දංසල් කාල එහෙම මරණාධාර සමිතියට ගොඩවෙමු



වෙසක් මාසෙත් ලඟයි. මාසෙ වගේම වෙසකුත් බොහොම ලඟයි. ගමේ මළගෙයක් වෙලා මළගෙදර ඉවර උනාට පස්සෙ පාලම්කොඩි ගලවන කොල්ලො දෙන්නෙක් එක්ක කයිවාරුවක් ගගහ හිටියෙ මේ වෙසක් එකට මොකද්ද කරන්නෙ කියන කාරණාව ගැන.


කැරකෙන කූඩුවක් හදනවද, දන්සලක් දෙනවද, ගමේම මිනිස්සුන්ට එකම මෙෂර්මන්ට් එක දීල අටපට්ටම් පෝලිමක් පාර දිගට එල්ලනවද , එහෙමත් නැත්තං තඩි අටපට්ටමක් හදල පොලිතින් වලින් කවර් කරලා හන්දියේ එල්ලනවද කියල. යකෝ පුදුමේ කියන්නෙ මුන් එකෙක්ටවත් එහෙම වැඩක බරක් අරන් කරන්න කොන්ද පණ නෑ. නිවාඩු නෑ අයියෙ, හෙන බිසි අයියෙ, සල්ලිත් නෑ අයියෙ. නෙදකින් විතරක්. යකෝ සල්ලි තිබිලද අපි ඔව්ව කොලේ ඒ දවස් වල. පවුල්කාරයෙක් වෙලත් මට තියන අමාරුව මුන්ට නැති හැටි. තොපිට බැරි නං මට මොකෝ.(එහෙම කියලත් බෑ. මොකක් හරි කෙමනක් අටවන්න ඕන මේ පාරත්)
ඇටෙන් පොත්තෙන් ඇවිත් බයිසිකල් කටුවක් පදින්න පුරුදු වෙච්ච කාලේ ඉඳන් අපේ සෙට් එක දන්සැල් කන්න ගියා බයිසිකල් වල. රෑට වෙසක් බලන්න ගියා ලෑන්ඩ්මාස්ටර් (අත් ට්‍රැක්ටර්)වල. ඒ සම්බන්ධ අත්දැකීම් අනන්තයි අප්‍රමානයි. බයිසිකල් වල දන්සැල් කන්න යනකොට ප්ලාස්ටික් බෝතල් බෑග් එකක දාගෙන යන්නෙ. බීම දන්සැල් වලින් ඉල්ලගෙන පුරවගෙන පස්සෙ ආයේ බොන්න. කොලිටි බීම දෙන තැන්වලින් තමයි බෝතල් පුරවගන්නෙ. නිකන්ම "පච්ච වතුර" මොකට පුරෝගන්නවද. බයිසිකල් වලින් දන්සැල්ම කන්න බලාගෙන යන අපි වගේ පොඩි කොල්ලො කුරුට්ටොන්ට දන්සැල් දෙන පින්වත්තු කොඩිය අල්ලන්නෙත් නෑ ගොඩක් වෙලාවට. අපිව ගණන් ගන්නෙත් නෑ. අපිට මොනා කොඩිද? කොඩි ඇල්ලුවත් නැතත් බලෙන් ඉල්ලගෙන හරි බොනවා බීම.



පණ දාගෙන බයිසිකල් පාගල මහන්සිය නිසා කොච්චර දන්සැල් තිබ්බත් අතාරින්නෙ නෑ. දන්සැල පහුකරලා පඳුරකට සුළුදිය ටික හිස් කොලාම ආයෙත් බීම දන්සැලකට බඩ රෙඩි.  හැතැප්ම ගණන් බයිසිකල් පදින අපි දන්සැල් කීයක් තිබ්බත් අතාරින්නෙ නෑ. අර බෝතල් වලට ඉල්ලුවට සමහරු බීම දෙන්නෙ නෑ. යන්තං ගානක් එකතුකොරලා බීම බැරල් එකක් දියකොරගෙන දවසම දෙන්න හිතාගෙන ඉන්න පෙරේත දන්සැල්!! දන්සැල් කන්න යන ගමනෙ රූට් එක ප්ලෑන් කොරන්නෙ දවල් වෙනකොට බත් දන්සැලක් වඳින්න හිතාගෙන ( කොහෙද දන්සැල් දෙන්නෙ, මොනා දන්සැල්ද දෙන්නෙ කියන එක කල්තියාම මීටර් කොරන් ඉන්නෙ අපි ඒ දවස් වල) .
සමහර වෙලාවට ඒ බත් දන්සලකට යනකොට බත් උයලත් නෑ. එතනින් ගියොත් දවල්ට කන්න වෙන දන්සලක් සෙට් වෙන්නෙත් නෑ. ඉතිං මොකද කරන්නෙ? මොනා කරන්නද. හොරගල් අවුල අවුල වටේ කැරකෙනවා බත් උයනකල්. එකපාරක් මං දන්සැලක බත් මුට්ටියට ගින්දර දාලත් තියනවා. ඔය ගමනෙදි අව්ව වැස්ස අදාලත්වයක් නෑ. වෙසක් මාසෙ වැහි මාසෙ නිසා ගොඩක්දුරට වැස්සට අහුවෙලා නාන්න වෙනවාමයි.  කාලගුණේ කොහෙද අපිව මට්ටු කොරන්නෙ. වැස්සේ නැතත් ජර්නියේ මගදි දොළපාරක් , ඇළක් අල්ලලා කොහොමත් නාන එකනෙ.

ඔය ඔක්කොම සෙල්ලං දාල හවස් වීගන එනකොට ගෙදරට පාත් වෙන්නෙ හිස් අතිනුත් නෙවෙයි. තෝරාගත්ත ඉස්තරම් බීම දන්සැල් වලින් පුරෝගත්ත බීම බෝතල්, කඩල මුල්, මඥ්ෙඥාක්ක පාර්සලුත් එක්ක.  පස් පඩව්වේ බණින අම්මටත් බීම ටිකක් දීල ශේප් කරගන්න ගමන් (කොයි ගෑණු උන්දද දන්සැල් බීම නොබොන්නේ) ඉතුරු ටිකත් කොහොමහරි බොනවා. ඒ කාලේ මතක් වෙනකොට අදටත් පුදුමයි ඒ බීපු බීම බිවිල්ලේ තරමට වකුගඩු වලින් ඔව්ව කොහොම පෙරුවද කියල. බෝමන් ප්‍රාවර හොල්මං වෙලා යන්නැති ඒ දවස් වල.


පොඩිම දවස් වල දන්සැල් කන්න ගියාට උගුරු ඇටේ පැන්න දවස් වල ඉඳල ගමේ දන්සැල් කමිටුවෙ වැඩ. සල්ලි එකතුකරන්න යන්න පටන්ගන්නෙ සති දෙක තුනකට කලින් ඉඳන්ම. අවුරුදු ගානක් තිස්සෙ ඔය වැඩේ කරලා තියන පළපුරුද්ද නිසා අදාළ ඒරියා වල සල්ලි දෙන මිනිස්සු නොදෙන මිනිස්සු, එනවා දකිනකොට දොරවහගන්න මිනිස්සු ගැන හොඳ අවබෝධයක් අපිට තිබ්බ. පසුකාලීනව අපේ සෙට් එක කරන්න පුළුවන් උපරිමයෙන් අපිම සල්ලි දාල දන්සැල් දුන්න. දැන් ඉතිං අපි පැත්තකට විසි වෙලා. අලුත් කොල්ලො කලඑළි බැහැල.උන්ටම එව්ව කරගන්න දීල දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීල වැඩේ කෙරෙන හැටි පැත්තකට වෙලා බලන් ඉන්නවා. කරුමෙ කියන්නෙ ඒකක් කරන්නත් මුන්ව ඇහැරවන්න වෙලා තියන එක.
මළගේක පාලම්කොඩියෙන් දන්සැල් කතාවකට බැස්සට වටෙන් වටෙන් කැරකිලා එන්න දඟලන්නෙ මරණාධාර සමිති කතන්දරේකට. 


 ඉස්සර ගමේ මල ගෙයක් උනාම අපි සෙට් එක මළගෙදරට එකතු වෙනවා. අපේ එකෙක් හිටිය ඌට පිහියක් දුන්නම හනුම වගේ ගෙ වටේ තියන ගස්කොළන් ඔක්කොම පාහිනවා. පාරත් වීසි ගහල සුද්ද කරලා මළගෙදරක  ප්‍රධානම රාජකාරිය වෙච්ච "හට්" ගැහිල්ලට සෙට් වෙන්නෙ ඊගාවට.
බන්දුවගේ ලෑන්ඩ්මාස්ටර් කටුවත් ඉස්ටාට් කොරගෙන අල්ලපු ගමේ මරණාධාර සමිතියෙන් හට්  එක ගෙනත් මිදුලෙ සුදුසු තැනක් බලල ඒක අටවල වතුර පාරවල් ඒක ඇතුලට එනවට වටේ පස් ගැට්ටකුත් දාලයි ඒ කාලේ අපි පස්ස බැලුවෙ. අපේ එකෙක්ගෙ ගෙදර තිබ්බ ටොම්බ සයිස් ෆ්ලෑෂ් ලයිට් දෙකක්. ඒ දෙකත් නියමිත එල්ලයට පාරට එලිය වැටෙන්න හයි කොරල ගෙවල් වලින් ටියුබ් ලයිට් තුන හතරකුත් ගෙනත් එව්වත් නියමිත ස්ථාන වල ස්ථානගතකොරල වයරින් වැඩෙත් කොලේ ඉතිං අපිම තමා. දැන් නං මළගෙයක් ආරංචි වෙච්ච ගමන් දේශපාලුවන්ගෙ පදනම් වලින් "කැනපි" ගෙනත් අටෝනවනෙ.  අහවල් එකාගේ පදනම කියල හැමතැනම ගහපු රෙදි මඩු වගේම උන්ගේ නම් ගහපු ප්ලාස්ටික් ඇඳිපුටු වලින් මිදුල පිරවෙන්නෙ තරඟෙට වගේ. එදා වේල කන්න නැතිව ඉඳල ඊට පස්සෙ චන්දෙ ඉල්ලලා හොරකම් කරගෙන පෝසත් වෙච්ච හිපාටු දේශපාලුවෝ හැම එකාටම දැන් තියනවා "පදනම්".

මල ගෙදරක පුටුවෙ පිටිපස්ස බැලුවම දැන් හොයාගන්න පුළුවන් ගෙදර මහ එකා චන්දෙ දෙන්නෙ මොන පැත්තටද කියල. හට් ගැහිල්ලෙන් පස්සෙ අපේ රාජකාරිය තමයි නිදි මැරිල්ල. හත් දවස ඉවර වෙනකල් මල ගෙවල් වල නිදිමරනවා. ගම් වල මතයක් තියනව හත් දවස යනකල් ගෙවල් වල දොර ජනෙල් වහන්නේ නෑ කියල. දැන් නං ඒ කතන්දර නෑ.
 
ඔය නිදි මැරිල්ලෙදී එලි වෙනකල් කරන්නෙ කාඩ් ගහන එකයි කැරම් ගහන එකයි තමා.  සමහර මළගෙවල් වල පිළිකන්නේ මාගලක් එලලා බූරුවා ගහන ඒකත් ජයටම කෙරෙනවා. මිනිය ගෙදර තියනකල් පොලිසියෙන් පනින්නේත් නැති නිසා බූරුවා කෙළියට යන සාමාජිකයො ඉන්න ගෙවල් වල මල ගෙයක් උනොත් අනිවාර්යෙන් එතන බූරු පිටියකුත් යනවා. මට නං පෙන්නන්නම බැරි වැඩේ තමා ඒක. තෝං බෝතලේට එකතුවෙන සල්ලි මල ගෙදරට ලැබෙන නිසා දුප්පත් අසරණ කමින් මිරිකුණු ගෙවල් වල මල ගෙයක් උනාමත් බූරු පිටි සෙට් වෙනවා ගෙදර අයිතිකාරයගෙ කැමැත්ත උඩ. එව්ව ඉතිං අකමැති උනත් අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි අපේ පාඩුවේ තුන්සියහතර පාරක්, ඕමි අතක් ගහගෙන රැය පහන් කොරනවා. ගම් වල තුන්සියහතර ගහපු පරම්පරාවේ අන්තිම පුරුක් අපි වෙන්නැති. ඕමි ගහන්න වත් දන්න එවුං යැ දැන් ඉන්නෙ. ඉස්සර අජූත කියලත් කාඩ් සෙල්ලමක් තිබ්බ කියල අහල තිබ්බට ඒ ගැන දැක හෝ දැන පුරුද්දක් නෑ. උඩට වියන් බැඳලා කෑම එහෙමත් මේසෙ  උඩ තියාගෙන සල්ලි ඔට්ටුවට ක්‍රමේකට අජූත ගහනවා නං පොලිසියට උනත් අල්ලන්න බෑ කියල වැඩිහිටියෙක් කියනවා මං අහල තියනවා. ඒ දේවල් වල ඇත්ත නැත්ත ගැන අයිඩියාවක් නං නෑ මටනං.



ඉස්සර කට්ටි කට්ටි සෙට් වෙලා තුන්සියහතර ගහනකොට ගමේ සීය කෙනෙක් වැඩේට එන්ටර් වෙනවා. අපි මෑන්ස්ට කිව්වෙ කර්තේලිස් ආත කියල. පොර තුන්සිය හතර ගහන්නේ හෙනම උවමනාවෙන් සහ උනන්දුවෙන්. අපේ ලොකු කොල්ලො පරම්පරාව මිනිහව උනන්දු කරවල ගේමකට සෙට් කරගන්නව. ගේම කිව්වෙ තුන්සිය හතර ගේමකට. සාමාන්යෙන් වැඩි පිරිසක් ඉන්නවා නං තුන්සියහතර ගහන්න හයදෙනෙක් සෙට් වෙනවා. තුන්දෙනා ගානේ පැති දෙකකට බෙදිලා ගහන්නෙ. කට්ටිය කතා වෙලාම හොර කරලා කර්තේලිස් ආත ඉන්න පැත්ත පරද්දනව. පස් දෙනෙක් එක පැත්තක (කර්තේලිස් ආතාගේ පැත්තෙ ඉන්න දෙන්නත්) ආත තනියම. පැරදුනාම බුවාට නහුතෙට තද වෙනව. කුටු කුටු ගාල කුණුහරුපෙන් බැන බැන යන්නත් යනවා. ආයෙත් පින්සෙන්ඩු වෙලා එක්කගෙන එනවා. ඔය වැඩේ එලිවෙනකල්ම කරනව.

ඔය අවු අස්සෙ බිත්තර තම්බන සීන්, නින්දගිය එවුන්ගෙ මූණු වල දැලි ගාන සීනුත් වෙනව. බිත්තර තම්බනවා කිව්වට ඇත්ත බිත්තර තැම්බිල්ලක් නෙවෙයි. ඒ වැඩේ කොරන හැටි කියන්නම්කො. මළ ගෙවල් වලට දැන් දැන් ප්ලාස්ටික් ඇඳි පුටු ගෙනාවට ඉස්සර තිබ්බේ ඇලුමිනියම් තහඩු පුටු. දැන් එව්ව තරම් සැප පහසු නෑ. එව්ව තියනකොට තමයි බිත්තර තම්බන්න පුළුවන්. අළුත් පන්නයේ ඉටිගාපු කඩදාසි වලින් හදපු ගිනි කූරක් අරගෙන වෙඩි බේත් නැති පැත්තෙන් ඒ රෝල් කරපු ඉටි කඩදාසිය හොඳට දිගාරිනවා. වෙඩි බේත් ඔලුව එහෙමම තියෙන්න ඇරලා ඒ ගාවට එනකල්ම.ඊට පස්සෙ කව්රුහරි ඉඳගෙන ඉන්න තහඩු පුටුවක යටි පැත්තෙන් (හොරෙන් පිටිපස්සෙන් ඇවිත්)  ඒ දිගෑරපු ඉටි කඩදාසිය තද කරලා තිබ්බම අර ඉටි ගතියට ඒක තහඩුවෙ ඇලෙනවා. කාඩ් ගහන බුවෙක්ට තමයි ඕක කරන්නෙ. කාඩ් ගැහිල්ලේ සිහිය නිසා හොරෙන් ලේසියෙන් ඔය වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සෙ ගිනිකූරු ඔලුවට ගිනි තියල මාරු වෙනවා. තහඩුවෙ ඇලුණු කොලේ එහෙම්මම එතන ගිනි ගන්නවා. පුටුවේ ඉන්න එකාට කාඩ් සිහිය නිසා ඕක තේරෙන්නේ නෑ. තුනී ඇලුමිනියම් තහඩුවෙ ගිනිකූර අලවපු තැන යටින් හොඳට රත් වෙලා ඒ තාපය සරමක් ඇඳගෙන නිව්ඩෙන් ඉඳගෙන ඉන්න බුවාගෙ (රෑට නිදිමරන්න ඉන්නෙ එහෙමනේ) වෘෂණ කෝෂෙට ට්‍රාන්සර් වෙනකොට පොර උඩ විසිවෙලා බිම වැටෙන්නෙ(ඒ උඩ විසි වෙන වෙලාවට කටින් හුයනු එහෙමත් පිට වෙනවා සමහර වෙලාවට) . වටපිට බලනකොට වැඩේ කරපු එකා පලාතක වත් නෑ ( ඔය හීට් ට්‍රාන්සර් එකට ටික වෙලාවක් යනවා) . ඔන්නෝකයි බිත්තර තම්බනවා කියන්නෙ.


නින්ද ගිය අපේම යාලුවන්ගේ මූණු වල දැලි ගාන වැඩෙත් ක්‍රම දෙකකට බෙදෙනවා. එකක් තමයි වළන් දැලි සහ පොල් තෙල් ගාන එක. අනික පෑන් වල කාබන් ගාන එක. මලගෙදරම කුස්සියට රිංගල මැටි වළන් දෙකතුනක පිට පැත්තෙ දැලි පිහියෙන් හූරල කොලේකට දාල පොල් තෙල් එක්ක හොඳට කලවම් කරල කුකුල් පිහාට්ටක ආධාරයෙන් තමයි නින්ද ගිය එවුන්ගෙ  මූණු පින්තාරු කරන්නෙ. බොහොම සීරුමාරුවට කරන්න ඕන වැඩක්. නින්ද ගිය එකා ඇහැරුනොත් ගුටි කන්න වෙන නිසා. කාබන් ගාන වැඩේට වෙනමම ටෙක්නික් එකක් තියනවා. පෑනක කාබන් කූරක් අරගෙන තුඩ ගලවල විසිකරනවා. ඊට පස්සෙ නිදාගෙන ඉන්න එකාගෙ අල්ලට ලං කරලා දකුණුඅතට (හුරු අතට) වැටෙන්න කාබන් කූරෙ අනිත් පැත්තෙන් පිඹිනව. එතකොට පෑන් කූරෙ කාබන් ටික අරූගෙ අතේ. ඊට පස්සෙ පොල් කෙන්දක් , එහෙමත් නැත්තං තුත්තිරි මලක් අරගෙන ලාවට හීනියට අදාළ බුවාගෙ මූණෙ තැන තැන අතුල්ලනවා. නින්ද ගිහිං ඉන්න බුවා නින්දෙන්ම මූණ පිහදානව. අතේ තියන කාබන් තමුන්ම මූණෙ ගාගන්නවා.
 
දැන් නං වළන් දැලි හොයාගන්න බැරි නිසා මල ගෙවල් වල නින්ද ගිය එවුන්ගෙ මූණු වල ගාන්නේ ටූත්පේස්ට්. අපි නං කට ඇරගෙන නිදාගෙන ඉන්න එවුන්ගෙ කටවල් ඇතුලට ලුණු කැටත් දාල තියනවා.  ඔයිට වැඩිය මිණීමරණ වඩාත් කොලා අපි ඒ දවස් වල. පහල ගෙදර මල ගෙයක් වෙච්ච දවසක රෑ ඔය වගේම ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළා. ඉලක්කය උනේ "නීල් මාමා". නීල් මාම කසාද බැඳලා නෑ. දේපල හොඳට තියනවා. හැබැයි කුණු ලෝබයා. හින්ගන්නෙක්ට සතයක් දෙන්නෙ නෑ. ගූ බෙට්ටෙ සතේ දිවෙන් ගන්න ජාතියේ පොරක්. මිනිහගෙ ඔලුව මැද්දෙ තට්ටේ. "මැද හිස්- වට කෙස්" ටයිප් එක. පැත්තකින් දිගට කොන්ඩේ වවල ඒකෙන් මැද තට්ටෙ වැහෙන්න පීරනවා. ඔය ක්‍රමේට අපි නං කිව්වෙ "විදේශාධාර සිස්ටම් එක" කියල. මළගෙදර පුටුවක් උඩම නීල් මාමට නින්ද ගිහිං. විදේශාධාර කෙහෙරැල්ල පාතට වැටිල එල්ලෙනව. අපිටත් ඉතිං ඔව්ව බලන් ඉන්න බෑ නෙ. කට්ටිය කුටු කුටු ගෑවා. එකෙක් දුවල ගෙදර ගිහිං අරන් ආව "සුපර් ග්ලූ" ටියුබ් එකක්. හොරෙන්ම ගිහිං ඒක මිරිකුව "විදේශාධාර කොන්ඩ කෑල්ල". අපි මාරු. ඇහැරුනාම වෙන වැඩේ බලන්න හිටියෙත් නෑ. විශ්වාස කටයුතු වලින් ආරංචිය ආව නීල් මාම ඇහැරිලා විදේශාධාර ගන්න හදනකොට කොන්ඩ කෑල්ල පොල්ල වගේ කෙලින් හිටිනවලු. කුණුහරුපෙන් බැනබැන ගෙදර ගියාලු. දවල් මළගෙදර එනකොට නීල් මාමගෙ විදේශාධාර කප්පාදුවට ලක්වෙලා.
 
මල ගෙවල් වල ඔය ඔක්කොම සෙල්ලම් දාන්න ශක්තිය ලැබෙන්න කන්න බොන්නත් තියෙන්නෙපැයි. අලුත් තාලේ නූතන මල ගෙවල් වල සැන්විච් එක්ක නෙස්කැෆේ දුන්නට අනේ අපට නං ඒ කාලේ හම්බුනේ මාරි විස්කෝතු, නයිස් විස්කෝතු සමග කෝපි. වටේ අහලපහල ගෙවල් වලින් ඒ ඔක්කොම ගෙනත් දෙන නිසා මළගෙදර උදවියට කරදරේකුත් නෑ. එදා ඉඳන් අද වෙනකල් අපේ තාත්තයි බාප්පයි ගමේ හැම මල ගෙදරකටම රෑට අල්ලපු ගමේ බේකරියෙන් බනිස් ගෙනත් දෙනවා. ඔය ඔක්කොම ජාති කාලා එහෙම තමයි තියන විසේට අපි පිස්සු කෙළියේ. නූතන මල ගෙවල් වල රෑ එළිවෙනකල් බොන එක සිද්ද උනත් ඒ කාලෙ කොළු බජාර් එක කලේ බුලත් විටක් කාගෙන රෑ එලි වෙනකල් ඔය වගේ පිස්සු නටපු එක. "යකෝ මුන් මල ගෙවල් මගුල් ගෙවල් කරගෙන" කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් අනේ ඉතිං කොළු විසේ කොහෙන් හරි යවාගන්න එපැයි.හදිසි අකල් මරණ වෙච්ච මළගෙවල් දේවල් වලදී නං අපි බොහොම සංවරව හිටිය. ඒත් වයසක කවුරුහරි මළොත් ඒක අපි සැළකුවේ "ආතල් මළගෙයක්" විදියට.  

ගමේ මරණාධාර සමිතිය පිහිටෝපු විදිය කියන්න හිතේ තියාගෙ කතාව පටන්ගත්තත් වල්පල් කියෝලා කතාව වෙන පැත්තකට ඇදුන. ඉංගම්මාරු කතා වගේ තමා. එකම සෙට් එකේ උනාට කතා වෙන වෙනම.
අපේ ගමේ මරණාධාර සමිතියක් තිබ්බෙ නෑ ඒ දවස් වල. අල්ලපු ගම් හැම එකේම මරණාධාර සමිති තිබ්බට පුංචි ගමක් වෙච්ච අපේ ගමට මරණාධාර සමිතියක් තිබ්බෙ නෑ. මරණයක් උනාම අල්ලපු ගම් වල එවුන්ගෙ සමිති වලින් හට් පුටු ගේන්න ගියාම උන්ගෙ "රැස්පොට්" බලන්නත් ඕන. ඔය කාරණාව දඩමීමා කරගෙන වයසක බේබදු සෙට් එකක් අලුතෙන් සමිතියක් පිහිටෝනවා කියාගෙන ෆයිල් කටුවකුත් අරගෙන ගම වටේ ඇවිදලා ගෙවල් හැම එකකින්ම සල්ලි එකතුකරගෙන ඒ සල්ලි වලින් බිව්වා. අන්තිමේදී සමිතියකුත් නෑ සල්ලිත් නෑ. කොහොමින් කොහොමින්හරි අපේ කොළු සෙට් එක මරණාධාර සමිතියක් පිහිටෝන වැඩේට තල්ලු උනා. කොළු කාණ්ඩේ එකතුවෙලා වැඩේට සල්ලි හොයන විදිය කතා කරනවා ඉස්කෝලෙ වත්තෙ පිට්ටනි කෑල්ලෙ බෝල ගහල ඉවර වෙලා. අයෙත් ගෙවල් ගානෙ සල්ලි එකතුකරන්න යන්න බෑ. ගියාට පරණ බේබදු නාකි සෙට් එකේ අත්දැකීමත් එක්ක මිනිස්සු සල්ලි දෙන්නෙත් නෑ. දැන් මොකද කරන්නෙ?
අවුරුදු ඉවර වෙලා වෙසක් එකත් ලඟයි. "ලොකු කැරකෙන කූඩුවක් හදල සල්ලි වලට පෙන්නමු" එකෙක්ගෙ යෝජනාව. "අනේ යකෝ, මේ ගම් වල එවුං සල්ලි දීලම කූඩු බලන්න එයි , බලන් හිටපං" තව එකෙක්ගෙ උදැල්ල. කතාව ඇත්ත. සෙනග පිරිච්ච පැති වල සල්ලි තියන නාගරික පංතිය නං සල්ලි දීල කූඩු බලයි. අපේ ගම් වල එවුං වටෙන් කැරකිලා පොල් අතු පැළැල්ලක් අස්සෙන් කූඩුව දිහා බලල යනවා මිසක් සල්ලිම දෙයි මේං කියල. ඒ වැඩේ හරියන්නෙ නෑ. ප්රෝපොසල් එක රිජෙක්ට්.
 
"එහෙනං හොල්මං මන්දිරයක් හදල සල්ලි වලට පෙන්නමු" තවත් එකෙක්ගෙ ප්‍රපෝසල් එකක්. " එව්ව බලන්න මිනිස්සු සල්ලි දීල යනවා බං. ආතල් වැඩක් නෙ. අපිටත් ආතල්. මිනිස්සු බලන්නත් එයි. ගානක් කපාගන්න පුළුවන්" අරූ පෝරත් දානව. "අනේ අම්මේ උඹලට මතකද ගියපාර කිරිඳිවැල හොල්මං මන්දිරේ වෙච්ච සීන් එක?" "වීරඟුලේ හොල්මං මන්දිරේ වෙච්ච සීන් එක, අනේ අම්මේ බෑ" ඒකටත් උදැල්ල. ඔය හොලමන් මන්දිර සිද්දි දෙක ගැනම කිව්වම ඒකෙ බැරෑරුම් කම ගැන ඔලුවට එයි.

කිරිඳිවැල ටවුමෙ වෙසක් කලාපෙකුත් එක්ක බොහොම සරුවට තිබුණු හොල්මං මන්දිරේ  ඇතුලේ වෙච්ච සිද්ධිය වටේපිටේ හැමෝටම තාමත් මතක ඇති. ඔය වෙසක් කලාපවල අයිස්කිරින් කාරයෝ, බැලුම්බෝල මෑන්ස්ල , තොරෝම්බෝල් කාරයෝ පාර දිගටම ජයට වෙළඳාම් කරනවනෙ. ඒ අතරෙ තිබිල තියනවා "ඕන කෑල්ලක් 20යි" මොඩල් එකේ බිස්නස් එකක්. ඔය අපි දකින්නෙ "ඕන එකක් විස්සයි මහත්තයා, ගන්න ඕන නෑ ඇවිල්ල බලන්න" කිය කිය පදුරක එළාගෙන  කතුරු, අඬු, අනං මනං උඩදදා විකුණන වෙළෙන්දෝ. අන්න එහෙම එකක්. වෙසක් කලාපෙ බලන්න ආපු පොරක් ඒකෙන් රුපියල් විස්සකට නියණකුත්(screw driver)  අරගෙන වෙසක් බලාගෙන ගිහිං. ඒ යනගමන් හොල්මං මන්දිරේ දැකල ඒකටත් ගාන දීල ඇතුල්වෙලා බයෙන් බයෙන් යනකොට (බයෙන් තමයි යන්න ඇත්තෙ, නැත්තං මේ සීන් එක වෙන්නෙ නෑ) එකපාරටම යන පාත් එකේ කොළ අතු මැද්දෙන් "මහසෝණා" මොඩල් එකේ යකෙක් කෑගහගෙන ඇඟට කඩාපැනල. අරූ බයවෙච්චපාර අතේ තිබ්බ විස්සට ගත්ත නියණෙන් යකාට ඇනල. යකා බෙරිහන්දෙනවලු, මූත් කෑගහනවලු. පස්සෙ සංවිධායක මණ්ඩලේ රැස්වෙලා යකාව ඉස්පිරිතාලේ ගෙනිහින්. නියන් කාරයටත් අල්ලගෙන ගහල පොලිසියෙනුත් ඇවිත් මළජූලියයිලු. පස්සෙ කොහොමහරි පොලිසියෙන් හොල්මං මන්දිරේ  නවත්තලා. ඉස්පිරිතාලේ හිටපු  යකා මැරෙන්නෙ නැතුව යන්තං ගොඩ ඇවිල්ල.

වීරඟුලේ තිබ්බ හොල්මං මන්දිරේ වලි දෙකයි. ඔය හොල්මං මන්දිර වල බෙල්ලෙ වැල දාගෙන වගේ එල්ලලා ඔලුවත් කඩාවැටිල දිවත් එලියෙ දාගෙන ඉන්න වැඩේ තාත්විකව රඟදක්වනවා. වැඩේ කරන ශිල්පියගෙ කකුල් ඉණ වටෙන් පටි දාල ඒකෙන් උඩ එල්ලලා තිබ්බට පේන්නෙ බෙල්ලෙ තියන  ලොකු කෙඹන්  ඇත්තටම එල්ලිලා ඉන්නව වගේ. කොහොමහරි හොල්මං මන්දිරේ බලන්න ආපු නහරකාරයෙක් (බීලත් ඉන්න ඇති) අර එල්ලිලා ඉන්න එකාගෙ "අහවල් එක" මිරිකල. අරූ එල්ලිලා ඉඳගෙන මර ලතෝනි දෙනවලු. දුවන්නත් බෑ, මුකුත් කරගන්නත් බෑ එල්ලිලා ඉන්න නිසා. ඊට පස්සෙ සංවිධායක මණ්ඩලේ ඇවිල්ල අර ඇට මිරිකපු එකාට ගහල මළජංජාලයයි. ඒකෙ වාඩුව ගන්න ගුටිකාපු එකාගෙ ගමේ එවුං ටිකක් සෙට් වෙලා පහුවදා  ඇවිල්ල වලිය දාගන්නම ලෑස්තිපිට. ඔය හොල්මන් මන්දිර වල තියන තවත් අංගයක් තමයි මල මිණියක් වගේ කළු සුදූ ඇඳගත්ත එකෙක් මිනී පෙට්ටියක දපාගෙන ඉන්න එක. අත් කකුල් වලටත් සුදූ මේස් දාගෙන. අර වලියටම ලෑස්ති වෙලා ආපු සෙට් එකෙන් එකෙක් මන්දිරේ ඇතුලෙන් යද්දි මිනීපෙට්ටියගාව නැවතිලා බිබී හිටපු සිගරට් එකෙන් අර මළමිනියෙ කකුල පුච්චලා. මල මිනිය කිව්වට පණ තියන එකානෙ. ඌ මිනීපෙට්ටියෙන් බිමට පැනල අරූට ගහල. එලියෙ හිටපු ඇරියස් කාරයෝ ටිකයි ගමේ එවුං ටිකයි හිටු කියල ගහගන්නවලු ඊට පස්සෙ. ඒ වලියටත් පොලිසිය මැදිහත් වෙලා හොල්මං මන්දිරේ නවත්තල.
 
මෙව්ව කියෝලා ගිහිං හොල්මන් මන්දිර බලන්න ගියාම මේ වැඩ අත්හදාබලනව එහෙම නෙවෙයි ඕං. හොල්මං මන්දිර වල කෙරුවාවල් වල දරුණුකම ගැන උදාහරණ අහලපහළම තිබුන නිසාවට ඒ වැඩෙත් අතෑරිය. මරණාධාරයක් හින්ද නිකං වලි දාගන්නෙ මොකටද. අන්තිමේදි තීරණයඋනා "සල්පිලක්" පවත්වන්න. ඔන්න වැඩේට බැස්ස කට්ටියම එකම කතාවට.

සල්පිලට වෙන්දේසි කරන්න අවශ්‍ය බඩු එකතුකරන්න කොල්ලො සෙට් එකට ගෙයක් ගෙයක්ගානෙ යන්න උනා. ඒකත් හරි ජොලි වැඩේ. තම තමුන්ගෙ හැකියාවල් සහ කරන කර්මාන්ත වලට අනන්‍ය බඩු තමයි ඒ කාලේ මිනිස්සු සල්පිල් භාණ්ඩ විදියට ලබාදෙන්න පොරොන්දු උනේ. වඩු වැඩ කරන ලෙස්මන් බාසුන්නැහැ හිරමණ දෙකක්, අල්ලපු ගමේ බේකරියෙන් අඩි 4ක් විතර දිග කිඹුලා බනිස් එකක්, බිස්නස් එකට එළවලු කොරටුවක් කරන "අලි අප්පුහාමි මාම"ගෙන් "අලි එළවලු පාර්සලයක්" , මාගල් වියන පොඩිමැණිකා ආච්චිගෙන් ලොකු මාගලක්. ඔය වගේ හැම ගෙදරකින්ම මොකක් හෝ භාණ්ඩයක් සල්පිලේ වෙන්දේසියට ලැබුණ. වට්ටි, පැදුරු, මල් පෝච්චි, මල් වාස්, වගේ දේවල් ගොඩාරියක්. වැලිතලප පාර්සල්, මුරුක්කු පාර්සල්, පුච්චල තලාපු කජු පාර්සල් ( කජු මුල් කියල කජු ගස් වල මුලුත් වෙන්දේසි කරනවලු සමහර සල්පිල් වල . අපේ නං එහෙම එව්ව තිබ්බේ නෑ) ඔය වගේ කෑම මහා ගොඩක් ජාති.  තව පිඟන් සෙට් වගේ දේවලුත් ගෙවල් වලින් සල්ලි වලට මේ වෙනුවෙන්ම  අරගෙන අපිට බාරදීපු වෙලාවලුත් තිබ්බ. කොහොම නමුත් වැඩේ අතිසාර්ථක වෙන බව මුල ඉඳන්ම අපට පෙනුණ. 

සල්පිලක් කරගෙන යනකොට එකදිගට බඩු ටික විතරක් වෙන්දේසි කරන එක නෙවෙයි සම්ප්‍රදාය. රෑ 78ට පටන් අරගෙන පාන්දරජාමෙ වෙනකල් ඇදෙන මේ වැඩේ ඒකාකාරී ගතිය නැති වෙන්න මැද්දෙන් වෙනස් වෙනස් විශේෂාංග තියෙන්නත් ඕන. ගොඩක් දවස් වලට බීල ගෙදර ඇවිත් එළිවෙනකල් ඩොල්කියට තඩිබාන "ධර්මසිරි මාම"වත් සහභාගී කොරගෙන මිනිහගෙ ඩොල්කි පදේට සිංදු කියන්නත් දෙන්නෙක් අපි අතරෙන්ම ඉදිරිපත් උනා. රජවාසලේ අන්දරේගේ  ජවනිකාවක් රඟදක්වන්නත් අපේම කට්ටියක් පුරුදු පුහුණු උනා. මටත් ඒ නාට්ටි කෑල්ලෙ රජ්ජුරුවන්ගෙ බිසවගේ චරිතෙ වේකන්සිය හම්බුනා. අම්මගෙ සාරියක් ඇඳගෙන ,බොරු කොණ්ඩයක් එහෙම දාගෙන. හැට්ටෙ අස්සට රෙදි පොට්ටනි දෙකක් ඔබාගෙන බොරු පියයුරු හදාගෙන සල්පිල දවසෙ දක්වපු ඒ රංගනේ තමයි මගේ ජීවිතේ පලවෙනි සහ අවසාන රඟපෑම.
අරුණ අයියා කොට ගවුමක් ඇඳගෙන තොල් වල ලිප්ස්ටිකුත් ගාගෙන භන්ගාරා ඉෂ්කොමිටා සිංදුවට ("ඔකොඩි නලු  ඉෂිකොමිටා ඕ ඕ , ඔකොඩි නලු  ඉෂිකොමිටා අය අයේ .." සිංදුව මතක ඇති. එකේම තියෙන්නෙ "ඔ බුද්ධික තනියෙන්ද.. ඕ ඕ" කියල එහෙමත්) නටපු බ්‍රේක් ඩාන්ස් පාර බලන්න ආපු කට්ටිය හිනාවෙන් කුල්මත් කළා මතකයි.

ඔය මොක තිබ්බත් වැඩක් නෑ සල්පිල මෙහෙයවන පුද්ගලයා හොඳ මුඛරි කමක් තියන කට සැර විනෝදකාමී පොරක් නෙවෙයි නං. ඩන්ස්ටන් සහ ඩැලස්කෙලාඩ් , ෂොක්මන් සහ සමරවික්‍රම මොඩල් එකේ වෙන්දේසි කාරයෙක් අපේ අහලපහලම හිටිය. ඒ තමා අල්ලපු ගමේ "තැපැල් මාරයා". ලියුම් බෙදපු එක රස්සාවට කරපු මාරසිංහ මාමා දෙකක් දාගත්තම ගිරව වාගෙ. ඒ දවස් වල අහලපහල හැම ගමකම සල්පිල් මෙහෙයවන්නෙ බුවා තමයි. දෙසියපනහයි ඈවරයි....ර්ර්ර්ර්රුපියල් දෙසියපනහයි ඈවරයි කිය කියා දොඹ ගෙඩි ඇස් වලින් වේදිකාවෙ පහළ ඉන්න හැමෝගෙන්ම ප්‍රශ්නයක් අහන විදිය පෙන්නල  මිනිස්සුන්ගෙ හිතේ දෙගිඩියාවක් ඇතිකරල ලංසුව උස්සන්න පුදුම හැකියාව "තැපැල් මාරයා"ට තිබ්බෙ. සල්පිලෙන් උපයාගත්ත මුදල වැඩිකරගන්න "තැපැල් මාරයා"ගෙන් ලැබුණු දායකත්වය අමතක කරන්න බෑ.


ඔය කතා කියද්දි එදා දවසෙ හවස සිදුවෙච්ච සිදුවීමක් ගැනත් නොකියම බෑ. අපේ සල්පිල පැවැත්වුනේ ගමේ "සමාගම් මඩුවේ". මගේ නෑදෑයෙක්ගෙ ඉඩමක කෙලවරේ ටකරං වහලයකින් සමන්විතව හදල තිබ්බ  ඒ ගොඩනැගිල්ලෙ  වේදිකාවක්  වගේම ඊට පහලින් මිනිස්සුන්ට රැස්වෙන්න සෑහෙන තරම් ඉඩකඩකුත් තිබුණ. වේදිකාව පිටිපස්සෙන් ලොකු කාමරේකුත් හදල තිබුණ. ඒ කාමරය ඒ දවස් වල අරක්අරගෙන ඒකෙ පදිංචි වෙලා හිටියෙ "විනී මහත්තයා". තරුණ කාලෙ යමක්කමක් දේපලක් තිබුණු , තමුන්ගෙ නොසැලකිල්ල සහ නාස්තිකාර කම නිසා ඒ ඔක්කොම විකුණලා කාල අනාථ භාවයට පත්වෙච්ච තනිකඩ "විනී මහත්තය"ට කාත් කවුරුත් හිටියේ නෑ. සමාගම් මඩුව වාසභවන කරගෙන ජීවත් වෙච්ච වයෝවෘද්ධ විනී මහත්තයට තුන් වේලටම බෙදාගෙන කන්න බොන්න දුන්නෙ ගමේ මිනිස්සු. කොච්චර නැතිබැරි කම් තිබ්බත් විනී මහත්තයගෙ පරණ ගර්වය නං නැති වෙලා තිබුනෙ නෑ. පොඩ්ඩ මිස් උනොත් බණිනවා. සල්පිල පවත්වලත් කාලෙකට පස්සෙ ජීවිතේ  අන්තිම කාලෙ "ඔබේසේකර වැඩිහිටි නිවාසෙ" සෑහෙන කාලයක් ගතකරපු විනී මහත්තය අවසන් ගමන් ගියෙත් ඒකෙමයි.
ඕක නෙවෙයි කියන්න ගිය කතන්දරේ. සල්පිල දවසෙ දවල් විනී මහත්තයට බඩේ අමාරුවක් හැදිල. වේදිකාව පිටිපස්සෙ කාමරේ ඉන්න විනී මහත්තයට වේදිකාව උඩත් එක්කම බඩේලිය ගිහිං. එලියෙ වැසිකිලියට යන්න තරම් වත් තද කරගෙන ඉන්න බැරි තරමට බඩේ අමාරුව තදවෙලා. සල්පිල් පවත්වනවා තියා එතන නාහයක් තියන මනුස්සයෙකුට උහුලන් ඉන්න බැරි තරමට ගඳ. විනී මහත්තයව කාමරෙන් එලියට වඩම්මවල බඩේ අමාරුවට ගොඩ බේතුත් දීල සමාගම් මඩුව හෝදන්න උනා කොල්ලො සෙට් එකට. හේදුවත් හරිගියෙ නෑ. අන්තිමට ඩෙටෝල් දාල හෝදල අක්ක කෙනෙක්ගෙ සෙන්ට් කුප්පියකුත් ඉවර වෙනකල් ගහල තමා වැඩේ ගොඩ දාගත්තෙ.
කොහොමින් කොහොමින්හරි සල්පිලේ වැඩේ අතිසාර්ථකව නිමා උනා. ඒ දවස් වල හැටියට සෑහෙන මුදලක් එකතු උනා. ඒ මුදලින් අපේ වැඩිහිටියො අඩි විස්සක තහඩු හට් එකක් වගේම ඇලුමිනියම් (බිත්තර තම්බන මොඩල් එකේ) පුටු දහයකුත් හදවගත්ත. අපේ ගමේ මරණාධාර සමිතිය ආරම්භ උනේ ඒ විදිහට. පසුකාලීනව සාමාජික මුදල් සහ තවත් ආධාර උපකාර එක්ක දියුණු වෙච්ච අපේ සමිතිය දැන් සෑහෙන මට්ටමක තියනවා. . මරණාධාර සමිතියෙ ගබඩා කාමරේ කෙළවරක මකුළු දැල් බැඳි බැඳී තියන, අපි සල්පිල් කරලා, නාට්ටි නටල හදවපු පරණ හට් ඒකයි පුටු ටිකයි දැන් පාවිච්චි කරන්නෙ නෑ. දේශපාලු තුමන්ලගෙන් ලැබුණු අලුත් පුටු , කැනපි, හට් වලින් වගේම සමිතියෙන්ම මස්සවපු පාලම්කොඩි , සුදූ කොඩි වලින් සමිතියෙ ගබඩාව පිරිලා. පරණ හට් ඒකයි පුටු ටිකයි  භාවිතයෙන් අයින්වෙලා ගියාට ඒව හම්බකරගන්න අපි දඟලපු විදිය ගැන මතකය හිත් වලින් අයින් වෙලා යන්නෙ නෑ. ඒ අතීත මතකයන් ඒ තරමටම සුන්දරයි.

75 comments:

  1. හොල්මන් මන්දිර වල තියන තවත් අංගයක් තමයි මල මිණියක් වගේ කළු සුදූ ඇඳගත්ත එකෙක් මිනී පෙට්ටියක දපාගෙන ඉන්න එක. අත් කකුල් වලටත් සුදූ මේස් දාගෙන. ???????????????1985 බම්බලපිටියේ හෝලි ෆැමිලි carnival එකේ තිබ්බා හොල්මන් මන්දිරයේ මල මිණියක් වගේ කළු සුදූ ඇඳගත්ත එකෙක් මිනී පෙට්ටියක දපාගෙන ඉන්න එක. එකේ මිනියට රස්නේ නිසා ෆෑන් එකක් දාල තිබ්බා. අපේ කොල්ලෙක් මේ ෆෑන් එක ඔෆ් කෙරුවහම මිනිය නැගිට්ටා කුණුහරප කියාගෙන

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ඒකත් මරු සීන් එක... මල මිනියටත් ෆෑන් දාන එකේ අරූ කොහොමද ෆෑන් නැතුව ඉන්නෙ.... ඒක නෙවෙයි ට්‍රාන්සිල්වෙනියා කියන්නෙ ඩ්‍රකූලා සිටුවරයගේ උපන්බිම නේද?? කොහොම හරි කමක් නෑ.. සාදරයෙන් පිලිගන්නවා කිව්වා ඕං....

      Delete
  2. මලා! මලගෙදරත් දේශපාලනීකරණය වෙලාද?

    මට මතක් වුනේ අවුරුදු විස්සකට විතර කලින් කාලෙක මං පිළියන්දල පැත්තේ දන්න අඳුණන තැනක මළගෙදරකට ගියා. සප්සේ මඩුවක පුටුවක ඉඳගෙන ඉන්න වොලවේ වාහනයකින් බැහැල තව කීප දෙනෙක් එක්ක ආපු පොරක් මා එක්ක හිනාවෙලා ආචාර කලා. මං හිතුවේ මන් දන්න කියන, නමුත් මතක නැති කෙනෙක් කියලයි.

    ඒ කවුද කියලා දහ අතේ කල්පනා කළත් පස්සේ තමයි දැන ගත්තේ මේ කැස්බෑවේ සිරිලංකා සංවිධායකය කියලා. පස්සේ මන්ත්‍රී වුණාදත් කොහෙද?

    (ලිපිය නියමයි. ස්තුතියි!)

    ReplyDelete
    Replies
    1. රසික සහෝදරයා.. දේශපාලනීකරණය වෙලා කියන්නෙ ඒ ගැන කියල වැඩක් නෑ..ඒ ඒ පක්ෂයේ මන්තිරියා ගෙන්නන්න ගෙවල් වල එවුනුත් හරිම උනන්දුයි. ගෙදර පක්ෂ දෙකේම කට්ටිය ඉන්නවා නං දෙපැත්තේම එවුං තරඟෙට වගේ ගෙන්නනවා..

      කැස්බෑව මන්තිරිය කිව්වෙ අර ජවිපෙ විසින් මරාදැමූවන් සමරමු කියල පොටෝ ප්‍රදර්ශනයක් කරපු චන්දන කත්තිරිආරච්චි වෙන්ටැ.. බුවා දැන් හිරේද මන්ද...
      ස්තුතියි සහෝදරයා...

      Delete
    2. මෙයා ඊට වඩා හොඳ එකෙක්. මහජන පක්‍ෂේ නොවෙයි, සිරිලංකා. ආටිගල එක්ක, ලොකඔගේ එක්ක තරග වැදිලා පැරදුණා.

      Delete
  3. ෆට්ටයි... දන්සලක් දෙනකොට තියෙන ෆන් එකයි. දන්සල ඉවර වුනාම තියෙන සතුට පුදුමාකාරයි. . . . ඉස්සරනම් දන්සල ඉවර වෙනකොට ඊළගට යන ට්‍රිප් එකත් සම්මත කරගන්නවා.. දැන් ඉතින් කොහෙද කස්ටිය ෆුල් බිසී නොවැ..

    සජ්ජා විරගුල පැත්ත දන්නවා වගේ .. අපිටත් බේතකට කියල ඉන්නේ ඔය පැත්තේ පොලෝසිය තමයි..

    ReplyDelete
    Replies
    1. කොබා, තැන්කූ කිව්වා... ඇත්තටම පුදුමාකාර සතුටක් හිතට දැනෙනව දන්සලක් දුන්නම. ඒවගේම තමා මාර ආතල් එකක් දැනෙනව පිටකොන්දටත් :D . අපේ නං දන්සැල ඉවර උනාම ඉස්සර වෙසක් බලන්න යන සීන් එක තමා ඔලුවෙ තියෙන්නෙ. හම්මේ කොළඹ යනකොට තියන ආතල් එක. පාරෙ වාහන ඇත්තෙම නෑ, ට්‍රැෆික් ඇත්තෙම නෑ...
      ආ නැතුව නැතුව. වීරඟුල කියන්නෙ අහලපහල ගම් නොවැ. ඔය පොලීසියට කාලයක් අපේ ඒරිය ඒකත් අයිති වෙලා තිබ්බ. ඔකට් ආපු ඕ.අයි.සී. ලගේ කෙරුවාව ගැන වෙනම පෝස්ට් එකක් ලිව්වැකි..

      Delete
  4. කාකා අයියන්ඩි කියනවා වගේ ලිපිය එල ද බ්‍රා..
    අපේ අත්දැකිම් සමානයි උඔ මගේ සිතුවිලි අත්දැකිම් අකුරැ කරා වගේ..කාඩ් පැක් එකෙන් සෙල්ලං දාපු අන්තිම පරම්පරාව අපි.
    මල ගෙදරක ඔමි ගහන්න පොරක් ලොකු ටෝක් දිලා ඉදගත්තා ඉස්සරවෙලාම තුරැම්පු කියන්න තිබුනෙ ඌට මු කියපි “තුරැම්පු අසියා“ කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක් දවසක් ඔය වගේ සෙට් වෙලා.. ඌ නම් හරියටම කියුවා 'තුරුම්පු කලාබර' කියලා.. හැබැයි අපි සෙල්ලම් කරේ තුන්සිය හතර.. හැක්.

      Delete
    2. මෙන්ඩා... එකෙන්ම එලද බ්‍රා !!! නැතුව නැතුව. ජෝඩු බැලිල්ලේ ඉඳල බූරුවා ගැහිල්ල වෙනකල් කාඩ් පැක් එකෙන් කොච්චර සෙල්ලං දැම්මද.. ඉස්සරහට එව්ව නැතිවෙලා යයි තමා මේ යන විදියට .
      //මල ගෙදරක ඔමි ගහන්න පොරක් ලොකු ටෝක් දිලා ඉදගත්තා ඉස්සරවෙලාම තුරැම්පු කියන්න තිබුනෙ ඌට මු කියපි “තුරැම්පු අසියා“ කියලා// මරු සීන් එක බං.

      @කමී.. යකෝ ඒකත් මරු කතාව... හැක් හැක්....

      Delete
  5. ඔය වයසට මළ ගෙවල් වල වැඩ කරනකොට පොඩි පොඩි ප්‍රේම ජවනිකා එහෙමත් සිද්ධ වෙනවා නේද? කොල්ලන්ට ලකුණු දාගන්න හොඳ තැනක් තමයි මළ ගෙවල්...

    ReplyDelete
    Replies
    1. තිසර, නැතුව නැතුව. එහෙම සීනුත් වෙනවා. මගේ යාලුවෙක් එකපාරක් මලගේකදී ඔය වගේ සීන් කෝන් එකකින් කෙල්ලෙක් යාලු කරගත්ත. රෑට ලයිට් දාල තියනකොට ඒ කෙල්ල ඉඳල තියෙන්නෙ මූණ කිට්ටුවෙන් ලයිට් එකක් තියන තැනක. හෙන සුදුවට ලු පෙනුණේ. හැබැයි පහුවදා උදේ බලනකොට ඒ තරං සුදක් නෑලු !!!

      Delete
  6. අපොයි දිග වැඩියි බන් බාගයක් කියෙව්වා පට්ට අතීතයක් මතක් කෙරෙව්වා ඒ කාලෙට
    අපේ පැත්තේ හිටියා අන්කල් කාරයෙක් ඇඟේ ගවුනානම් කුචි කියන්නේ හොඳම සුද්ද සිංහල.... මහ රැ ට මළගෙවල් වල මැද්දට පොරව ගෙනල්ල හිමිට ඇඟිල්ලෙන් ඇන්නනාම් මැරිච්ච කෙනා ඇරෙන්න අනික් ඔක්කොටම හිනා තමයි

    ReplyDelete
    Replies
    1. බලහල්ලකෝ ඉතිං අත්හදාබැලීමක් වත් කොරන්න නෑ නෙ...
      යකොඩෝ අපේ ගමෙත් එකෙක් ඉන්නවා ඩේවිඩ් මාම කියල. රාජ සභාවෙ හිටියත් ඌට ඇඟිල්ලෙන් ඇන්නොත් "හු.." පදේ කියනවා.. ඒකත් අමුතු ආතල් එකක්. අල්ලපු ගමේ එකෙක් හිටියලු වෙලේ එගොඩ මෙගොඩ ඉඳල කතාකරලා ඇඟිල්ල දික් කලත් උඩපනින එකෙක්..

      Delete
  7. උඹ හිතුවද බ්ලොග් පෝස්ට් කියන්නේ නවකතා ලියන එකෙයි කියලා.. මේවම තමයි අර රවී ගොයියයි හැලපේ සීයයි ලියන්නෙත්..

    දිග වැඩි යි ගොයියෝ හොඳටම.. ඒත් රහේ අඩුවක් නෑ.. කියවලා ඉවර උනාම කොමෙන්ට් කරන්නේ මොකටද කියලා මතක නෑ..

    ReplyDelete
    Replies
    1. මමත් බැලුවෙ බං මේ මං ලියපු එකක් සජ්ජා වැරදිලා දාලද කියල හිටං.ඒ විදියමයි ඒ අත්දැකීම් මයි.මු මට වඩා හොඳට මේවගේ කතා ලියනවනං මම ආයෙ මෙහෙම කතා ලියන එකේ තේරුමක් නෑ.මං කුණුහරුපයක් දෙකක් ලියාගෙන ඉන්නං.

      Delete
    2. මචෝ ඔතන පොඩි කෑල්ලක් අඩු වෙලා.. මේ හුත්තේ කොමෙන්ට් එක රවියයි.. සජ්ජයි, හැලපෙයි තුන් දෙනාම මා එක්ක මල පනින වැඩක්...

      //උඹ හිතුවද බ්ලොග් පෝස්ට් කියන්නේ නවකතා ලියන එකෙයි කියලා.. මේවම තමයි අර රවී ගොයියයි හැලපේ සීයයි ලියන්නෙත්..// කියන තැනට පස්සේ...

      ඒත් උන් ඒක ලියන්න පොලෝසිය අර නියපොතු ගලවලා, ධර්ම චක්කරේ දාලා, පුකට ඇස්ලෝන් බට ගහලා අන්තීමට ටයර් එක දානවා වගේ පොඩ්ඩ පොඩ්ඩ ආතල් දීලා.. හුඟක් කතාවල අවසානේ තියා මුල වත් තාම නෑ.. ඒ නිසා චික චික දෙන්න ... කියලා එන්න ඕන..

      Delete
    3. මමත් මේ මාතා කියපු එක තමා කියන්න ගියේ ,

      Delete
    4. කොලිටි ලිපියක් සජ්ජා.

      ඔය ලිපි දිග වැඩි කියන එක මට නම් ලොකු ම අවුලක් නැහැ.

      හැලපේ ගේ පෝස්ට් තමයි මටත් මතක් උනේ, එහෙම කියන එක හරි මදි ද කියලත් හිතුනා ස්වාදීන නිර්මානෙකට, ඒත් හැලපයාගේ පොස්ට් එකක් වගේ කියන එක නම්බුවක් මිසක් මදි කමක් නෙවෙයි හින්දා කමක් නෑ.

      Delete
    5. අනේ අම්මේ උත්තර කීයක් දෙන්නද මුන්ගෙ බැනිලි වලට. මේක හරි කෙළියක්නේ අප්ප. ඔන්න එකකට එකෙක් කියනවා "උඹ මාතලන්ගේ පුතා" කියල, දැන් ඔන්න රවී අයිය හැලපතුමාට සමාන කොරනවා, එකපාරක් මදාවියට සමකොලා උගේ කොමෙන්ටුවකට. අනේ බුදු හප්පොච්චියේ .. මං ඔය උදවියගෙන් එක්කෙනෙක්ට වත් අලගු තියන්න තරම් වත් වටින එකෙක්ද. මං තාම පොඩි එකා..

      @ මාතලන් සහෝදරයා , මම මේක නිකං ටෙස් කොරන්න ලිව්වෙ. තියන දේවල් කියවන්න පුළුවන් නං එච්චරයිනෙ අප්පා.. මේක දෙකට කඩල දාමු කිව්වම ඇනෝපිලිය තමා මේකම එකට දාහන් කිව්වෙ. බනිමුකෝ බලන්න අමු කුණුහරුපෙන් මට, තරහවෙයිද කියල. තැන්කු කිව්ව ඕං ඈ...


      @ හැලප තුමා, පිස්සු කතාකරනවා. මම මෙව්වා හැමදාම ලියන්නෙ නෑ.. ඔයාගේ ඉස්ටයිල් එකට කෙලින්ඩ කාටවත් බෑ... මම මේ බලන්ඩ අප්පා ලිව්වෙ මොකද වෙන්නෙ කියල. මෙච්චර දිගට.

      @ප්‍රසන්න බලන්ඩකෝ අප්ප කියන සඟිස්කුරුත ... චික චික දෙන්නලු...

      @ඉවාන්.. ඔන්න රිංගුව පෝර දාන්න... හිටින්කෝ....

      @ප්‍රොෆයිල් ඇනෝ... සාදරයෙන් පිලිගන්නවා ඕං .... අවුලක් නැත්තං ප්‍රශ්නයක් නෑ. කෝ මුන් ඔක්කොම මට බනිනවනෙ ... අනිවාර්යෙන් අනිවාර්යෙන්... හැලපතුමාල, රවී අයියලට මං සමාන කොරනවා කියන්නෙ ඇත්තටම මට ගෞරවයක් විදියටයි සලකන්නේ... තැන්කු වේවා ප්‍රතිචාරෙට..

      Delete
  8. දැන් හොල්මන් මන්දිර තියෙනවාද ?අපේ පළාත් වල ඔව්වා ඒ කාලෙත් වැඩියේ තිබ්බේ නැහැ.
    අපෙත් තියෙනවා මරණාධාර සමිතියක්,එකෙනුත් දෙනවා හැම වෙසක් එකටම කඩල දන්සැලක්.

    ReplyDelete
    Replies
    1. මනෝ කොහෙද අප්ප ඉන්නෙ? (ඕකම මගෙන් අහයිද දන්නෙ නෑ) තාමත් අපේ පැති වල නං හොල්මං මන්දිර ඉඳහිට හරි දකින්න තියනවා... අපේ මරණාධාර සමිතියෙන් දන්සලක් නං දෙන්නෙ නෑ. කඨින උත්සවේ පෙරහරට කරන සංග්‍රහය නං කොරනවා...

      Delete
    2. මම ගල්කිස්ස ගමේ කොල්ලෙක්.

      Delete
    3. අප්පද බොල .. අමතක උනානෙ මනෝ... හැදුනේ වැඩුනේ ඉස්කෝලෙ ගියෙ සහ රස්සාව කොරන්නෙ ඔක්කොම එහෙ නෙ. ගල්කිස්ස කොහෙද බං ගමක් වෙන්නෙ...

      Delete
  9. නියමයි සජ්ජා. දිග වැඩි උනා කියල කිසිම විදියකින් කියවන්න බාදාවක් නෑ.
    ඒ කාලෙ මග දිගට දන්සැල් මේ පැත්තෙත් තිබුණත් දැන්නං ඒවයින් බොහොමයක් අඩු වෙලා. දැං ඉන්න කොල්ලන්ට ඕව සංවිධානය කරන්න තරං හැකියාවක් නැති කම තමයි.

    ඔය සූරියකන්ද පැත්තෙන් දෙනියාය පාර‍යෙනකොට හම්බවෙන දන්සැල් වලට යනවයි කියන්නෙ ඒවයෙ ඉන්න සෙට් එක දෙයියන්ට වගේ ගිය එකාට සලකන්නෙ. මොකද ඒ පාරෙ පිට වාහනයක් යන්නෙ බොහොම කලාතුරකින්. හැබැයි පාරෙ යන හැම බස් එකක්ම ඒවයෙ නවත්තල සප්පායං වෙලා යන්නෙ. බස් එකේ ඉන්න මිනිස්සුංගෙනුත් ඒකට කිසිම අමනාපයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ඔය තියෙන්නෙ. ඇති යන්තං බැණුම් නැති කතාවක්. ස්තුතියි ප්‍රසන්න. දන්සැල් සංවිධානය කරන එක අමාරුයිනේ. නිකං ඉන්න එකනෙ ලේසි. එක නිසා වෙන්නැති. දැන් ඉන්න සමහර එවුං නිකං ඉන්න මිසක් මෙලෝ වැඩක් කරන්න කැමතියැ.. ෆෝන් ඔබනවා තව එකෙක්ගෙ ෆෝන් එකක් ලං කොරගෙන ෆෝන් කොටෝනවා. ඔව්ව තමා ඉතිං වැඩ..
      මේ ලඟදි දවසක සූරිය කන්ද පැත්තෙන් ආව. පෂ්ට පරිසරේ ඈ.. හරි පුදුමයි ඒ තරමට මීදුම සීතල තියන එක ගැන වනාන්තරත් එක්ක. මං ඔය කිව්වෙ ඒ පළාත ගැන වෙන්ටැ...

      Delete
    2. සූරියකන්ද දෙනියාය පැත්ත වගේම රක්වානෙන් පොතුපිටිය පැත්තට යනකොටත් නියම පරිසරයක් තියෙන්නෙ. නිකං නුවරඑලි ගියා වගේ තමයි.

      https://www.facebook.com/photo.php?fbid=626737270686648&set=a.626737127353329.1073741825.100000511416807&type=3&theater

      Delete
    3. ඒක නේන්නං ප්‍රසන්න.. දැක්ක ඒ පිංතූර.. පුදුම ලස්සනයි. හිතෙන්නෙ නුවරඑළිය කියල...

      Delete
  10. දිගනම් වැඩියි ය්කොව් හොඳටම, පට්ට ආතල් රසය තිබුණු නිසා කියෙව්වා, මේවා කොටස් දෙකකට විතර දාපන් රජෝ. ඔය දන්සල් ට්‍රිප් එක නම් මාර අතල් ගමනක් ඔය කාලේ,

    ReplyDelete
    Replies
    1. හහා.. ඉවාන්... බලහල්ල කොල්ල අමාරුවෙන් ලියපු එකට කියන කතා.. උඹලට කියවන්න දිග වැඩි නං මට කොටන්න කොහොම අමාරු ඇත්ද..ඇත්තම සීන් එක මේක දෙකකට දාන්න හිටියේ.. අර මගේ පාපමිත්‍ර ඇනොපිලිය තමයි බැනුම් අස්සන්නමද කොහේදෝ මේ වැඩේ කොලේ.
      ආයේ දිගට ලියවුණොත් කඩල දෙකකට දාන්න්නන්කෝ. ජයවේවා කිව්වා එහෙනං ඈ....

      Delete
  11. කෙලපු සහ තාමත් කෙලින පිස්සු සේරම මතක් වෙනව සජ්ජෝ... හොල්මන් මන්දිර ගැන නම් කතා කරලා වැඩක් නෑ. අල්ලපු ගමේ එකට දුන්නා දීමක් හොල්මන් ටික හොල්මන් වෙන්නම. ඒකෙ හිටපු යකෙක් කෙල්ලන්ගෙ ඇඟ අත ගාලා. අපිත් පොසොන් එකට ලොකු කූඩුවක් හදලා පොඩි පොඩි අයිටම් සෙට් එකක් කරනවා පන්සලේ. ඒ දවස් ටික අපිට ඉතින් අවුරුදු තමයි....

    ReplyDelete
    Replies
    1. කැමා... මොකෝ මේ ටිකේ සද්ද නැත්තේ? අනේ ඉතිං ඔන්න ඔන්න. යකාට සරුවාංගෙටම වැහෙන්න කැප නං පොඩ්ඩක් අතගෑවම මක් වෙනවද,,, උඹලත් ඉතිං චීත්තෙට එක දාගන්න ඕන නිසා නෙළන්න ඇති අරූට ලෙසටම..
      ඔය වගේ දේවල් කරලා ගන්න ආතල් එක වෙන මොනා දෙකින් වත් ලැබෙන්නෙ නෑ නේද? අනික එව්ව සම්බන්දෙන් නාකි වෙලත් පම්පෝරි ගහන්න ලැබෙන ඒකත් සුළු පටු වැඩක්ද?

      Delete
    2. ඔව් ඔව්... බොට ඉතිං පංපෝරි ගහන්ඩ තියනවනං ඊට වඩා දෙයක් තියනවයැ .......

      Delete
    3. නැතුව ඉතිං.. යකෝ ඒකත් එක්තරා ආතල් එකක්...

      Delete
    4. කොම්පීටරේ දීලා වෙන එකක් ගත්තා. ඒකයි සද්ද නැති උනේ... අද ඉදන් ආපහු ඉන්නවා... පංපෝරි ගහන්න කවුද ආසා නැත්තේ....

      Delete
    5. නැතුව නැතුව.. පම්පෝරි නැති ජීවිතේ ලෙල්ල නැති කෙහෙල් ගෙඩියක් වගේ කියල කිව්වලු පුරාණ පඬිවරයෙක්..ආයෙත් ලියමු.. බලන්න එන්නං...

      Delete
  12. හායි මෙයා ඔයා එදා ආවෙ නැනේ සුදා
    චියා.... අනේ ඔය දන්සල් බත් එපා
    කැමරාවෙන් බලන් ඔයා මැද හිල ලොකුද කියා
    පිම්ම්පි මා මාව වෙන එක්කුට සෙට් කලා මෙයා

    ReplyDelete
    Replies
    1. කැමා මෙන්න සූපියෙක් ඇනෝ ප්‍රහාරයක් එල්ල කොරනවා...

      Delete
    2. ඕකා මගෙ බොක්ක බන්... මට මාර සප් එකක් දෙන්නෙ...

      Delete
    3. මටත් එක තේරුණා.. ඔහොම එවුං තමයි අපිව මාකට් කොරන්නෙ...

      Delete
  13. ඔය ටූත් පේස්ට් සීන් කෝන් නම් අනන්ත කරලා ඇති බං. බොහොම අපූරුයි මතක් කරලා තියෙන විලාසෙනම්.
    හැබැයි උඹට ලියන්න තියෙන ජාති ටික ඉක්මනට ඉවරවෙයිද කියලයි බය!

    ReplyDelete
    Replies
    1. මධුවා, අපි නං ටූත්පේස්ට් සීන් එක කරන්නෙ අරව මුකුත් නැති උනාම . නැත්තං ක්‍රිමිනල් කේස්වලටමයි බැස්සෙ ඒ දවස් වල.
      උඹල ලිපිය රසවින්දා නං එච්චරයි..
      අපෝ , කතන්දර කොහේ ඉවරවෙන්නද.. ඒ තරමට කතන්දර.. හදල ලියන්න දෙයක් නෑ.. ඒ තරමටම තියනවා...

      Delete
  14. වෙසක් එකට කෝච්චියේ යන අයට පේන්න අත්තනගලු ඔයේ නෙළුම් මල් හතක් හදන එක අපි පටන් ගත්ත, ඒ වගේම අපිට කලින් දන්සැල දීපු පරපුරෙන් ඒක බාරගෙන දිගටම අරගෙන ගියා. සතුටට කරුනක් වෙන්නෙ දැන් ඉන්න පරපුර අපිටත් වඩා හොදින් ඒ දේවල් දිගටම ගෙනියන එක.
    මල ගෙවල් වලදි සජ්ජලයි අපියි කරපු දේවල් ඒ තරම් වෙනසක් නෑ. අතීත මතක සුවද දැනෙන පෝස්ට් එකක් සජ්ජො.

    ReplyDelete
    Replies
    1. කම්මලේ.. මට මතකයි ලාවට වගේ ඔය නෙළුම්මල් සීන් එක. කොච්චර දෙයක්ද එහෙම කරගෙන යන කොළු පරම්පරාවක් ඉන්න එක. දැන් ඉන්න කොල්ලොත් නරකම නෑ. වෙලාවක් නැතිකම සහ වැඩේට බහින්න කම්මැලි කම තමයි සමහර වෙලාවට ඔය වගේ වැඩ වලට හරස් වෙන්නෙ. හැබැයි ඔව්ව දැනුත් කරන කොල්ලො කොච්චරනං ඉන්නවද...
      අතීතයට ගියා වගේ දැනුන නං මට ඊට වඩා සතුටක් කොයින්ද.. ස්තුතියි කම්මලේ..

      Delete
    2. හැම ගමේම මැරෙන්න ආධාර දෙන සමිති..
      ඡිවත් වෙන්න ආධාර දෙන සමිතියක් තියන ගමක් තිබුනෙත් කියහං ඒ ගමෙන් ඉඩම් කෑල්ලක් ගන්න

      Delete
    3. බදූදීන් ගොයිය කැලෙ එලිකරල ඉඩම් නිකමුත් දීල ජීවත් වෙන්න ආධාරත් දෙනව . කැමතිනම් කොනක පාල වෙලා ඉල්ලපන්.

      Delete
    4. අඩේ .. අන්නෙහෙම ගමක් තියනවා නං මටත් කියපන්කො.. මාත් එනවා.. කම්මලේ කිව්වා විදියට කොණ කපන්න නං බෑ...

      Delete
  15. හොල්මන් ගැන කියවද්දි ජීවිතේටම හිනා ගියාමයි ඕං..

    අර පොඩිමැණිකා ආච්චිගේ මාගලකද බං උඹ මේක ලියුවේ.. මං හිතුවෙම පඳුරු තලල තලල රවී අයිය වගේ මරණාධාර සමිතිය ගැන වරහන වහන එකක් නෑ කියල.. නොස්ටල්ජික් ආතල් එක නිසාම එක හුස්මට කියෙව්වා.. තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා උඹට මෙහෙත් හට් ගහන්න එන්න වෙනවා..

    කොහොමද අරම මළ ගෙවල්වල රෑට මාරි කාල කාල පහුවෙනිදට පුකේ ආඩම්බර බලන්න ගියාම? හැක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං උඹ චුටුස් ගාල දත් ලාවට පෙන්නනවා මිසක් හරියට හිනා වෙන එකක්යැ..
      පොඩිමැණික ආච්චිගෙ මාගල් මීට දිගයි බං. උන්දැට තාමත් ඒ වැඩ කරන්න හයිය තියනවා. උන්ද දැන් පැදුරු විතරයි වියන්නෙ. මාගල් වල වී වනන ක්‍රමේ දැන් නැවතිලා නිසා.. රවී අයියගෙ එව්ව තරං කොහෙද බං මෙව්වා..හුස්ම හිර උනත් කමක් නෑ කියෙව්ව නං. මළගෙයක් කියන්නෙ සෙල්ලන්ද. හත් දවසක් ෆන් එක ගන්න වැඩක්නේ..
      මාරි කන්නෙත් නිකං යැ . කෝපිත් බොනවනේ...ආඩම්බර බලනවා වගේම බඩේ දැවිල්ලත් හැදෙනවා..ඊයෙ රෑ මළගේක නයිටක් ගහල තාමත් බඩ දනවා බනිස් කාලා. (අම්මප මං කල්පනා කොලේ මේක ලිව්වා විතරයි තවත් මළගෙයක් උනා)
      එහෙනං ජයවේවා කිව්වා...

      Delete
    2. අඩේ,ඉස්කෝලේ කාලේ කෑම්ප් ගියහම ඒකේ ටොයිලට්වල තියන පිරිසිදුකමට මම ඒ දවස් ටිකේම ටොයිලට් ගියේ එක පාරයි.ඒකට මට පිහිටවුනේ විටමින් A,B,D,E අඩංගු මාරි තමයි.

      Delete
    3. අඩෝ ඒ කතාව ඇත්තද බං? මාරි කෑවම එහෙම වෙනවද?

      Delete
  16. ඉස්කෝලේ යන කාලේ මලගෙයක් කියන්නේ තනිකරම මංගල්ලයක්.අදුරන එවුන් නැති තැනක ඉදන් නිදහසේ සිගරට් එකක් බොන්න,නිදහසේ මලක් කඩන්න,ක්ලාස් කට්කරලා යන්න තැනක් නැතිවුනහම රිංගන් ඉන්න,රෑට තැඹිලි කඩන්න,මලක් ගහන්න.....තව කොච්චරක්ද?අපේ අම්මා ඒ කාලේ මට කිවුවේ ග්‍රාමසේවක කියලා.
    ඔය හොල්මන් මන්දිරනම් හෙන ආතල්.පන්නිපිටිය ධර්මපාලේ කාර්නිවල් එකක තිබුන හොල්මන් මන්දිරේදි අපේ එකෙකුයි යකෙකුයි පරණ වලියක් ඇදගන හොල්මන්මන්දිරේ පැත්තක් කඩා වැටුනා.පස්සේ උන්ගෙන් කන්නේ නැතුව ගෙදර ආවේ හෙන ගේමක් දීලා;අරුගේ අම්මව මතක් කර කර.

    ReplyDelete
    Replies
    1. ඒකාලේ නං මාත් ඔය විදියම තමා.. උඹලයි අම්ම උඹට මොනදේ කලත් කාඩ් එකක් නිකං ඉන්නවද බං? එකට අපේ අම්ම. පොලෝසිය පරාදයි...
      යක්කු හොල්මං වැඳිර වලිදී ඇරියස් කවර් කරගන්නවා ඇති. ඇයි යකෝ මූණ පේන එකක් යැ. අරූ අඳුනගන්න ඇත්තෙ වෙස්මූණ ගලෝල බලල වෙන්ටැ.. කොහොම කිව්වත් හොල්මං මන්දිර සීන් එක කියන්නෙ වැලි, ගුටි කෙලි ලෝකයක් තමයි. කොහෙන් නමුත් කොක්කක් ඇදෙනවා.

      Delete
  17. දැන්නං මළ ගෙවල්වල නානාප්‍රකාර මළ විකාර නොකර ඉන්නේ මළමිනිය විතරයි සජ්ජෝ.

    යකෝ දැන් දන්සැල් වලින් කන්න ප්‍රාඩෝ වලින් එනවා කන්න නැති මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මල මිනිය බුදි අතරෙ සිද්දවෙන විකාර දැක්කොත් මල මිනීත් නැගිටිනවා විචාරක තුමා.. දැන් කරන්නෙ මිණියේ නාමෙන් එළිවෙනකල් බොන එක නෙ.
      දන්සැල් සීන් වලින් කන්න ප්‍රාඩෝ වල එන එක නං දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් වෙලා.. කලිසන් කොට ගහල බහින නෝනමහත්තුරු දැකල දන්සැල් දෙන කොල්ලො ෆුල් හොල්මං වෙනවා... ඒ වෙලාවට නෝනලාට සත්කාර කරන්න නොඅඩුව කට්ටිය ඉදිරිපත් වෙනවත් එක්ක..

      Delete
  18. ඊයේ දෙපාරක්ම කමෙන්ට් එකක් කෙටුවා.
    පලවෙනි පාර නෙට් යකා මොකක්හරි බුලක් කෙලලා ඒක නැති උනා. ඊට පස්සේ වතාවේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න අමතක වෙලා මම කොම්පීතරේ ඕෆ් කලා හදිස්සියේ ගමනක් යන්න වෙච්ච නිසා
    දැන් මේ තුන්වෙනි වතාව

    පෝස්ට් එක මටනම් එළකිරි වගේ...
    දවසට පොත් දෙක තුනක් උනත් කියවන්න ඇහැකි මට මේකේ දිග සම්බන්ධ ගැටළුවක් කොහෙත්ම නැහැ

    තියෙන එකම ගැටළුව උඹේ මේ සුදු කළු ටෙම්ප්ලේට් එකේ අවුල
    මේක කියවල ඉවර වෙද්දී ඇස්දෙක නැහැ වගේ
    උඹ මේක මුල ඉඳල අගට කමෙන්ට් එක්ක කියවල බලපන්
    මේක හොඳයි බං තරහ කාරයෙකුට කියවන්න දෙන්න
    ඒක ඉක්මනට හදපන් අපි වගේ ඇස් අමාරු කාරයෝ ගැනවත් හිතලා

    මළ ගෙවල්, දානේ ගෙවල් ගැන කිව්වම මෙන්න මේකත් කියන්න ඕනේ උඹලගේ පහන් සංවේගය උදෙසා
    ගිය සති අන්තයේ අපේ ආච්චිගේ තුන් මාසේ පිංකම තිබ්බා
    බණ ඉවර උනාට පස්සේ එළි වෙනකල් එතන 304, ඕමි, බුරු සියල්ලම කෙරුනා
    එදා දවස ඇතුලත පුවක් ගෙඩි දෙසිය ගානක් කපල තිබ්බලු, දානේ දවසේ ආපහු පුවක් තොගයක් කපනවා මං දැක්කා.
    මගෙත් කට හම ගිහින් තිබ්බ බුලත් කාලා
    හැබැයි ඒ වගේම එළි වෙනකල් එක එක කල්ලි තැන තැන සෙට් වෙලා බෝතල් වලටත් වග කිව්වා
    ඒ කියන්නේ පරණ අලුත් සියල්ලේම සම්මිශ්‍රණයක් එතන තිබ්බා.
    ගොඩක් ස්තුතියි බන් මේ වගේ රහ පෝස්ට් එකක් දාපු එකට

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා, ටෙම්ප්ලේට් අවුල ගැන දෙතුන්දෙනෙක්ම කිව්වා නිසා ඔන්න වෙනස් කොලා. අදහසක් දෙන්න බලන්න ඒ ගැන. අන්න එකෙක් බනිනවා මේක දැකල පේජ් එක කාලා කියල. අනේ මන්ද..
      පෙරේදත් මම මළගෙදරක නයිටක් ගැහුවා. ඔය කියන විදියටම කට ලෙලි ගිහිං බුලත් කාලා. දෙන එව්ව කන්නත් එපැයි. මෝරපු බුලත් කොළ තිබුනේ. මළගෙදරට යන පාරෙ වාහන 50කත වැඩිය නවත්තලා. ඒවා දැකල යනකොට හිතුන ඉන්නවත් තැනක් තියෙයිද දන්නෙ නෑ කියල. මොන පිස්සුද. වාහන තිබ්බට මළගෙදර බලු බල්ලෙක් නෑ. බැලින්නං වාහන වල ආපු එවුං ඒවා ඇතුලෙම බොනවා. මළගෙදර එකෙක් වත් නෑ එව්ව වල ආපු. රෑ 12,1 වෙනකොට වාහන ටිකත් ගියා. මළගෙදර ඉතුරු උනේ අපි 7,8දෙනෙක් විතරයි. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ඒක. වාහන වල මළගෙදර එනවා. මිනිය කළුද සුදුද දකින්නෙත් නෑ. වාහන වල තියාගෙනම ගසනවා. ඊට පස්සෙ වාහන වලම බුදියගෙන වෙරි හිඳුනම වාහනේ ගෙදර යනවා.
      මේ දවස් වල කොමෙන්ට් කොටලා තිබ්බොත් කපෝති. ලයිට් යනවයි adsl ඩිස්කනෙක්ට් වෙනවයි ඉවරයක් නෑ. අමාරුවෙන් නමුත් කියෝලා අදහස් දැක්කුවට ඉස්තුතියි. අනික මම දන්නවා කොටපු එකක් නැතුව ගිහිං ආයේ එකම කොටන්න වෙනකොට තියන සනීපෙ. ජයවේවා...

      Delete
  19. මම නම් එදා ඉදලා කියනවා දිග වැඩියි බන්....
    එත් ලියලා තියෙන ටික නම් පට්ට.....

    ReplyDelete
    Replies
    1. යකෝ උඹට මේක කියවන්න අමාරු නං මට මේක කොටාගන්න කොච්චර අමාරු වෙන්න ඇතිද? මං ගැනත් හිතපන්කෝ බං පොඩ්ඩක්.. ජයවේවා...

      Delete
  20. මොකද යකෝ තෝ මේ කරේ?
    ලස්සනට තිබුන බොලග් එක කාලා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මම මූට කිව්වා .... කොහෙද ඉතිං මූට වෙනස් කොරන්ඩ ඕනෙම උනානෙ .......

      Delete
    2. අනේ බං කොම්ප්ලේන් වැඩියි මේක කියෝනකොට ඇස් රිදෙනව කියල. ඒකයි වෙනස් කොලේ.. බලමුකෝ... හිටහන්කෝ ටික ටික මොඩිෆයි කොරන්න...

      Delete
  21. මම මේක දැම්ම දවසේම කියෙව්වා. අන්තිමේට මුල ටික මතක නෑ. ඇයි යකෝ එක පෝස්ට් එකයි කතා ගොඩාක් නෙ.
    තුන්සිය හතර අපිත් තාම ප්ලේ කරනවා. බිත්තර තැම්බිල්ලයි, දැලි ගාන සීන් ටික වගේම දන්සල් වැන්ද සීන් එකත් පට්ට :D. මරණාධාර සමිතිය හදාගන්නත් සැහෙන්න ගේමක් දීල තියෙනවා. වෙනද වගේම සුපිරි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මනා.. රසවින්දා නං එච්චරයි.. බලහං බං මට මෙවුං බනිනවා දිග වැඩියි කියල. ජයවේවා...

      Delete
  22. පට්ටයි සජ්ජො... කියෝගෙන කියෝගෙන ආවා.පොඩිකාලෙ ඉඳන් ලොකු වෙනකන් සිද්ධි සෙට් කරලා අමුතු ගේමක් ගහල වගේ කොල්ලා.තව ලව් කේස් එකක් අස්සෙන් දාල දුශ්ඨයෙක් දාල ඉස්කෝලෙ සින් එකක් එහෙම දැම්ම නම් නියම නව යෞවන කතාවක්. ඊළඟ එකට කැමති නම් ට්‍රයි එකක් දියන් බලන්න.රහට එයි කියල හිතෙනවා.කියෙව්වට මහන්සි නෑ.ඒක වටිනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලබ්බා.. කාලෙකින්. දැක්ක අලුතෙන් කීපයක් දාල තියනවත්. එන්නම් බලන්න හෙමීට.. අම්මප ගල් කෙස් එක අතෑරලා මහින්දගේ ආගියකතා වගේ එකක් ලියන්න තිබ්බ නං මරු තමා. වැඩේ මාකට් උනා නං විමසුම ලියන්නත් කතාකරයි කවුරුහරි.. :D

      Delete
  23. උඹේ ලියවිල්ලෙ ගොඩාක් දේවල් මගෙත් අත්දැකීම් ගොයියො...පාගල් එකද / ලෑන්ඩ් මාස්‍ටරේද / තට්ටු ලොරියද ඔය කොයි එකෙත් අපි වෙසක් බලන්න ගියේ රංචු ගැහිලා බත් දන්සැලට වියදම් කරලා ඉතුරු වෙන මුදලින්. ලොරියෙ ගිය දවසක සැට් එකම අඩියක් ගහලා තට්ටුවෙ නිදාගෙන හිටිය දවසක තඩි වතුර බාල්දියක් උඩකින් වැටුනා ලොරි තට්ටුව උඩට...කට්ටිය අම්මලාගෙ වරුණෙ කියාගෙන නැගිට්ටෙ... අපේ පැත්තෙ හොල්මන් මන්දිරයක පොළව යට වලලපු මෙට්ටයක් සහ ඒක උඩින් පස් දලා තිබුනා. මෙතනදි යන්න වෙන්නෙ ගැස්සි ගැස්සි...ඒ අස්සෙ අකුලක් අස්සෙන් අත දාන පොරක් කකුලක් අල්ලනවා....අන්න ඌ කෙල්ලන්ගෙ කකුල් අතගාන්න ගිහින් තමයි උණ ගැනෙන්න ගුටි කෑවෙ...මේ ලගදි මෙහෙ පන්සලේ චීන පොඩි උන් ටිකක් හොල්මන් මන්දිරයක් කලා දහම් පාසලේ....ඒක දැකලා මට මුන් ටික ලංකාවට අරගෙන ගිහින් ටියුෂන් දෙන්න හිතුනා..උන් බෙල්ලෙ වැල දාගත්ත එකෙකුයි කලුවරයි විතරයි හොල්මන් මන්දිරයට එකතු කරලා තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. හහ් හා.. සිරා.. උපරිම ආතල් විඳ ඇති සතියක් දැනේ.. වෙල් කම් ටු ද ක්ලබ් කිව්වා... ඒ කාලේ අත්දැකීම් නං දවස ගානේ පෝස්ට් එක ගානේ දැම්මත් කියල ඉවර කරන්න බෑ.. එහෙම බලාගෙන ගියාම මම හැමදාම කියන්න වගේ අපි යුග දෙකක ජීවත් උණ මිනිස්සු.. පරණ ආතල් සහ අලුත් ෆන් දෙකම අරගත්තු උදවිය අපි. 70 දශකයේ සිංදු වගේම එමිනෙම් ගෙ සිංදු එකපාර අහනවා වගේ වැඩක් මේක...
      චීන කොල්ලන්ට උගන්නන්න තිබ්බේ පරණ අත්දැකීම් වලින් දෙක තුනක්. එහෙනං උනුත් අම්බානෙක කන හැටි බලන්න තිබ්බ.

      Delete
  24. යකෝ දිග වයිෆ් බැනල නතරවුනොත් ඇති ට්‍රින්කෝ NSB යන්න හිතාන හිටියේ කොමෙන්ට් ඇවිල්ල කොරන්නම්. උබ නිට්ටබුව් ප්‍රාන්තයේද

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... මම යක්කල ප්‍රාන්තයේ.. නිට්ටඹු ප්‍රන්තයේත් කරකැවෙනවා..NSB කිව්වෙ ඒ බැංකුවේද වැඩ?

      Delete
  25. මේ දවස් ටිකේ අම්බානෙක කාර්ය බහුල වීම හේතු කොටගෙන බ්ලොග් ලෝකයේ සැරිසැරීමට නොහැකිවීම පිළිබඳව මගේ කනස්සල්ල මටම ප්‍රකාශ කරමි. සෑහෙන දේවල් පෝස්ට් මිස් වෙලාකෙළවරක ඉඳන් බලන්න එපැයි දැන් ඉතිං...

    ReplyDelete
  26. අජූත නියම ගේම් එක
    හුඟදෙනෙකුට සෙල්ලම් කරන්නත් පුලුවන්. ඉස්සර අපි බලාගෙන ඉන්නව.
    පර්මනන්ට් පාට්නර්ස් නෑ. එක්කෙනෙක් ඉල්ලනව, තව කවුරුහරි දෙනව, ඒ පාට්නර්ස්ල දෙන්න අනික් අයට විරුද්දව සෙල්ලන් කරනව එක රවුන්ඩ් එකක්.
    එච්චරයි මතක. රූල්ස් මතක නෑ දැන්. පුලුවන්නම් හොයල කියන්නකො

    ReplyDelete
    Replies
    1. ප්‍රා, මමත් ඇත්තටම දන්නෙ නෑ අහල තිබ්බට ඒකෙ රූල්ස් .. පොඩ්ඩක් හොයල බලන්න ඕන. දැනගත්තු දාට අනිවාර්යෙන් කියන්නම්... ගූගල් සර්ච් එකක් ගැහුවත් එන්නෙ නෑ...

      Delete
  27. මැරෙන්න ආධාර දෙන්නම ඕනද බං ?

    ඔය ඇතැම් එව්වොන්ට මරණාධාර සමිතියේ ගාන ගෙවන්න මතක් වෙන්නේ ගෙදර කෙනෙක් මැරුණහම, එතකං මග අරින්න නොකරන දෙයක් නැහැ.

    ReplyDelete