විල්පත්තු ගියෙමි.. දුටුවෙමි...කලකිරුණෙමි ..

ආයුබෝවන්  වාසනාවන්... කාලෙකින් කිව්වට කාලෙම කාලෙකින් බ්ලොග් පෝස්ටුවක් එක්ක ආයෙත් වැඩේට ඇන්ටර් වෙන්නයි මේ සූදානම. මේ මාස දෙකතුනට බ්ලොග් ලෝකෙ  මිස් වෙච්ච දේවල් දැක්කම දුකත් හිතෙනව ඇත්තටම. කාර්යබහුල උනා අරක උනා මේක උනා කියල බොරුවට බටර් ගාල වැඩක් නෑ.. සහෝදර බ්ලොගරුවනේ...උඹල එක්ක සෙට් වෙන්න බැරිවුනු  එකට  සමාවෙයල්ලා..

"බදුයුදීන් ගෙන් විල්පත්තුව බේරාගනිමු " "විල්පත්තුව සුරකිමු" සටන් පාඨත් සමහ ආපු රැල්ල , ඇලයට නැවුණු ගස් අත්තක ඉන්න දිවියකුගේ  සිරුර  ගස් අත්තත් සමගින් ගෙල ලඟින් කපා දමපු පින්තූරය දැන් දැන් කට්ටියට අමතකයි වගේද? වනය කපා හදපු ගෙවල් ගොන්නේ  ගුවන් සේයාරුව , ප්‍රදේශයේ ගූගල් මැප් ස්ක්‍රීන් ෂොට් එක දකින්නත් නෑ නේද? " සිංහලයාට යමක් මතක තියෙන්නෙ   සති දෙකයි" කියපු ප්‍රභාකරන් තියරිය ඔය සම්බන්ධයෙන් ගත්තත් හැබෑවක්කාලෙන් කාලෙට එන රැළි, නාඩගම්, සංවාද වලට මාතෘකා හදල දුන්නට මාතෘකා ටික කාලයක් යනකොට කල් ඉකුත් උනාට සමාජ ප්‍රශ්ණ සම්බන්ධයෙක් කතිකාවත් හැදුනට ටික කාලයක් යනකොට ඔක්කොම අමතකයි. හැබැයි ප්‍රශ්ණ එහෙමමයි. සංවාද හැදෙනකොට, විරෝධතා එනකොට , මිනිස්සු ගැන කතාකරනකොට , රැල්ලක් හැදෙනකොට විසඳුමක් දෙනවා වගේ පෙන්නලා ප්‍රශ්ණය යට ගහල තිබ්බත් විසඳුමක් ලැබෙන එක නෙවෙයි බොහෝ වෙලාවට වෙන්නෙ. ප්‍රශ්ණය ඊටත් වඩා  වැඩියෙන් ඔඩුදුවන්න  අවස්ථාව ලැබෙනතුරු කල් මැරීම පමණයි. මගේ හිතට දැනෙන හැඟෙන ආකාරය විල්පත්තුවේ කෙලවර බටහිර වෙරළට කිට්ටුවෙන් සිදුවන වනසංහාරයටත්  සිදුවෙමින් පවතින්නේ එයමයි. ඔය ප්‍රදේශය හරහා නිවාඩුවක් ගත කරන්නට යන අතරතුරදී අදාළ විනාශය ඇස්  දෙකෙන්ම දැකගන්නට ලැබුණා. තත්වය ශෝචනීයයි මිත්‍රවරුනි.....

මැදවච්චිය මන්නාරම් පාරේ මුරුක්කන් වලින් වමට හැරිලා ආයෙමත් සිලාවතුරෙයි වලින් වමට හැරුනම දිගටෝම ගියෝතින් කැලෑව මැද දුෂ්කර මාර්ගය අන්තිමට හමුවුනත් වැටෙන්නේ පොම්පරිප්පු, වනාතවිල්ලුව හරහා පුත්තලමට.  හැබැයි සිලාවතුරෙයි වල ඉඳන්  මරිච්චිකඩ්ඩි වලින් එපිට   දක්වා මාර්ගය බොහොම ක්‍රමවත්ව පුළුල්ව හදල තියනවා.  කොටින්ම කිව්වොත් හයි වේ එකක්  වගේ සුපිරියි. භරණ නාවුක කඳවුර පිහිටලා තියන සීමාවෙන් සුපිරි පාර ඉවරයි. බදුයුදීන්ලා  වැඩේ දෙන්නෙ ඕන්න ඔය පාරෙ දෙපැත්තෙ තියන ඉඩම් ටිකට. කොටින්ම කිව්වොත් විල්පත්තු රක්ෂිතයේ මායිමේ ඉඳන් ඇතුළට.  පවුලේ උදවියත් දාගෙන සුක්කානම පිටිපස්සෙන් මාතලීගේ භූමිකාව කරන්න වෙච්ච නිසාවට ඔය ටික පොටෝගත කරගන්න හෝ වීඩියෝ කරගන්න නොලැබීම ගැන ලොකු දුකක් හිතේ තියාගෙනයි මේ ලියවිල්ල ලියන්නෙ. විනාශයේ තරම දැනෙන්නෙ ඇත්තටම ඒක දකින්නම ඕන.