සිංහ"ලේ" පසෙකලා මේ නත්ත"ලේ" සාමය සමගිය සුරකිමු...

සජ්ජා බ්ලොග් ලිවීමට එන්නට කලින් බුකියේ සංවාද ඇතිකරගත් එකෙක් ය. දෙමළුන්, තම්බියන්,  ජාවන් , ලංසියන් සමගින් එක පතේ කමින් එකට සෙල්ලම් කරමින් ගහමරාගනිමින් එක පාසලේ ඉගෙනගත් අතීතයක් සජ්ජා සතුය.. වර්ග, ආගම්, කුළ, පන්ති බේද වලින් අප බෙදී සිටියද ඔය කියන්නාවූ හැම ආගමකම, ජාතියකම , පන්තියකම ඉතා උතුම් මිනිසුන් මෙන්ම එපාකරපු කාලකණ්ණින්ද සිටිනවග සජ්ජා දන්නේ ඉස්කෝලේ යන කාලයේ සිටන්‍ ය.
"අයිසයිස්" මොඩලයේ හම්බ ත්‍රස්තයන් ඉන්නා ශ්‍රී ලංකාවේම උතුම් මුස්ලිම් මිනිසුන්ද සිටිත්. මුස්ලිම් උත්සව හැම එකකදීම පසුදා පන්තියේ හම්බයන් දෙදෙනාගේ වටලප්පන් බාල්දි දෙක පන්තියට වඩිනතුරු කෑදර කමින් මගබලාසිටි අප පොරකමින් ඒවාට වගකිව්හැටි තාමත් මතකයේ තිබේ..  උනුත් අවුරුද්දට අපේ කැවුම කන්නට බලා උන්නෝය.. දෙමළුන් සම්බන්ධවද පාසල් අත්දැකීම් එසේමය.  "ඔය සහෝදරත්වය පොඩිකාලෙදි විතරයි" යමෙකුට තර්ක කළහැකිය.
සජ්ජාට වසරකට පමණ කලින් මරු වැඩක් වුනේය. බිරිඳත් සමග මාතෘ සායනයකට ගොස්  නිවසට පැමිණෙමින් සිටියදී අපට ඉදිරියෙන් ගමන්කරමින් තිබු කාර් රථය එකවරම පාර මැද නතරවිය. හරකෙක් එකවරම එම රථය ඉදිරියට පනිනවා දුටුවද මා වාහනය බ්‍රේක් කරනවිට ප්‍රමාද වැඩිය. අපේ රථයේ හොම්බ ඉදිරියෙන් තිබු කාරයේ පිටුපස ඇතුලට ඔබා හමාරය. වරද හරකාගේ සහ මගේය. ඔලුව එලියට  දැමූ මම ඉදිරි කාරයෙන් එලියට දැමූ ඔලුවට "පාරෙන් අයින් කරමු"යි ඉඟි කලෙමි. ඔලුව වැනූ රියදුරා සහිත එම කාරය සහ අපගේ රිය පාර අයිනේ නතර කෙරිණ. ඉස්සරහ කාරයේ පුද්ගලයා බැස ආවේය.. මමත් බැස ගියෙමි.. "හරකෙක් පැන්නනෙ එකපාරට" (ඔහු මගේ හා ස්මාන වයසේ පුද්ගලයෙක්) "ඒක තමයි මගේ වැරැද්ද... එකපාරට බ්‍රේක් කලේ නෑ.. "... (අපේ කාරයට එබෙමින්)"ඕහ්..වයිෆ් ප්‍රෙග්නන්ටද?? එයාට අමාරුවක් නෑ නේද?" "නෑ .. නෑ.. කාර් එකට දැනුනෙ නෑ ඒ තරම්".. "ඉන්ෂුවරන්ස් එකට කෝල් කරමු එහෙනම්".. "මම අහමඩ්.." අතට අත දීමට දිගුකල අත රොබෝවෙකුමෙන් ඇල්ලූ මට එවේලේ දැනුන සැහැල්ලුව ගැන කියන්නට වචන නැත.. (මෙය කියවන ඔබ පුදුම වනවා ඇත.. මාගේ මේ ලියවිලි සියල්ල කියවන මගේ බිරිඳ, දන්නාඅඳුනන පුද්ගලයකු මේ ගැන විමසුවහොත් සාක්ශි සපයනු ඇත. මා බොරු ලිව්වොත් උන්දෑ ඉදිරියේ මා බොරුකාරයකු වනවාය. ) රක්ෂණ නියෝජිතයන් පැමිණෙන තුරු කලක පටන් දන්නා පුද්ගලයන් මෙන් සාමීචියේ යෙදුනු අප දෙදෙනා දුටු වටාපිටාවේ එකතුවුනු මිනිසුන් අප "ගජයන් දෙන්නෙක්" යයි සිතන්නට ඇත. ඉදිරියෙන් සිදුවීම හොඳින් නිරීක්ෂණය කරමින් සිටි ට්‍රැෆික් රාළාමිලා දෙදෙනෙක් අපේක්ෂා භංගත්වයෙන් මෙන් යන්නට ගියේය.. රක්ෂණ නියෝජිතයන් පැමිණ කරුණු සටහන්කොටගෙන ගිය පසු බිරිඳටද "යන්නම්" කියා අපගෙන් සමුගත් "අහමඩ්" දැනුදු මසකට දෙකකට වරක් මා අමතයි. මුස්ලිම් උත්සව පැවත්වෙන දිනවල හෝ විවේකයක් ඇතිවිටෙක මමද  ඔහු අමතා ආගිය තොරතුරු කතාකරමි. ඉදින් ඔහු වැන්නවුන් "හම්බයා" ලෙසින් අමතන්නේ කෙසේද..
නත්තල සහ කිතුනුවන් සම්බන්දයෙන්ද මා හට මේ හා සමාන අත්දැකීම් ඇත.. මේ සටහන බුකියේ පසුගිය වසරේ නත්තලට කිතුනු සහෘදයන් වෙනුවෙන් සටහන් කරන ලද්දකි..

"මා බෞද්ධයෙකි . කුඩා කාලයේ එක් වකවානුවක කිතුනු පරිසරයක ජීවත් වීමට මට අවස්තාවක් ලැබිණ . ඒ වකවානුවේ නත්තල් දිනට පෙරදින මැදියමේ ගිගුම්දෙන රතිඥ්ඥා හඬ මැදින් පල්ලියට ගොස් ඇත්තෙමි. පල්ලිය තුල සිට බලනවිට උස් වූ ගෝලාකාර වහල දැක විශ්මයට පත්වී ඇත්තෙමි. පල්ලියේ මංගල්ලය දවසේ අසල්වැසියන් පල්ලි භූමිය තුල බෙදාදෙන ඉඹුල් කිරිබත් රස බලා ඇත්තෙමි.ඒ දින වල පල්ලියට එන පාර දෙපස විසිතුරු වෙළඳසල් එකක් නෑර නරඹමින් ගොස් ඇත්තෙමි. පල්ලියේ සීනුවට ඝන්ටාරය යනුවෙන් පවසා සම වයසේ කිතුනු සොයුරන්ගේ සිනහවට ලක්වී ඇත්තෙමි. පල්ලියේ පියතුමා කුසලානයකින් ගෙන දිව මත තබන පෙත්තක් වැනි දෙය කිතුනු යහළුවන්ට ලැබෙද්දී එය කුමන රසයකින් යුක්තදැයි කුහුලකින් හා ගිජුකමකින් බලාසිට ඇත්තෙමි. ඒ යහළුවන් සමගින් විලෝ ගස් කරටියකින් සෑදූ නත්තල් ගසේ දේව දූතයන් එල්ලමින් සැරසිලි වලට උදව් වී ඇත්තෙමි. පිදුරු මූලිකකොට සෑදූ ගව ලෙනෙහි ජේසු බිලිඳා මරියතුමිය ජුසේ තුමා යහළුවන් විසින් තැන්පත් කෙරෙද්දී ඒ වටේට මැටි ගව පැටවුන් තබා සතුටුවී ඇත්තෙමි. ඒ යහළුවන් සතුවූ ළමා බයිබලය සහ නැණවදන් පොත් කියවා ඇත්තෙමි. සියලු ආගම් සියලු ජාතීන් වෙත ගෞරව කිරීමට මා දැනුදු නොපැකිලව ඉදිරිපත් වීමට ඒ සහෝදරත්වයද මහා පිටිබලයක් වූ බව දනිමි. මේ ගීය ඇසෙන වාරයක් පාසා මසිත ඒ අතීතයට දිවයන්නේ නිරායාසයෙනි .නත්තල සමරන කිතුනු සොයුරු සොයුරියනි. සුභ නත්තලක් වේවා...."

තාත්තාගේ එස්රාජ් පැලීම සමඟ මගේ ගිටාර් කතා

සෑහෙන දවසකින් පෝස්ටුවක් දමන්නට බැරුව ගියෝය... කියන්නට ලියන්නට දහසක් දේවල් තිබුණත් ඉස්පාසුවක් නොමැතිකම නිසාවට එව්වා ලියවෙන්නෙම නෑ . බ්ලොග්  කටුව පාලුවට අරින්නට බැරිකම නිසාවට  කීබෝඩ් එක ලැප් එකට අරගෙන කොටන්නේ මොකක්දැයි හිත හිතා ඉන්නකොට  යූ ටියුබ් ප්ලේ ලිස්ට් එකේ වාදනයවෙමින් තිබිච්ච සරත් කුමාරසිංහගේ මධුර එස්රාජ් වාදනයක් බොහොම තදින් හිතට වැදුන .  මධුර මනෝහර  වාදනය මෙන්න ..


කොහෙන් ගියත් මගේ කතාවලදී  තාත්තාගේ කතාවක් එලියට ඇදෙන එක වලක්වන්නට සක්කරයාට වත් බෑ . කොලු සංදියේ නාහෙට නාහන නහරකාරයෙක්වුනු අපේ තාත්තා  "පිට්  එක" නිසාවට කාලේ කියුම් කෙරුම් ඔක්කොම මට කියල තියෙන්නෙ ( ඔක්කොම කිව්වට ඔක්කොමද දන්නෙ නෑ). තාත්තගේ කතා එකතුවට එස්රාජ් එකක් සම්බන්ධවන්නේ අමුතුම විදියකට.  දවසක් සංගීත භාණ්ඩ ගැන ඇතිවුණු කතාබහකදී තාත්තා මරු කතාවක් කිව්ව..