වෙසක් මාරයි, දන්සැල් හමාරයි..



"මල්ලි පන්සල තව ඉස්සරහද?" තඩි හයිපයි වාහනේක යාන්ත්‍රිකව පාත් කරපු වීදුරුව අස්සෙන් ඔළුව එලියට දාපු (සන්ග්ලාස් පොල්ලකුත් පිණී බානවටද කොහේදෝ  ඔලුවෙ දාගත්තු) තඩි සයිස් මහත්තයෙක්, පුතේ කියල කතාකරන සයිස් පොඩි එකෙක්ගෙන් පාර අහනවා. "ඉස්සරහ, තව ටිකක් ඉස්සරහට යන්න මේ පාරෙම" මහත්තය කියනවද, මාමෙ කියනවද, එහෙමත් නැත්තං අන්කල් කියනවද කියල ආමන්ත්‍රණයක් හොයාගන්න බැරි වෙච්ච පොඩි එකා තටම තටම උත්තර දෙනවා. පන්සල ගැනද එහෙමත් නැත්තං දන්සැල ගැනද මන්ද ඇහුවෙ වීල් ඉස්පින් වෙන ගානට පිකප් කොරපු වාහනේ ඉගිල්ලුනේ පන්සල ලං වෙද්දී ශ්‍රද්ධාව වැඩි වෙච්චි නිසාද එහෙමත් නැත්තං දන්සැල සිහිවෙලා බඩගින්න තදවෙච්ච නිසාවටද මන්ද. ඒ අස්සෙන් අජානේය අස්ස වේගෙන් ඩබල් ත්‍රිබල් දාගෙන වෙට්ටු දාගෙන බයික් වල ඉගිල්ලෙන නහරකාර කොල්ලො, අපේ පුංචි කාලේ මතක් කරන පුෂ්බයිසිකල් වල දාඩිය පොල්ල දාගෙන දන්සැල් වන්දනාවෙ යන කොළු කුරුට්ටෝ රංචු , පයින්ම පන්සලට තලෝන වයසක ආච්චිලා , බලෙන් තැන් තැන් වල පාට පුච්චපු ඩෙනිම් ඇඳගෙන පන්සල පැත්තට අඹරවන ගමේ ගැටිස්සියෝ, උන්ගෙ කන් ගාවින් කෝච්චි ටයිප් හෝන් පිඹ පිඹ යන ඇට්ටර කොල්ලො පිරිච්ච ත්‍රීවීල්,  පන්සල් පාර කොච්චරට තදබදේකට අහුවෙලාද..
ඉස්සර බයිසිකල් කටුවත් අරගෙන දන්සැල් කන්න යාලුවෝ සෙට් ඒකත් එක්ක පාරට බහිනකොට අම්මගෙ සේෆ්ටිය සම්බන්ධ වෝනින් එක විදියට හැමදාම අහන්න ලැබෙන "අඬුපඬු  කඩාගන්නේ නැතුව රෑ වෙන්න කලින් ගෙදර වරෙල්ල" වචන සෙට් එකට අමතරව තාත්ත අහලපහලක හිටියොත් " පන්සල් යන මිනිස්සුන්ට දෙන දන්සැල්බතටත් නිකන්ම ගිහිං කෙලලා වරෙල්ල" කියල කින්ඩි කතාවකුත් අහන්න ලැබුණ. ගමේ දන්සැලෙන් ගිහිං බත් කාල එනවා කිව්වම ඒ දවස් වල ඒ වැඩේ සැළකුවේ මදිපුංචිකමක් විදියට.


"දන්සැල් දෙන්නෙ පන්සල් යන වන්දනාකාරයොන්ට කන්න දෙන්න මිසක් ගෙවල් වලට වෙලා බට කලියාගෙන, බඩ උලාගෙන  ඉන්න එවුන්ට කන්න දෙන්න නෙවෙයි" කියල මතයක් ඒ දවස් වල තිබුනෙ. හැබැයි ඉතිං දැන් නං ගමේ දන්සැලට දෙන හාල් මිටියට හිලව් වෙන්න බත් බේසමක් ගෙදෙට්ට ලැබුනෙ නැත්තං අපේ අම්මගෙත් මූණ එල්ලෙන්න ගන්නවා. "අද දන්සැලෙන් බත් හම්බවෙයි, උයන්න ඕන වෙන්නෙ නෑ " කියල ෆුල් ආතල් එකේ කකුල් දෙක වන වන තෝරාගත්තු හාමුදුරුනමකගේ ටීවී බණක් අහන්න අපේ අම්මත් පුරුදු වෙලා. කාර්යබහුල ජීවිතෙන් ටිකකට නමුත් මිදිල නිදහසේ එදාට වත් ඉන්න පුළුවන් වෙන නිසාවට අපේ අම්මත් පරණ ප්‍රතිපත්ති පාවල දීල.එක අතකට දේශපාලු මහත්තුරු ප්‍රතිපත්ති පාවල දෙන විදියට මෙව්වත් ප්‍රතිපත්තිද කිව්වලු.
 
එක අවුරුද්දක ගෙවල් පල්ලෙහා දීපු බත් දන්සැලෙන් බත් කාපු පොෂ් ඇන්ටි කෙනෙක් "මල්ලි ( යකෝ අපේ අම්මටත් වැඩිය වයස), කාලෙකින් ගමේ විදියට කෑම ටිකක් කෑවෙ. පින්සිද්ද වෙනවා" කියල පිටටත් තට්ටුවක් දාල ගියා මතකයි.

ඔන්න ඉතිං උඹලගෙ හැකර කටවල් නලියනව ඇති "ඇන්ටිව තාම මතකයි එහෙනං" කියල කියාගන්න බැරුව. ඒක නිසා නෙවෙයි, එවෙලෙ ගොනා වගේ ඔලුව වනපු මගේ හිත මගෙන්ම ඇහුවෙ " යකෝ බතුයි, පරිප්පුයි, අල තෙල්දාපුවයි, අඹ මාලුවයි (ඕක වරදින්නේ නෑ, නිකං ගස් වල වැටි වැටි යන අඹනෙ) , පපඩමුයි කියන්නෙ ගමේ කෑම වේලක්ද" කියල. යකොඩෝ මුන් හැමදාම තුන් වේලටම කන්නෙ ෆ්‍රයිඩ් රයිස්, බුරියානිද? එහෙමත් නැත්තං "අපි මෙව්වගේ බාල කෑම කන්නේ මේ වගේ දවසට විතරයි" කියන නක්කල් ටෝක් එකක්ද ඒ දැම්මෙ , එහෙමත් නැත්තං අපේ හිත හැදෙන්න වැඩේ ඇප්‍රිසියේට් කොලාද කියල මට නං තේරුනේ නෑ. ඔය මොන විදිහ හිතාගෙන කිව්වත් "ප්‍රාඩෝ එකෙන් ගිහිං දන්සැල් කන එක" අද ට්‍රෙන්ඩ් එකක් වෙලා.එහෙම බැලුවම  නූතනයේ  රංචු පිටින් දන්සැල් වල පෝලිම් වල ඉන්නෙ "සෝපාකලා" නෙවෙයි.
 පන්සල් වඳින්න යනවා වෙනුවට දන්සැල් වඳින්න සෙට් වෙන "පොෂ්" හෝ "වෙන්ඩ පොෂ්" ඇන්ටිලාගෙ හිත් වල බැරිවෙලාවත් "බුද්ධාලම්බන ප්‍රීතිය" ජනිත වෙලා පන්සලට යන්න හිත දුන්නොත් පන්සලේ සිල් අරගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්න වයසක සීයලගෙ සීලෙටත් දෙයියන්ගේම පිහිටයි. "මහෝදර ටයිප්" බඩවල් බේරෙන්න ටීෂර්ට් කෑල්ලක් ඇඳල, ළූණු සිවි ගනකමේ  "තුන්කාල්" කලිසම් කිටි කිටියෙ ඇඳගෙන "ලබ්බට කෝටුව ගැහුවා වගේ" පන්සලට යනවට වැඩිය හොඳයි දන්සැලක් කාගෙන ගෙදර යන එක. හැබැයි ඉතිං එක අතකට එව්ව ඇඳගෙන යන දිහා බලල පිළිකුල් භාවනාව වඩන්නත් බැරි කමක් නෑ හරියට කල්පනා කලොත්.

 
පන්සල් යනකොට සුදූ ඇඳුමෙන් යන්න කියල කියන්නෙ. ඇඟ පේන්නේ නැති වෙන්න යන්න කියල කියන්නෙ. ඒ ඔක්කොම රෙගියුලේෂන් කවර් වෙන්න අපේ උන්දැල සුදූ පාටින් ඔක්කොම වැහෙන්න, හැබැයි ඔක්කොම ටික බේරිලා පේන්න ඇඳගෙන පන්සල් යන්නෙ. කොටින්ම කිව්වොත් ඔටු කුරයත් පේනවා. ඔන්න කොල්ලො දැන් අපේ උන්දලාගේ සංවරකම. ඔව්වට ඉතිං උන්දලාගේ අම්මලත් වගකියන්න ඕන. අම්මලත් ඒ විදිය නං දූලා හදන්නෙ කොහොමද?


 වෙනින් දවස් වලට සමහර  කෙල්ලොන්ගෙ  නළලට වැඩල තියන මොකද්දෝ එක දන්සැල් කන්න ආවම ආපහු මූලස්ථානය බලා පසුබසිනවා. අඩි දෙකතුනක් උඩින් යන උන්දැලා අගේට සේරෙප්පුත් නැතුව දන්සැල් ගාවින් බිමින් යනවා. බිමින් වඩින උන්දලා එක්ක හිනා වෙන්න විහිළුවක් කරන්න දන්සැල් ගාව ඉන්න හැමදාම බිමින් යන කොල්ලො කුරුට්ටන්ටත් අවස්තාව උදාවෙනවා. ආගමික කෙසේ වෙතත් තාරුණ්‍යයේ ප්‍රබෝධය නං ඒ වෙලාවට ඇතිවෙනවා.. බැලුවම ඒකත් නරකම නෑ.. ඉරිදාට පල්ලියෙදි හම්බවෙන කොල්ලො කෙල්ලො වගේම පෝයදාට පන්සලේදී හම්බවෙන කොල්ලො කෙල්ලොත් ඉන්න ඕන. හැබැයි ඉතිං හම්බවෙලා බණමඩුව පිළිකන්නට රිංගන්න ඔට්ටු නෑ..

සමහරු නං කියනවා දන්සැල් කන්න යන උදවිය යන්නෙ "වේල පිරිමහගන්න", දන්සැල් වලින් කාලා වියදම ඉතුරු කරගන්න කියල. හැබැයි ඒ විදියටම කල්පනා කරන්නත් බෑ. වාහනේක වේවා, වෙනයම් ප්‍රවාහන ක්‍රමයකින් වේවා දන්සැල් හොය හොයා කන්න ගියත් ප්‍රවාහන වියදමම ඊට වඩා වැඩියි. ඒ නිසා එක පිලිගන්නත් බෑ. එහෙමත් නැත්තං "දන්සැල් බත් රස නිසා" දන්සැල් බත් කන්න යනවා කියල හිතන්නත් බෑ. කල්දේරම් වල මහා පරිමාණයෙන් ඉදෙන දන්සැල් බත ගෙදර ඉදෙන සම්බෝල බත්පතට වැඩිය කොහොමටවත් රහ වෙන්න විදියක් නෑ. එහෙම වෙනවා නං ගෙදර ඉදෙන්නේ මෙලෝම රහක් නැති කටේ තියන්න බැරි තරම් අමිරස කෑම වේලක් වෙන්න ඕන. අලුත් ට්‍රෙන්ඩ් එකට අනුව  වාහන තදබදයත් එක්ක පන්සලකටත් ගොඩවදිනගමන් දන්න අඳුනන නෑදෑ හිතමිත්‍ර ගෙවල් වලටත් කඩා පාත් වෙවී පන්සල් වෙනුවට දන්සැල් වැඩි වැඩියෙන් වන්දනා කරගෙන යන මේ රැල්ල මොන නමකින්ද හඳුන්වන්න වෙන්නෙ? "ආගමික ප්‍රබෝධය"කියන්නෙ එකටද එතකොට?

දවල්ට ටාගට් එක දන්සැල්. රෑට ටාගට් එක වෙසක් කූඩු, තොරන් සහ වෙසක් කලාප. එව්ව වලත් දන්සැල් තිබුණට අපි එපා කියන්නෙ නෑ. වෙසක් වලටත් මාකටිං තියරිය කොයි තරමට කාවැදිලද කිව්වොත් නූතනයේ වෙසකුත් මාකට් කිරිල්ලක් තියෙන්නෙ. කුකුල්ලු අඹරල සෙලෝපෙන් වල දාල ස්ටීම් කරලා සොසේජස් හදල විකුණන උදවියත් වෙසක් කලාප සංවිධානය කොරන්නෙ යස  අපූරුවට. අපේ තමයි "ඔරිජිනල්ම ධාතු" පෙන්නන්නෙ කියාගෙන ධාතුත් මාකට් කරන කාලයක් උදාවෙලා. රටේ සමහර කුප්‍රකට උදවිය "ඔරිජිනල් ධාතු"කරඬු ඔලුවෙ තියන් වඩම්මනවා දකිනකොට එක අතකට හිතෙනව උන්ගේ ඕළු උඩින් ඒ ධාතු වඩින්නේ රෙදි ඇඳගෙනද කියල. පතිවත රකින ගණිකාවන් සහ අවංක දේශපාලනඥයන්  ඉන්න රටේ ඔව්වත් වැඩද කිව්වලු.

අටපට්ටමක් ගෙදරක එල්ලෙනව පේනකොට, ලස්සන කැටයම් තියන කැරකෙන කූඩුවක් කැරකෙනවා දකිනකොට, පොල් ගස් කීපයක් උසට තොරන් වල විදුලි බුබුළු නිවෙන පත්තුවෙනකොට හිතට දැනෙන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය කියල මම නම් හිතන්නෙ නෑ. "අපේ ආගම, අපේ මිනිස්සු ආගම නිසා කරන දේවල්, අපි ඔක්කොම එකට තෙමඟුල සිහි කරන විදිය" කියල හිතෙනකොට හිතට නැගෙන ආගමික ප්‍රබෝධයක් විදියටයි මම නම් ඒ දේවල් සලකන්නේ. බෞද්ධ පුනරුදයක් ඇතිවෙන්න බෞද්ධ ප්‍රබෝධය අත්‍යාවශ්‍යයි. හැම ආගමකම පැවැත්මට ඒ වගේ ආගමික ප්‍රබෝධයක් හිතට නැගෙන්න ඕන. බුද්ධාගම ඉදිරියට පවතින්න නම් පොඩි දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම "මේ තමයි අපේ ආගමෙන් කරන දේවල්, මේ තමයි වෙසක්, මේ තමයි පොසොන්" ආකාරයට පරම්පරාවෙන් පරම්පරාවට ඒ දේවල් හිත වලට කාවදින්න අවශ්‍යයි.  වෙසක් කූඩු, තොරන්, දන්සැල්, පෙරහැර, ලොකු බුද්ධ ප්‍රතිමා, සුවිසල් වෙහෙර විහාර වලින් ආගමික ප්‍රබෝධය, පුනරුදය ඇතිවන අතරේම ඒ ඇතුලාන්තයෙන් මිනිස් සිත් වලට උතුම් වූ බුදු දහම ඇතුල් කරවීමත් අත්‍යාවශ්‍යයි. බලාගෙන ගියාම  ඔක්කොම ෂෝ එකට කරන අපේ මිනිස්සු හිත් වලට දාගන්නෙ නැත්තෙත් ඒ දේ විතරයි. කොහොම නමුත් හැමෝටම ප්‍රීති වෙසක්!!!  අපි මොන මොන  දේවල්  පිරිහුණා පිරිහුණා කියල  කිව්වත් නිර්මල බුදු දහම තවත් කාලාන්තරයක් අපේ සමාජය විසින්ම රැකගනිමින්  ඉදිරියට පවතීවි..


69 comments:

  1. දන්සැල් ගැන පෝස්ටුවක් ලියාගන්න කල්පනා කරමින් ඉද්දි තමා උඹේ කතාව දැක්කෙ.නොරට හිටියට අපිට නං වෙසක් වලට දවස් දහයක් දන්සැල්.හැබැයි හැමදාම වඳින්න යන්නෙ නෑ.කම්මැලියි.වැඩේ කියන්නෙ ඒ දන්සැල් ඔක්කොම වෙජ්.මටනං කරෝල කෑල්ලක්වත් නැතුව එළවළු විතරක් එක්ක බත්ටික ගිලගන්න අමාරුයි.සෝයාමීට් නං උයල තියෙනවා ඒ උනාට මම කන්නෙ නෑනෙ.එක්කො පරිප්පුයි සම්බෝලයි සෝයාමීටුයි බතුයි,එක්කො පරිප්පුයි සම්බෝලයි පානුයි.අදත් රෑ ගියොත් කාල ආහැකි.ඒ උනාට වස කම්මැලියි බං.

    ReplyDelete
    Replies
    1. හැලපතුමා , දන්සැල් කතාව ලියන්ඩ. මේ කතා වගේයැ ඒ කතා... අප්පා ඒකත් එහෙමද? මොනා දන්සැල්ද දෙන්නෙ දවස් දහයක්? මරු නෙ. හැලපතුමා වගේ කම්මැලි කමට කට්ටිය යන්නැතුව ඇති. මෙහෙ තිබ්බ නං බලන්ඩ තිබ්බ වැඩේ...වෙජිටේරියන් දන්සැල් උනත් හරියට උයනවා නං කෑවහැකි .. ඒත් ඉතිං කල්දේරම් වල වෙජිටේරියන් උයනකොට රහ නං නැතුවැති තමා...

      Delete
  2. \\පතිවත රකින ගණිකාවන් සහ අවංක දේශපාලනඥයන් ඉන්න රටේ ඔව්වත් වැඩද කිව්වලු.\\

    පට්ට කතාව, හැබැයි ඇත්ත........

    ReplyDelete
    Replies
    1. ඕක තමා බං හැමදාම මේකට කෙලවිලා තියෙන්නෙ. ඔය මොකා මොන දේ කිව්වත් අවංක දේශපාලකයො නෑ රටේ..එක එකාගේ න්‍යායපත්‍ර වලට වැඩ..

      Delete
  3. අනික් සේරමත් හරි අර කාටූන් එකත් හරි!
    උඹේ ලිවිල්ලනම්....
    නෑ එක්කො ඕන්නෑ... ආයි ලේබල් ගැහුවයි කියයි... මුරංග අත්තෙ නැග්ගුවයි කියයි... තොට මං මොකුත් කියන්නෑ...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. කියපන් කියපන්.. මං කවුරු වගේ කිව්වත් ඒ උපමා කරන පොර මට වැඩිය සීනියර් සහ දක්ෂකමින් ඉහලයි. ඒක මට කරන එක්තරා විදියක ගෞරවයක්....

      Delete
  4. වෙසක් එකට පහුවදා මම අවශ්‍යතාවකට කොළඹ ගියා. යකෝ තව පොඩ්ඩෙන් කාර් එක කැළේ යනවා, දන්සැල් වල පෝලිමේ හිටිය නෝනලා දැකලා. දන්සැලට මීටර් 100 ක් විතර ඈතින් තමා ඔය ඔක්කොම උජාරු වාහන නවත්තලා බැහැලා එන්නේ. කුරුණෑගල දන්සැලකට උදව් කරපු, අපේ ගෙවල් ළඟ එක්කෙනෙක් කිව්වා, බල්ලට කියලත් කෑම එකක් ඔතාගෙන යනවලු සමහර නෝනලා (නෝනලා?)

    ReplyDelete
    Replies
    1. වෙසක්‌ දාක රාත්‍රියේ හමුදාවෙ කොල්ලන් කණ්‌ඩායමක්‌ උතුරේ සිට නිවාඩුවට දකුණට යනු පිණිස ගාල්ලට පැමිණි කල කොළඹ සිට ගාල්ලට පැමිණ සිටි ගණිකාවක්‌ මුණ ගැසී ඇය කැමති කරවාගෙන කොටු පවුරේ අඳුරු තැනකට රැගෙන ගොස්‌ පෝලිං ක්‍රමයට පැය ගණනක්‌ ඇගේ සේවය ලබා ගෙන ගාස්‌තුව වශයෙන් සත පහක්‌ වත් නොදී "දන්සලක්‌ දුන්නයි කියල හිතාගනිං බං" කියා ඇයව නිරුවතේ අඳුරේම තනිකර ආ කතා පුවත මට පැවසුවේ එම රාගයේ කාම දන්සල අන්තිමට වැන්ද සරා නම් සාමාජිකයායි.

      ඉරිදා දිවයින-සමාජ විමර්ශන

      Delete
    2. තිං මේක මට කියලා වැඩක් නැහැනේ මහත්තයෝ. මම මොනවා කරන්නද? හමුදාවේ ඉන්නෙත් සාමාන්‍ය සමාජයෙන් ආව, ඒ සමාජය ඇසුරු කරන, කාමරාග, භාවතන්හා වලින් යුක්ත අය. ඒ අයගෙන් හැමවිටම උපාසක හැසිරීම් වෙන්නේ නැහැ ලෝකයේ කිසිම හමුදාවක.

      Delete
    3. ඒ පින්වතිය කරගත් කුසල කර්මයේ බලයෙන් අමාමහ නිවන් සුව අත්වේවා...
      සාදු සාදු

      Delete
    4. විචාරකතුමා , වාහනේ කැලේ නොගිහින් බේරුන එක ලොකු දෙයක්.. සහතික ඇත්ත කතාව. හම ඇරපු බ්‍රොයිලර් කුකුල්ලු වගේ ශරීරෙ මෙලෝ හැඩයක් නැති බඩ තඩි නෝනලා දැක්කම මේ මොන සත්තු ජාතියක්ද කියල හිතිල ඉබේම බැලෙන එක අහන්නත් දෙයක්ද...
      ඔය ඔතාගෙන යන කතන්දරේ නං ඇත්තටම වෙන වැඩක්. ගෙදර බල්ලට කියල ඔතාගෙන යන්නෙ රෑට කන්න.සමහරු දන්සැල් වලට එන්නේ බත් කොළ පත්තර කොලා අරගෙන, ඔතාගෙන යන්නම සූදානම් වෙලා...

      @ඇනෝ, මෙතෙන්ට ඒකෙ අදාලත්වය දන්සැල් කතාව නිසා වෙන්ටැ... එක අතකට බැලුවම ඒකත් දන්සලක් තමා... අම්බපාලිත් මොක් පුර දැක්ක හොඳේ...

      @මෙන්ඩා, නැතුව නැතුව...

      Delete
    5. දකුණේ ගෑනුන්ට මෙහෙම සලකනවා නං මුන් උතුරේ දෙමළුන්ට මොනවා නොකරන්නට ඇත්ද?

      Delete
    6. අපි හැමෝම මිනිස්සු ඇනෝ, හැමෝ ඇතුලෙම අඩු වැඩියෙන් තිරිසන් සත්වයා ජීවත් වෙනවා. ඒකට සිංහලද දෙමළද, මුස්ලිම්ද කියල වෙනාවක් නෑ. හමුදාවේ ඉන්නෙත් මිනිස්සු, උතුරේ ඉන්නෙත් මිනිස්සු, දකුණේ ඉන්නෙත් මිනිස්සු, පල්ලි වල ඉනෙත් මිනිස්සු, පන්සල් වල ඉන්නෙත් මිනිස්සු.

      Delete
    7. ඔය ගණිකා සීන් එක වෙලා තියෙන්නෙ ඒ ගෑණි ඒ හමුදා කාණ්ඩෙ එක පොරකට කොටුවෙදි සුද්දයක් දීපු එකේ පලිය ගන්නලු. යකෝ හමුදා කාරයෙක් වෙලත් ගෑණියෙක් සුද්දයක් දෙනකම් බලා හිටියද !!!

      Delete
  5. පොසොන් දන්සල් එනකං බලා ඉමු ආයුබෝවන්ඩ (Y) (Y) (Y)

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. ඒවත් මිස් කරන්නෙ කොහොමද.... මෙහ් ඒක නෙමේ මොකද්ද මේ වයි අකුර??

      Delete
    2. ඕක අර ෆිට් තමා කියල මහපට ඇඟිල්ල පේන්න අත මිට මොළවන සීන් එක කම්පියුටරේ හරහා පෙන්නන හැටි ;). FB එකේ ඕක ටයිප් කොරල බලහන් සජ්ජෝ ;). (Y)

      Delete
    3. අප්පා.. ඒකත් එහෙමද මනා ... එහෙනං ප්‍රියන්ති ෆිට් තමා කිව්වා... Y

      Delete
  6. දැන් නම් වෙසක් කියන්නේ මළම මල විකාරයක්.. ඔය අපේ හැලපයා කිව්වා වගේ ඉස්සර අපාය පෙන්නුවේ තැන් කීප්යක විතරයි. දැන් නම් මුළු වෙසක් උළෙලම අපායක් වගේ මට නම් පේන්නේ.. ඉස්සර දන් සලක් දෙන කොට ප්‍රයෝරොටි දෙන්නේ පාර වාහන බ්ලොක් නොවෙන්න දන් දෙන්න. දැන් ඒකේ අනිත් පැත්ත. දැන් පාර බ්ලොක් කරන තරමට තමයි ශ්‍රද්ධාව ඕසෙට ගලන්න පටන් අරගෙන බුද්ධාලම්බන ප්‍රීතිය කටෙන් පිටවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් සහෝදරයා .. වාහන බ්ලොක් වෙන සීන් එකට මාත් මූණ දුන්න ගමනක් යද්දි. ඉස්සර අපි දන්සැල් දෙනකොට පාර දෙපැත්තේ ඉඩ තියන තැනක් තෝරගත්තෙ .වාහන දෙපැත්තට අයින් කරලා හැම වෙලේම මැදින් ඉඩ තිබ්බ යන වාහන වලට යන්න. දැන් එහෙම එකක් නෑ. මැදින් යන එව්ව වලටත් කොඩි අල්ලන එකා මැද්දෙදි කොඩිය අල්ලගෙන එතනම කන්න බොන්න දෙනවා. ගමේ පාරක උනත් පුදුම බ්ලොක් එකක්. බස් පිටින් පාර මැද නවත්තගෙන කන බොනකොට කොහොමද හදිස්සි කාරයෙක් උනත් පාරෙ යන්නෙ ඉක්මන් ගමනක්. දන්සැල් සංවිධානය කරන පොරවල් වලට මේ සම්බන්ධ මෙලෝ විචාරයක් නෑ...

      Delete
  7. හත්තිලව්වයි..... අර රූපයනම් පට්ට සාජ්ජා.... මම දේශපාලනඥයෙක් මම අවංකයි... ඒ කියන්නේ ඉතින් අර කාන්තාව කියනවා වගේ කතාවක්නේ.... අම්මපා ඔ්ක තමා අැත්ත.. ඒහෙව් රටේ වෙසක්වත් හරියට තියෙයි ද බං....?????

    ReplyDelete
    Replies
    1. කුරුට්ටා, අඩේ ඕක ගූගල් දෙය්යගෙ එකක්. එහෙව් රටේ වෙසක් තියා මොන කෙමනක්වත් හරියට වෙන්නෙ නැති එක නේන්නං කරුමෙ වෙලා තියෙන්නෙ.

      Delete
    2. කුරුටු ගෑ ගීපවුර ලියන්නෙ පේරාදෙනියේ කැම්පස් එකේ ආට්ස් ෆැකල්ටියේ දිලිනි ආරියවංශ. දිවයිනට සිළුමිණට සිංහල බස ගැන පඬිටෝක්ස් ලියන ශාස්තිරීය ලලනාවක්. කොහොමද කෙල්ලගෙ ටෝක මෙතන. බජාර් එකේ තද කකුලක් වගේ. අර තමුන්නෙ තාත්තාගෙ වයසේ ඉන්න හැලප මහත්තයාටත් නිකංම හැලපයා කියලනෙ කියන්නෙ. අනේ අනේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

      Delete
    3. බ්ලොග් ලියන කට්ටියට තමන්ගෙ ආරූඪ නම් වලින් ලියන්න වගේම තමන්ගෙ අනන්‍යතාවය එලි වෙන විදියට ලියන්නත් පුළුවන්. ඒ දෙකේම කිසිම වැරද්දක් මම නම් දකින්නෙ නෑ. අනිත් දේ තමයි ගරු කලයුත්තන්ට ගරුකටයුතුව කතාකිරීම වගේම ලබැඳියන්ට වයස නොසලකා දයාබරව ඒ නමින් ආමන්ත්‍රණය කිරීමේ ඇති වරද්දකුත් නෑ. තමන්ගෙ සමාජතත්වය, වයස නොසලකා අදහස් සහ සිතුවිලිත් එක්ක කරන මේ ගණුදෙනුවේදී අවශ්‍ය විදියට ආමන්ත්‍රණ භාවිතය එකිනෙකාට නිදහස් අවශ්‍ය විදියට කරන්න පුළුවන් කියලයි මම නම් දකින්නෙ. කොටින්ම කිව්වොත් ෆිට් එක වැඩි කමට හැලපෙ කියනවා වගේම මම ආමන්ත්‍රණය කරන හැලපතුමා කියන ආමන්ත්‍රණ ක්‍රමයෙත් වෙනසක් සහ අවුලක් නෑ කියලයි මම නම් දකින්නෙ.
      අලුතෙන් බ්ලොග් එකක් පටන්ගත්තු මට මීට අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් එකක් පටන්ගත්ත පොඩි කොල්ලෙක් "සජ්ජ" කියල කියනවා දැකල එකට තද වෙනවා නම් ඒක මගේ වරදක් විදියටයි මම නම් දකින්නෙ. පුද්ගලිකව බ්ලොක් කලාවේ වැඩිහිටියන්ට ගරුකරමින් අදහස් දක්වන මම වැඩිහිටිකම් සහ ප්‍රවීණකම් නොදැන සමහරුන්ට නම සහ මචං කියමින් ආමන්ත්‍රණය කරලා සහ කරනවා ඇති. හැබැයි මතවාදීව සහ මඩ ගැසීම් නැතිව කරන ඒ අදහස් දැක්වීම් වලදී මට නම් ඒ වගේ වයස සහ ප්‍රවීනත්වය සම්බන්ධ ගැටළුවක් තව වනතුරු උදා වෙලා නෑ..

      Delete
    4. http://kurutugegeepawra.blogspot.com/2014/11/50000.html

      Delete
    5. අපොයි මේ ඇනෝ "කුරුටු ගෑ ගී පවුර" එක්ක කුරුටු ගෑ ගී පොත" පටලවා ගෙන වගේ. දිලිනි ලියන්නෙ "කුරුටු ගෑ ගී පොත" බං.

      Delete
    6. ස්තුතියි මධුවා... කුරුටු පවුල හඳුන්වා දුන්නට... අර ඇනෝට ටැපලිලා....

      Delete
    7. හත්තිලව්වයි......... මේ තරම් දුරක් යනතුරු මේ ගැන අපි දැනගත්තේ නැහැනේ.... කොහොම හරි අැනෝලාගේ ප්‍රහාරය පුස් වෙඩිල්ලක් වෙලා තියෙන හැඩයි.. මාධවී සහ සාජ්ජා ස්තූතියි අදහස් දැක්වීම් වලට..... දැන් කමෙන්ටු දාන්න කලින් ලියන කෙනාගේ වයස හොයලා අැන්ටී, මාමේ, නැන්දේ, ලොකු අම්මේ කියලා කියන්න වෙයි වගේ..... මොනවා කරන්න ද ඉතින් ඉරිසියාවට බෙහෙත් නෑනේ.....

      මොනවා වුණත් සාජ්ජා සහ මාධවී ලියපු දේවල් වලට ස්තූතියි.......

      Delete
    8. ඇනෝ අන්තිමට අනාගෙන නාගෙන .. :D

      Delete
  8. ගමේ පන්නසලට නොයෙන සමහරකට පන්නසල ලග තියෙනවා කියෙන දන්සල නම් කොහොමත් අමතක වෙන්නේ නෑ.. අන්න ඒක තමයි අද තියෙන තත්වය..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් දිනේෂ්.. දන්සලට යනවා. ඒත් අපේ එව්වෝ පන්සලට යන්නෙ නෑ.. දන්සැලේ සෙනග පන්සලේ නෑ... පුදුම වැඩක් තමා මේක නං..

      Delete
  9. මමත් පොඩි මෙන්ඩාව දන්සල් දෙකකට එක්කරගෙන ගියා හැබැයි “දන්සල් වදිනවා“ කියන වචනේට මම කැමති නෑ. ඒක හරියට යාලුවාගෙන් තේ එකක් බිලා දත ගැලෙව්වා කියනවා වගේ.
    හැම දන්සලකම පෝලිමේ ඉදලායි පොඩි මෙන්ඩාට අයිස්ක්‍රිම් අරගෙන දුන්නේ.. පොඩ්ඩා අයිස්ක්‍රිම් එක අරගෙන “මාමේ ගොඩක් ස්තුතියි..පිං සිද්ධ වේවා“ කිව්වා.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා, ඇත්තටම පුරුද්දට එක කිව්වට ඒ කතාව තනිකර මහම මහ බලු කතාවක් නං තමා. දන්සැල් කොහොමද වඳින්නේ... මේකෙ මං එහෙම ලිව්වද. එහෙම ලියවුනා නං ඒක ඉල්ලා අස්කරගන්නව..
      අඩේ පොඩි මෙන්ඩ මරු ඇති බං... ඔන්නොහොම තමයි පොඩි එවුන්ට පුරුදු කරන්න ඕනා.. හුරතල් පෙනුම වගේම ගති පැවතුමුත් ඒ විදියට හදන්න ඕන..

      Delete
    2. ඒක නෙවෙයි.. මෙන්ඩගේ උපන්දිනය.. සුභ උපන්දිනයක් වේවා ... එලද බ්‍රා....

      Delete
  10. //කල්දේරම් වල මහා පරිමාණයෙන් ඉදෙන දන්සැල් බත ගෙදර ඉදෙන සම්බෝල බත්පතට වැඩිය කොහොමටවත් රහ වෙන්න විදියක් නෑ.// ඔතන රස එන්නෙ කෑම එකේම විතරක් නෙමෙයි. නන්නාදුනන තැනක කවුරුහරි දෙන කෑම එකක් කන එකේ තියෙන වෙනසත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නං තමයි ප්‍රසන්න. ඇයි තව දෙයක්. බඩගින්න තද වෙච්ච වෙලාවට අපිට ඕන තැන වල දන්සැල් නෑ නොවැ.. හම්බවෙන වෙලාවට කලන්තෙ අල්ලන්න ඔන්න මෙන්න ඉන්නකොට මොන විදියට උයපු කෑමක් ලැබුනත් ඒක දිවිය බෝජනේ වගේ තමා...

      Delete
  11. //අපේ තමයි "ඔරිජිනල්ම ධාතු" පෙන්නන්නෙ කියාගෙන ධාතුත් මාකට් කරන කාලයක් උදාවෙලා//
    +++++++++++++++

    ReplyDelete
    Replies
    1. නිසැක, verified , අතිත්වා ඩුප්ලිකේට්...

      Delete
    2. කවුද දන්නෑ ඕව සර්ටිෆයි කළේ.

      Delete
    3. හා හා එව්ව අහන්නෙපා.. තහනම් දේවල්.. එක නෙවෙයි, අලුත් පිංතූරේ මරු ඈ...

      Delete
  12. වෙසක් කියන්නේ තනිකරම විකාරයක් වෙලා හරිම කණගාටුයි අප්පා මේ යන විදියනම් ......

    ReplyDelete
    Replies
    1. රොබින්, සාදරයෙන් පිලිගන්නවා මුලින්ම.. ඇත්තටම කළකිරෙනවා වෙලාවක කල්පනා කරනකොට.

      Delete
  13. අපේ ගොඩක් එවුන් ඇඟිලි ගැන ගැන බලං ඉන්නෙ වෙසක් පොසොන් එනකං.වෙන මොකකටවත් නෙමේ ඔය දන්සල් කෑමට තමා. දැන් ඉන්න උන් සිල් ගන්න යන්නෙත් නෑ ඔය දවසට එක්කො පන්සලේ දෙන සිල් දානේ හරි නෑ කියල, නැත්නම් අනිත් දන්සල් වඳින්න හම්බෙන්නේ නැති නිසා. ඔක්කොම තමන්ගෙ බඩ මූලික කරගෙන ඒ දවස් ගෙවනවා මිසක් යන තැනකට දෙයක් කරගන්නට හෝ සසර කෙටි කරගන්නට ආගමේ හරියට හැසිරෙන්න උවමනාවක් නෑ. කොටින්ම ඒ දවසට බහුතරයක් බෞද්ධයන්ට කිසිම ආගමික හැඟීමක්, ඒ දවසේ වටිනාකමක් දැනෙන්නෙ නැහැ.
    ලිපිය නියමයි. ඒ අසසෙන් ඔටුවොත් මතක් කරල :p.

    ReplyDelete
    Replies
    1. මනා, අපේකම, ලාංකිකත්වය, ජාතිකත්වය, බුද්ධත්වය ගැන උගුරේ ලේ රහ වෙනකල් කෑගහන, මතවාද ඉදිරිපත් කරන උදවිය බොහෝ වෙලාවට කෑගහනවා මිසක් ඒ වෙනුවෙන් කිසි දෙයක් කරන්නෙ නෑ. අපේ ලංකාව අපේ මාතෘ භූමිය, අපේ මව්බිම කියල කට ඇරියොත් බුදු ටෝක් දෙන එව්වො තමයි තමන්ගෙ ගෙදර කුණු පාර්සලේ හොරෙන් පාරෙ දාල යන්නෙ, තැනකට ගියාම එතන හැඩි කරන්නෙ. ආගම ගැන මැරෙන්න හදන එකාලා (කොයි ආගමෙත්) ආගම වෙනුවෙන් වැඩ කරන්නෙ වත් ඒ ආගමට අනුව හැසිරෙන්නෙ වත් නෑ. ඕකයි යතාර්ථය.. බලමු මේ ගැනත් එකක් ලියන්න.
      තැන්කිව් මනා. ඔටු කුරේ කතාව යටින් මිස්ටර් බීන් ඇහැ කොනින් බලන මීම් එකත් දැම්ම කියල හිතාගමු...

      Delete
  14. //වෙනින් දවස් වලට සමහර කෙල්ලොන්ගෙ නළලට වැඩල තියන මොකද්දෝ එක දන්සැල් කන්න ආවම ආපහු මූලස්ථානය බලා පසුබසිනවා//
    සහතික අමූලික ඇත්ත.
    දන්සැල් වියාපාරෙත් ලාබ ලබන වියපාරයක් බොලව්

    ReplyDelete
    Replies
    1. වෙනදට අඩි කීපයක් උඩින් යන බවලත් උදවිය ඔය දවස් වලට දන්සැල් ගාව අපූරුවට කතා කරනවා හිනා වෙනවා.. දන්සැල් ව්‍යාපාරේ ලාභ ලබන තැනුත් ඇති ඩිලාන් .. හැබැයි අපිට නම් අතින් කයිට් අත්දැකීම්ම තමා තියෙන්නෙ...

      Delete
  15. අපිත් පවුල් පිටින් ගිහින් එක දන්සැලක් වැන්දා. ඩීසල් වියමත් එක්ක බලද්දී දන්සැලේ බත් හැඳි දෙකයි හොදි තුනයි රුපියල් 500 විතර වෙලා. ඉක්මනින්ම නිවන් යන්න තිබුනනම් කියල හිතුනා සාධු සාධු

    ReplyDelete
    Replies
    1. ඕක තමයි කිචියෝ මම කිව්වෙත්. වියදම වැඩියි. ඒ උනත් මිනිස්සු ජොලියට වගේ වෙනසකටත් එක්ක ඔය වැඩේට සෙට් වෙනවා.. දන්සැල් වැන්ද කිව්වා කියල මෙන්ඩ ලෙඩේ ඇද්ද...

      Delete
  16. දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
    සතර අමා ගිනි නිවෙනා දා ,,,
    සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
    නාවර පෙරෙනා මුහුණින්
    කඳුළු මිදුනු ගිජු දෑසින්
    දස දහසක් සක්වල වට අමාවතුර ගලනා දා
    පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා
    මුවින් උරා බොන්නෝ,,,, සෝපාකලා........
    දන්සල් ළඟ පෝලිම් වල සෝපාකලා
    සතර අමා ගිනි නිවෙනා දා ,,,
    සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
    පදික වේදිකා නිවසේ
    මව් සෙනෙහස විඳ නැතියෝ
    සියල් සතට තුන් ලොවටම
    අමා මෑණි බිහි වූදා
    පුතේ කියා මවක මුවින්
    කිරිවදනක් නෑසූවෝ
    අදත් ඉඳිති නාඩා ,,,,,සෝපාකලා.......
    දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
    සතර අමා ගිනි නිවෙනා දා ,,,
    සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ.....

    ගායනය : අතුල & සමිතා

    ReplyDelete
    Replies
    1. සිංදුවා,
      ඔය සිංදුව ඇහෙද්දි පොඩි කාලේ ඔය "සෝපාකලා" කියන කෑල්ල මං තේරුම් ගත්තෙ ඒ කියන්නෙ දන්සැල් වලට යනවට කියන ක්‍රියා පදයක් විදියට මිසක් සෝපාක ගැන කියවෙනවා කියල නෙවෙයි. (සෝපා කරනවා කියන්නෙ යනවා කියන එකට කියන වචනයක් විදියට මම හිතුවේ) පොඩිම කිව්වට ඒ තරම්ම පොඩි වයසකුත් නෙවෙයි.දවසක් ඕක කියල මගෙ බිරිඳගෙන් ඒ ගැන ඇහුවම උන්දැත් තේරුම් අරන් තියෙන්නෙ ඒ දවස් වල වැරදියට. උන්දැට හිතුනෙ සෝ - පාකළා විදියටලු. ඒ කියන්නෙ දන්සැලෙන් දුප්පත් මිනිස්සු කෑවම ශෝකය එතනින් පාවෙලා යනවා වගේ තේරුමක්. බලාගෙන ගියාම ඒක මගේ ගොන් සිතුවිල්ලට වැඩිය ඇඩ්වාන්ස්.

      Delete
    2. හැක් හැක් ...මට මතක් උනේ සනත් නන්දසිරිගේ "එක යායක මල් පිදුණු බිම් තිරේ " සින්දුවට මුහුණු පොතේ තිබුන අර්ථය ...බලපන් මනොෂ් ගේ බොලොග් එකේ ලියලා ඇති ..

      Delete
    3. සඳුමල් පෙරලනවා .. තාම හම්බුනේ නෑ... උඹේ බ්ලොගේ ආරම්භය දක්වාම ගියා...ම්ම්හු...

      Delete
    4. බඩු හම්බුනා.. වෙනස්ම කෝණේකින් බලපු සීන් එකක්.. ඒකත් නියමයි තමා බලාගෙන ගියාම.. හරකා සහ ඇට මැස්සා...

      Delete
    5. මෙන්න මචන්
      http://masandumal.blogspot.com/2014/10/blog-post_18.html?showComment=1413609818916#c1361022642234515850

      Delete
    6. දැක්ක දැක්ක.. පීරලා හොයාගත්ත කොහොමහරි.... තැන්කිව් කිව්වා...

      Delete
    7. //(සෝපා කරනවා කියන්නෙ යනවා කියන එකට කියන වචනයක් විදියට මම හිතුවේ) පොඩිම කිව්වට ඒ තරම්ම පොඩි වයසකුත් නෙවෙයි.//

      එච්චරම පොඩිකාලෙත් නෙමෙයිනම් සෝපා එකේ ඉඳන් කරන දෙයක් කියල හිතුනෙ නැද්ද

      Delete
    8. මං හිතුව ඔය කට කැඩිච්ච කතාව ඔය කටින්ම අහයි කියල. ඒ කාලේ ඒ ගැන එච්චර තේරුමක් තිබ්බෙ නෑ...

      Delete
  17. දන්සැල් ගැන මතක රාශියක් මටත් තියෙනවා...ඒත් උඹේ ඡායාරූපයෙ ඉන්න බත් කන සුදු අක්කලා දැක්කම මට වෙන කථාවක් මතක් උනා. මම දවල්ට බත් කන්න යන කඩේ අාසන්නයෙ තියෙනවා සුපිරි කොන්ඩෝ දෙකක්. මේවයෙ නවාතැන් ගන්න සුදු හම තියෙන උන් නිතරම මෙතනට එනවා කෑම කන්න. අපි බත් කමින් උන්න දවසක සුදු අක්කෙක් ආවා මිනිහත් එක්ක. බත් බෙදාගෙන කරි දෙක තුනකුත් අරගෙන අපිට එහායින් මේසෙ ඉදගත්තා. හැන්දෙන් ඒ අය බත් කන ගමන් අතින් බත් කන අපි වගේම මැලේ උන් දිහාත් බැලුවා. අන්තිමට අක්කත අතින් කන්න පටන් ගත්තා..නමුත් හරියට කටට බත් දාගන්න විදිය අක්කා දන්නෙ නෑ. අක්කා කනවා දැකලා සුදු අයියත් වැඩේට බැස්සා...අනේ මුන් දෙන්නා උඩ බලලා කටට බත් හලාගන්නවා. අන්තිමේදි ඉදුල් ගෑවිලා කට පුරාම..කදුලු වැක්කෙරෙනවා අක්කගෙ ඇස් වලින් මිරිස් සැරට...

    ReplyDelete
    Replies
    1. සිරා සහෝදරයා, වෙනස් සංස්කෘති වලින් අත්දැකීම් ගන්න කැමති සුදූ ජෝඩුවක් වෙන්නැති ඒ... මට මැවිලා පේනවා විස්තරේ. කට දැවිල්ල හුරු නැති සුද්දො බත් සහිත සැර කෑම වේලක් කන විදි මමත් දැකල තියනවා. ඉහින් කණින් දාඩිය පෙරාගෙන හොටු හූර හූර ඇස් රතු කරගෙන කනවා දැක්කම ඇත්තටම දුකේ බෑ. අපේ කලාපයට අනුව මිරිස් සරට අපි හුරු වෙලා තිබ්බට උන්ට එව්ව හුරු නෑ. ඒත් අලුත් අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න තියන ආසාවට එහෙම කරනවා ඇති.මතකද ටින් ටින් ඉන් ටිබෙට් කතාවෙ නේපාලේ මිරිස් ලස්සනට වේලෙන්න වනල තියනවා දැකපු කැප්ටන් හැඩික් මේ මොනවද අහල උන් චිලී කිව්වම මිරිස් කරලක් කාලා දැවිල්ල නිසා වතුර පිරුණු ලිඳකට පනිනවා . පස්සෙ ඇවිත් කියනවා චිලී කිව්වා නිසා කෑවා කියල. උන්ගේ බාසාවෙන් චිලි කියන්නෙ සීතලයි කියන එකටනේ.. ජයවේවා...

      Delete
  18. දන්සැල් වලින් කන්න ගොඩක් වුන් කැමති වෙනසක් තියෙන නිසානේ බං.හැමදාම ගෙදරින් හරි කඩෙන් හරි කනවාට වඩා එක කොච්චර වෙනස්ද ?අනිත් දේ මචං කෝකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.ඕනෑම සංස්කෘතියක් එකම රාමුවක් ඇතුලේම හිර වෙලා තියෙන්නෙත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාව ඇත්ත තමයි මනෝජ්. දන්සැලකින් කනව කියන්නෙ වෙනස්ම විදියක අත්දැකීමක් තමා. හැබැයි මම කියන්නෙ ඔය දන්සැල් කන්න යන තරමට අපේ මිනිස්සු පන්සල් යන්නෙ නෑ. ගියත් යන්නෙ ට්‍රිප් එකක් යනවා වගේ මිසක් සංවරව නෙවෙයි ගොඩක් වෙලාවට. මල් අහුරක්, හඳුන්කූරක් අරන් යන්නෙ නෑ. ඒ වෙනුවට අත් වල තියෙන්නෙ දන්සැල් වලින් එකතුකරගත්තු බීම බෝතල්. අන්න එතනයි වරද තියෙන්නෙ. කාලෙන් කාලෙට හැම දේම වෙනස් වෙන එක නම් ඇත්ත. රට යන විදියට හැමෝටම ජීවත් වෙන්න වෙලා.

      Delete
  19. දන්සැල්වලින් බඩ පැලෙන්න කන්න පුලුවන්, ඒත් මොහිදීන් බෙග් කිලෝමීටරයක් ඇතුලත ඉන්න ඔක්කොම එවුන්ගේ කණ පලන එක තමයි ඉවසන්න බැරි

    ReplyDelete
    Replies
    1. ප්‍රා සහෝදරයා...ඒ ගැන නං කියලා වැඩක් නෑ අප්ප. එක අතකට එක නං මලම කන්දොස්කිරියාවක්. දවල්ට ඔව්ව. දන්සැල ඉවරුනාම නැගල යන රැප් සිංදු.

      Delete
    2. hiks....

      සකල සතම බොදු බැතියෙන්
      නමදින දුරහැර හැමබේදේ
      සුගත තථාගත ලෝක සිවංකර
      සම්බුදු සිරිපාදේ.....
      සිරිපාදේ.....සිරිපාදේ...හා..හා..සිරිපාදේ­....

      සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
      සුවදෙයි අරණෙහි මව්
      නිවන් මගට යන පහන් ටැඹක් බදු
      බුදු සිරි පතුල නමෝ
      කරුණාවයි....කරුණාවයි
      සමන් දෙවිදු කරුණාවයි....
      කරුණාවයි....කරුණාවයි....කරුණාවයි
      කරුණාවයි....කරුණාවයි...කරුණාවයි
      සකල සතම බොදු බැතියෙන්
      නමදින දුරහැර හැමබේදේ

      උපන්න දා සිට කල පව් දුරුවෙයි
      සිත යහමගට නැමී
      නෙතෙන් පලක් නැත දැක වැද නොගතොත්
      මුණි සිරි පතුල සොමී
      කරුණාවයි....කරුණාවයි
      සමන් දෙවිදු කරුණාවයි....
      කරුණාවයි....කරුණාවයි....කරුණාවයි
      කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

      සකල සතම බොදු බැතියෙන්
      නමදින දුරහැර හැමබේදේ
      සුගත තථාගත ලෝක සිවංකර
      සම්බුදු සිරිපාදේ.....
      සිරිපාදේ.....සිරිපාදේ...හා..හා..සිරිපාදේ­....
      හා..හා..සිරිපාදේ....
      කරුණාවයි....කරුණාවයි....කරුණාවයි
      කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

      (Alhaj Mohideen Beg)

      Delete
  20. //කල්දේරම් වල මහා පරිමාණයෙන් ඉදෙන දන්සැල් බත ගෙදර ඉදෙන සම්බෝල බත්පතට වැඩිය කොහොමටවත් රහ වෙන්න විදියක් නෑ.// කොහොම වුනත් දන්සලකින් කන බත් එකක අමුතුම රසයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තුෂානි, මං කිව්වෙ බොරුද, ගෑණු සනුහරේම දන්සැල් කන්න පුදුම මළපෙරේතකමක් තියෙන්නෙ. අපේ අම්මත් එහෙමයි, බිරිඳත් එහෙමයි...

      Delete