය දෙකම අවුරුදු කටේ ගොඩාක් වෙලාවට අහන්න ලැබෙනවා. නූතන සමාජයෙ මොනවද බං මාකටිං වලට අහු වෙලා නැත්තෙ. සමහර වෙලාවට මිනිස්සු දන්නෙත් නෑ උන්ව තව එකෙක් විකුණලා ඌටත් හොරෙන්. මමත් රෙදි බිස්නස් එකක් කරන්න බැලුවා අවුරුද්දට...නමුත් අන්තිම මොහොතෙ අත ඇරලා දැම්මා. මම යට කරන මුදලේ ආරක්ෂාව ගැන හිතලා.

    කල්‍යාණ මිත්‍රගෙ සටහනත් මම කියෙව්වා. මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් විදියට හිටිය මගේ මහප්පගෙ පුත්‍ර රත්නයට මරාගෙ ආණ්ඩුව පත් වෙච්ච ගමන් යූඇන්පී ආණ්ඩුව යටතෙ එයා කරලා තිබ්බ ව්‍යාපෘති වැඩ වලට ගෙවන්න තිබ්බ ලක්ෂ 750 ක මුදලක් ගෙවීම අත් හිටෙව්වා. එයා ලග හිටිය සේවකයො ගමේ ගිය හැටි..මිනිහා නට්ටං වෙලා සුපිරි වාහන වලින් බැහැලා බයිසිකල් කට්‍ටක ගමන් බිමන් ගිය හැටි දැකපු මිනිහෙක් මම. හරිම කණාගාටුදායක තත්වයක් ඒ මිනිස්සු මොන තරම් බලාපොරොත්තු තියාන ඉන්න අැද්ද ළමා ලපටි එක්ක අවුරුදු සමරන්න ටිකක් බර දාලා.

    ReplyDelete
    Replies
    1. සිරා, මේ ආර්ථික තත්වය යටතේ තියන බිස්නස් එකක් කරගෙන යන්නෙත් අමාරුවෙන් මිනිස්සු. පහුගිය ආණ්ඩු, දැන් ආණ්ඩු වලට බණින එක පැත්තකට දාල කතාකලොත් රටේ ආර්ථිකේ අබලන්. අලුතෙන් බිස්නස් එකක් කරන්න පටන්ගන්නවා කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ තමා..
      මහප්පාගේ පුතාට වෙච්ච වැඩේම මේ පාරත් වෙලා මට පේන විදියට. කමීගේ සමාගමටත් ඕකම වෙලා ඇති. ආණ්ඩු පෙරලි වෙනකොට ඔය වැඩේ වෙනවාමයි. ගොඩක් වෙලාවට ඕක දේශපාලන පළිගැනීමක් වෙන්නත් පුළුවන්. බොහෝදුරට පවතින ආණ්ඩුවේ හිතවත්කම් , බිස්නස් ප්‍රොපගැන්ඩා එක්ක කලවම් වෙලා ජයට කෙරීගෙන යන බිස්නස් ආණ්ඩු පෙරලෙනකොට වැටෙනවා. එකෙන් මිදෙන්න වෙන්නැති බිස්නස් කාරයෝ දෙපැත්තටම සල්ලි වියදම් කරනවා කියල අහල තියෙන්නෙ.
      අපිට යාබද ගල් වැඩපලක් වැහුන ආණ්ඩුවේ ගලක් අනවසරයෙන් කඩල. පෙරේද. එකේ වැඩකරන මිනිස්සු ගොඩකට මේ පාර අවුරුදු නෑ. මගේ බිස්නස් එක අමාරුවෙන් ඇදගෙන ගියත් ඒකෙ වැඩකරපු මිනිස්සු දෙන්නෙකුට මේ ටිකේ රස්සාව දීල තියෙන්නෙ මං. අතින් පාඩුයි. ඒත් වැඩ නැද්ද කියල අහගෙන එන මිනිස්සුන්ට කටක් ඇරලා නෑ කියන්නෙ කොහොමද?ගල් වලේ දෙන්න වැඩ වැඩිපුර නැති නිසා වත්තෙ පොල් වළවල් කපන්න, කැලැව සුද්දා කරන්න දානවා හෙට ඉඳන්. අපි කව්රුත් මිනිස්සුනෙ. හැමෝම ජීවත් වෙන්නත් එපැයි...

      Delete
    2. උඹේ ඒ සිතුවිල්ලට මම ගරු කරනවා සජ්ජා. ඒ අයගෙන් යැපෙන පොඩි දරුවො බලාඉන්නෙ ඒ අයට තාත්තා අවුරුදු අරගෙන එනකං.

      Delete
    3. අනිවාර්යෙන් සිරෝ.... පොඩි උන්ට වැඩක් නෑ තාත්තාට සල්ලි තියනවද නැද්ද කියල. උන්ට ඕන අවුරුදු විතරයි...

      Delete
  23. සජ්ජ ගොඩක් වැදගත් කතාවක් සංවේදී විදිහට ලියල තියෙනව. ඇත්තටම අවුරුදු කන්න දැන් මිනිස්සුන්ට සල්ලි නැති එක තමා ප්‍රමුඛතම කාරණය. මම දකින හේතුව මහන්සි වෙන තරමට හරියන්න හම්බෙන පඩිය ප්‍රමාණවත් නොවීම. බහුතරයකට ඔය හේතුව තමා තියෙන්නෙ. නමුත් සජ්ජ කිව වගේ හම්බෙන සොච්චමෙන් හරි පුළුවන් විදිහකට මොනව හරි අරං ගිහින් ගෙදර එවුන් එක්ක අවුරුදු කන මිනිස්සු ඕනෙ තරම්. බලාගෙන හිටපු බෝනස් එක නැති වීම ගොඩක් අප්සට් සීන් එකක් තමා. ඇත්තටම හොඳ වැඩක් තමන්ට සැළකිය යුතු මුදලක් අතේ තියෙනවනම් ඔය පොඩි එවුන් කීප දෙනෙක්ට අවුරුද්දට මොනව හරි දෙයක් අරන් දෙන්න පුළුවන් නම්. එහෙම දෙයක් දීල පොඩි උන්ගෙ මුණකින් එළිය වැටෙන හිනාවක් දැක්කම අවුරුද්දම හිතේ සතුටින් ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනා, අපේ තාත්තා අවුරුද්දට කරන වැඩක් තියනවා හැමදාම. ගෙවල් වටපිටාවෙ පොඩි එවුන්ට නිලා පෙට්ටි, අහස් කූරු , බඹර චක්කර අරන් දෙන එක. අපිට අමාරුවෙන් අවුරුදු ගෙවන්න සිද්ද උනත් ඒ වැඩේ කරනවා හැමදාම. සමහර ගෙවල් වල තාත්තල පොඩි උන්ට ඒවා අරන්දෙන්නේ නෑ, අපේ තාත්ත දෙන නිසා.එකෙන් හරි කීයක් හරි ඉතුරු වෙනවනෙ ඒ මිනිස්සුන්ට. ඔය උඹ කියපු පොඩි උන්ගෙ හිනාව නං ඉතිං දකින්නේ අපේ තාත්ත.

      Delete
  24. ලංකාවෙ මිනිස්සු මහා ලොකුවට සමරනවයි කිය කිය උඩ පනින එක උත්සවයක් වත් තමන්ට ඕනෙ විදිහට තමන්ගේ සිතුම් පැතුම් අනුව සමරනවද කියන එක අද කාලේ ගැටලුවක් වෙලා. මේ හැම උත්සවයක්ම කුමන හෝ වෙලඳ සමාගමකට උවමනා විදිහට ඒ ඒ වෙලාවට මාර්කටිං කරන විදිහට සමරන එකයි වෙන්නෙ. ටීවී එකෙන් අවුරුද්දට ලිප මොලවන හැටි කියලා දෙන්නෙත් වෙලඳ සමාගමකින්. අනික් හැමදේමත් මාර්කටිං වෙලා. මම හිතන්නෙ නෑ මේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනසක් වෙනකම් මේ දේ නතර වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ගෙ ආකල්ප නං කවද වෙනස් වෙයිද දන්නෙ නෑ කැමා... අවුරුද්දට ගිනිකෙළි බිස්නස් කෙරෙනවා වගේ තමා ඔක්කොම. ඒ වෙලාවේ හැටියට මාකටිං පාර වෙනස් වෙනවා. කොටින්ම ගායකයො පවා. තාත්තා මලාට පස්සෙ සහන් රංවල අවුරුද්දට සිංදුව කියාගෙන එනවා. අව්රුද්දෙන් පස්සෙ ආගිය අතක් නෑ. අපේ සංගීතය ලු ඒ. එතකොට අපේ සංගීතෙ තියෙන්නෙ අවුරුදු ,මාසේ විතරද? අනිල් භාරතී එන්නේ නත්තල් මාසෙට විතරයි. බෙග් මාස්ටර් "රාගී මන අවුල් යනවද?" කියල අහන්නේ වෙසක් එකට විතරයි. මාකටිං තමා ඉතිං...

      Delete
    2. අද කාලේ මාර්කටිං වෙන්නෙ නැති දෙයක් හොයන එක නොමල ගේකින් අබ හොයනවා වගේ වැඩක්. මැරිච්ච මළ කුනත් විකුනන කාලයක් මේක. ඇද නැති බලු බෙට්ටත් පුලුවන්නම් විකුනයි...

      Delete
    3. // ඇද නැති බලු බෙට්ටත් පුලුවන්නම් විකුනයි...// :D :D

      Delete
    4. මෙ දවස් ටිකේම අටම පේන්න නෑනෙ......

      Delete
  25. අපි වගේ පුරුදු වුණා නම් හරි සජ්ජා. මම අර කුකුළා ඉන්න පොල්තෙල් පාන පත්තු කරල කිරිබතක් හදල අපේ තාත්තා කලා වගේ ළමයින්ට කෙහෙල්, හකුරු අරව මේවා දාල බත් ගුලියක් කවල පොඩි තෑගි දෙකක් තුනක් දෙනවා. හදන්න දන්නේ නැති නිසා මෙහෙ තියෙන දෙමල කඩෙන් සිංහල අවුරුදු කෑම අරන් එනවා. මට වැඩිය වියදම යන්නේ ලංකාවේ ඉන්න අයට තෑගී එවන්න. හැම අවුරුද්දෙම වැඩේ බේරා ගන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඔහේ ඉන්න නිසා ඒ විදියට පුළුවන් උනත් මෙහෙ එහෙම බෑ නෙ අජිත් අයියා... ඇඳුම් පැළඳුම් , කෑම ජාති හැදුව කියමුකෝ. තෑගිත් අරන් දුන්න කියමුකෝ. දවසට දෙතුන්දෙනා ගානේ එන යාලුවන්ට නෑදෑයන්ට කන්න බොන්න දෙන එකත් පොඩි සෙල්ලමක්ද... මුන් කිරි හොද්දට බහිනකල්ම එනවනෙ.... හැබැයි ගේන කේක් ටික නං අතනින් මෙතෙන්ට මෙතනින් අතෙන්ට මාරු වෙනවා. අවුරුද්දට හුවමාරු වෙන කේක් ගෙඩි නං අත් වලටම පරණ වෙනවා ඇති. එකෙක් වත් කන්නේ නෑ. ඒවා කන්නත් බෑ.

      Delete
  26. රටෙන් පිට ඉන්නකොට අවුරුද්දෙ වියදම සීමාසහිතයි, ඒත් මේපාර ඒක වෙනස් උනා. මොකද පවුල් කිහිපයක්ම අවුරුද්දට මෙහෙ.

    මොනා උනත් ඔය අවුරුදු තෑගි දෙන එක මම බොහොම සතුටු වෙන සහ කැමති දෙයක්. අවුල ඕකට යන වියදම නෙමේ, ඒ මුදල් සොයා ගැනීම. අපේ අම්මල තාත්තලටත් ඒ ප්‍රශ්ණෙ තිබ්බ. ඒත් ඉතින් අවුරුදු කෑව කෝම කෝම හරි.

    මිනිස්සු සංවේදී වෙන්න ඕන අනෙකගෙ හැඟීම් වලට, ඒත් ලංකාවෙ බහුතරයක් උන් සල්ලි නැතුව දුක් විඳින්නෙ අර උඩ ඇනෝ කෙනෙක් කිව්ව වගෙ උන්ගෙ තීන කම්මැලි කම හින්දයි උද්දච්ච කම හින්දයි. ඒ නිසා හිඟන්නෙක් ගෙට ආවත් මම දෙපාරක් හිතල කීයක් හරි දෙන්නෙ. අනෙක් පැත්තෙන් තමන්ගෙ වරදක් නැතුව දුප්පත් ජීවිත ගෙවන අහිංසක දරුවන්ට මම සෑහෙන උදව් කරනව.

    දැන් කමියලගෙ බෝනස් නැති උන එක සංවේදී කාරනවක් තමා. නමුත් උන්ට පඩි හරි තීනව්. අර නාවින්නෙ ෆැක්ටරියෙ වැඩ කල උන්ට මොනා වෙයිද?

    ReplyDelete
    Replies
    1. ගම් රට වල ඉන්නකොට අවුරුදු වියදම් නිමක් නෑ තමයි. අපේ තාත්තට තවත් අමතර වියදමක් සෙට් වෙනවා. අවුරුද්දට නෑදෑයෝ ආවම පොඩි එවුං තාත්තගෙ ඇඟේම එල්ලිලා ඉන්නෙ සෙල්ලම් බඩු අරන් දෙනකල්. ඒකත් අවුරුද්දක් ගානෙම පොඩි එවුං ඔය වැඩේ කරනවා..
      අවුරුදු තෑගි දෙනකොට හිතට එන සතුට නං කියල වැඩක් නෑ ඉන්දික සහෝදරයා.. තෑගි වලට සල්ලි ගියාට ලැබෙන සතුට සල්ලි වලට ගන්න බෑ..
      සල්ලි නැතිව දුක් විඳින කතන්දරේ ගැන පෝස්ටුවක් සමාජ වාදය සහ ධනවාදය එක්ක කලවම් කරලා පෝස්ටුවක් ලියන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට . එකේදී ඒ ගැන සාකච්ඡා කරමුකෝ.

      Delete
  27. ගල්මෝලෙ රිටේල් විකුණන්නෙ නෑනේද? විකුණනවනම් රබානක් එක්ක ඇඩ් එකක් කරන පුලුවන් නේ ගල් පදයකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ සහෝදරයා... ඇත්තටම මට හිතිල තියෙන්නෙ මේ ගල් කෙරුවාව නවත්තලා ගල් වගේ බඩු ටිකක් පෙරලා රිටේල් විකුණන්න.. වැඩෙත් වාසියි. ටිකක් කල් කරනකොට ඇඩ් නැතත් පොලිසියෙන් නං එයි..

      Delete
    2. ෆුෆ්. කමෙන්ට් එක දැම්මෙ ටිකක් බයෙන්. වෙන බ්ලොග් එකක බැනුම් ටිකක් කියවල බයවී වෙව්ලා හිටියෙ. බ්ලොග් උත්සවේ සජ්ජා මහතා එක්ක කතාකලාද නැද්ද කියල මතකය වෙහෙසලා කල්පනාකරල, හිනාවුනා සහ යනවයි කියල කිව්වවගෙ මතක් වුන නිසා ලිව්ව. :-DDDDDD

      Delete
    3. හහා.. අනේ එහෙම නෑ ප්‍රා සහෝදරයා.. මගේ මොන ලොකු කම් සහ චන්ඩිකම්ද ? සාදරයෙන් පිලිගන්නවා... :D

      Delete