යකෝ මේ වගේ උන් එක්කද විල්පත්තුව රකින්න හදන්නේ ..???



බිත්තර කටු , කුකුල් හම් , පොල් කුඩු, තුනපහ පැකට්, මාළු බඩවැල්, බෝංචි නටු , පළා අඬු , මෙකී නොකී හැම දෙයක්ම ලොකු පොලිතින් මල්ලක දාල පාර අයිනෙ දාල ගිහිං. ඒ මල්ල බල්ලො අවුස්සලා ඇතුලේ තිබුන කුණු හැමතැනම විසිරිලා... වැස්සට අහුවෙලා පොඟලා නරක වෙලා කුණු ගඳ ඉවසන්න බෑ...  කොහෙද මේ??? නගරයක් ආසන්න ප්‍රදේශයකද??? 
                       
නෑ.. ගමේ.. අපේ වත්ත අයිනෙ... ප්‍රමාණයෙන් ටිකක් ලොකු ඉඩම් තියන සහ ජනාකීර්ණ බව අඩු නිසා කව්රුත් දකින්නෙ නැති නිසා තමුන්ගෙ ගෙදර කුණු බෑග් එක ඩිස්පෝස් කරන්න කියාපු තැන. ඊයේ රෑ ගෙදර ජෝඩුව රේන්කෝට් ඇඳලා අඹු සැමි සබන්ධතා පවත්වලදත් කොහෙද.. ඊතලයක් සහිත රවුමක් විතර්ක මුද්‍රාවේ ඇඟිලි දෙකට මැදි වෙච්ච ආකාරයේ ලෝගෝ එකක් තියන "ප්‍රීති" කවරෙකුත් කුණු ගොඩේ. ඕක ඇවිස්සුවොත් ටාගට් එක අකොම්ප්ලිෂ් කරගන්න බැරිවුණු තුනී රබර් ආවරණයකට මැදිවුනු ශුක්‍රානු සාම්පලේකුත් ඇති.නැත්තං ගොන් වස්සා ඒක කොමඩ් එකට දාල ෆ්ලෂ් කරන්න ඇති (කුණු ටික දාගන්න තරමටවත් ඉඩකඩ මදි ඉඩම ඇතුලෙ කපපු වැසිකිලි වළ කෝ සෙප්ටික් ටැංකිය ඔව්ව වලින් සහ සනීපාරක්ෂක තුවා වලින් පට ගාල පිරෙයි)  එව්ව අපිට අදාළ නෑ...

ග්‍රාමීය පරිසරයක ජීවත් වෙන මට සතියට දවස් දෙකතුනක් ඔය අප්‍රසන්න අත්දැකීමට මූණපාන්න වෙනවා.ගමේ බල්ලො, කබරයෝ ටික ක්ලීනින් සර්විස් එක කලේ නැති උනොත් ගෝලයෙක් ලව්වා ඔව්ව එකතුකරලා ගිණිතියන්නත් වෙන වෙලාවල් තියනවා.

දැන් මොක්කුද ඔව්ව ගෙනත් දාන්නෙ? බයිසිකල් වල යන මිනිස්සුද? නැත්තං ගමේ එවුන්ද? එහෙමත් නැත්තං කුළියට වාහන එළවන මිනිස්සුද? නෑ... තමුන්ගෙ වාහනෙන් ඔෆිස් යන එවුං. සල්ලි වලට පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ලස්සනට ගෙයක් දොරක් හදාගත්ත වාහනෙන් වැඩට යන ලොකු පඩියකට වැඩකරන එවුං. අධ්‍යාපන මට්ටම? අතිශය ඉහලයි!!!  සමාජ දැනුම? අති විශිෂ්ටයි!!! කුණු ඩිස්පොස්  කරන තැන් නැද්ද? තියනවා ටවුන් වල, ට්‍රැෆික් නිසා ඒ තැන් වලට දාන්න කරදරයි. එහෙමත් නැත්තං ගෙදර කුණු වළක් කපාගන්න වෙලාවක් නෑ. ඒ තරමට බිසි.
       
අපේ වත්ත තියන අඩවිය පාළු නිසා අපිට සෑහෙන්න දෑවැදි හම්බවෙනවා කාලෙන් කාලෙට. කිරිසප්ප බලු පැටවු ( එහෙම ගෙනත් දාපු එවුන්ගෙන් ගෙදර බල්ලෝ 3යි, වත්තෙ 4යි කන්න දිදී හදනවා දැනුත්) , කුකුල් ෆාම් කරන එවුන්ගෙ කුකුල්ලුන්ගේ කපාපු ඔළු පුරවපු පෝර කවර, අහල පහල බේබද්දෝ බීල විසිකරපු හිස් කාල් භාග බෝතල් බියර් ටින්. වත්තෙ පාළු හරියේ පාරෙ අගුව තනිකරම කුණු ගොඩක්. ඕක අස්කරන්න තියන හිතේ අමාරුවට කියන කතන්දර නෙවෙයි මෙව්වා. නූගත් බේබද්දෙක් කාලක් ගහල බෝතලේ වත්තට විසිකරලා ගියාට කමක් නෑ. පාරෙ යන එකෙක් මුත්‍රාශය පැලෙන්න එන අමාරුව නිසාවට ඒ බර කොතෙකුත් හිස් කරගත්තත් , වතුර පාරකුත් තියන නිසාවට අනිත් බර වැඩේ කරගත්තත් කාරී නෑ. ඒ හැමදේම ඉවසුවෑකි. මට ඉවසන්නම බැරි වැඩේ තමයි කාර් බාර් වලින් කුණු දාගෙන යන වැඩේ.
 
ඇයි අපේ මිනිස්සු එහෙම කරන්නෙ? ඇයි අපේ මිනිස්සුන්ට තමන්කන ටොෆිය ඔතපු  කොළෙත් අදාළ තැනකට දාල යන්න බැරි? ඇයි අපේ මිනිස්සු කන්න බොන්න තැනකට ගියාම කුණු ඔක්කොම එතන දාල එන්නේ? ඇයි අපේ මිනිස්සු ලස්සන තැන් වලට නාන්න ගියාම බීපු කෝප්ප , බොතල් , කෑම ඔතාපු කවර එතනම දාල එන්නෙ, බෝතල් ගල් වල ගහන්නෙ ?  පාරක යනකොට වාහන වලින් කොයිතරම් කුණුකන්දල් එලියට විසි වෙනවා අපි දකිනවද?  නොපෙනෙන තැන් වල කොච්චර දේවල් විසි කරලා යනවා ඇත්ද? මුන් එක්කද අපි රටවල් හදන්න කතා කරන්නෙ?

ගමනක් ගිහිං එනකොට අපේ ගෙදර වාහනේතුල තනිකරම කුණු ගොඩක්. කාපු බීපු දේවල් ඔතාපු කවර, බෝතල්, ප්ලාස්ටික් ඇසුරුම් . කොටින්ම මයිලෝ එකක ස්ට්‍රෝ එක සීල් කරපු පොලිතින් කෑල්ල වත් එලියට දාන්න මම කාටවත් දෙන්නෙ නෑ. අපේ තාත්තටත් මුලින් ඔය වැඩේ කරනවට කෑගහල ඒව නවත්තලා තියෙන්නෙ. කොටින්ම දිරන කඩදාසිකොළ කෑල්ලක් වත් වාහනෙන් එලියට විසිවෙන්න ඉඩ තියල නෑ මම. ඒ කුණු අයිති අපිට. වෙලාවක් නැති නිසාවට සමහර වෙලාවට වාහනේ ඇතුල අස්  කරනකල්  සතියක් විතර ඔය කුණු ගොඩවල් කාර් එක ඇතුලෙ. එකේ ප්‍රශ්නයක් නෑ. මොකද ඒ කුණු කාගේවත් නෙවෙයි . හැමෝම තමන්ගෙ වාහනේ, ගෙදර, කාමරේ ලස්සනට කුණු නැතුව තියාගෙන ඉන්නවා. පොඩ්ඩක් හිතල බලන්න ගමනක් ගියාම තමුන් යන වාහනේ අස් කරන්න වෙන්නෙ කීයෙන් කී දෙනාටද? ඔක්කොම එලියට යන යන තැන විසි කරලා වාහනේ ලස්සනට තියනවා. ඒ කුණු වලින් අපවිත්‍ර වෙන්නෙ කොහෙද? අපේ පරිසරය. අපේ රට. අපි නිතර ගැවසෙන තැන්. අපි යන එන ලස්සන තැන්.

පිටරට ඉන්න උදවිය පම්පෝරි ගහනවා ඒ රටවල් ලස්සනයි, හරි පිරිසිදුයි, ගඳ නෑ, හරි පිළිවෙලයි කියල. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි  එතකොට අපේ රට ලස්සන නැත්ද? අපේ රට පිරිසිදු නැද්ද? පිළිවෙල නැත්ද? සුවඳ නැත්ද (බලෙන්  ගඳගැස්සුවේ  නැත්තං සුවඳ එන්න මල් පිපෙන රට මේක, ඔය කාන්තාර වල වගේ බලෙන් මල් හිටෝල නඩත්තු කරන්න ඕන නෑ). ඔය ඔක්කොම දේවල් අපේ රටට නැති කරන්නෙ කව්ද? අපි අපිම නෙවෙයිද? මේක ජරාකරලා ගඳගස්සවගන්නේ අපිරිසිදු කරගන්නෙ අපිම නෙවෙයිද?

නගරාශ්‍රිත පාරවල් අයිනෙ කුණු දමන ස්ථාන වල තත්වය ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් පාලකයන්ගේ සහ පාලිතයන්ගේ දුර්වල කම් ගැන යම්කිසි අවබෝධයක් ගන්න තැන්ම ප්‍රමාණවත් සාධක සපයනවා. කුණු ඒ තැන්  වලින් නියමිත් වෙලාවට ඉවත් කරන යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. සත්තු පිරිලා, වටේම ගඳ ගහනකල් ඒ තැන වල කුණු අයින් වෙන්නෙ නෑ. කුණු ඉවත් කරන්න අවශ්‍ය වාහන සහ මිනිස් ශ්‍රමය නැති නිසා නෙවෙයි. කළට වෙලාවට ඒ දේවල් වෙන්නෙ නෑ. කුණු ට්‍රැක්ටරය පදවන සහ කුණු එකතුකරන මිනිස්සුන්ව සමාජයෙන් කොන් කරලා. උන්ට සළකන්නේ නැති නිසා උන් කුණු සහ ගඳට මුවා වෙලා කප්පම් ගන්න පුරුදු වෙලා. සල්ලි දුන්නෙ නැත්නම් සමහර ප්‍රදේශ වල කුණු ගන්නෙ නෑ. මම දැකල තියනවා එක පාරක් හෝටලයක කුණු ගන්න ඇවිත් හෝටලේ අයිතිකාරය සල්ලි දුන්නෙ නෑ කියල ඒකෙ ඔරොප්පුව නිසා කුණු ට්‍රැක්ටරේ එවුං ඕජස් වෑහෙන කුණු ට්‍රැක්ටරේ වැඩි වෙලාවක් හෝටලේ ඉස්සරහ නවත්තන් ඉඳල ගියා. දිය වෙච්ච කුණු ජරාව හෝටලේ ඉස්සරහ බිම වැටිලා හෝටලේ කෑම කනවා තියා පළාතේ ඉන්න බෑ ගඳේ...

බලාගෙන ගියාම කුණු කතන්දරෙත් කප්පම් බිස්නස් එකක්. වෙලාවට කුණු අයින් වෙන්නෙ නැති එක වෙනම කතාවක්. හැබැයි කුණු දාන මිනිස්සුන්ගෙත් වැරදි බොහොමයි. මුලින්  මුලින් බක්කියට කුණු දානවා. ඊට පස්සෙ ඈත තියා වීසි කරනවා. ටිකක් වෙලා යද්දි බක්කිය ගාවට යන්න බෑ මගදිගට කුණු විසිරිලා. වාහන වලින් එන උන්දැලා Kobe Bryant ගෙ බාස්කට් බෝල් ෂොට් එකක් සිහිකරගෙන කුණු බක්කියට වාහනේ ඉඳන්ම කුණු පාර්සලේ විසිකරනවා . ඒක බක්කියට වැටුනා නැතා ප්‍රශ්නයක් නෑ, යනව යන්න. තමුන්ගෙ කුණු ටික හරියට බැහැර කරගන්න බෑ , ඒක නියමිත තැනට නියමිත විදියට දාන්න බෑ. එහෙම ඒකාල එක්ක අපි රටවල් හදන්න කතාකරන්නෙ.

අපි විල්පත්තුව රැකගන්න බදියුදීන්ගෙන් ගේම ඉල්ලනවා. ඒවා වෙන්න ඕන. ඒක හරි. ඒ උනත් විල්පත්තු වනාන්තරේ වගේ සිය ගුණයක් ලොකු, ගස්කොලන් තියන තාමත් කොල පාටට පේන අපි ජීවත් වෙන පරිසරේට කෙලවගන්නේ අපිම නෙවෙයිද? හරි නං විපත්තු ගැන කතාකරන්න කලින් අපි අපේ අවට ඉන්න පරිසරය ගැන හොයල බලන්න ඕන. උගත් බුද්ධිමත් කියාගත්තු , වාහන පාවිච්චි කරන, සමාජ දැනුම තියන එව්වො කුණු බෑග් එක පාරෙ දාල යනවා නං උගත්කම, බුද්ධිමට්ටම අඩු මිනිස්සු ගැන කවර කතාද?
රටේ මිනිස්සුන්ගෙ හිත් වලට මේ ආකල්පමය වෙනස අවශ්‍යයි. බුද්ධාගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න කෑ මොරදෙන එකා තමන්ගෙ පෞද්ගලික ජීවිතේදි බෞද්ධයාගේ මූලික අංගය වෙච්චි පන්සිල් පද ටික රකින්නේ නෑ.. සිංහල ජාතිය ගැන බෙටි යනකල් බෙරිහන් දෙන එකා වෙන රටකට ගියාම සිංහල එකාවම කපනවා. දුප්පත් මිනිහෙක්ට උදව්වක් කරන්න උනොත් "අනේ මූ සිංහල එකෙක් නේද" කියලවත්  හිතල ජීවිතේට උදව්වක් කරන්නෙ නෑ. දෙමළ එවුං, මුස්ලිම් එවුං හරි එකමුතුයි, අපි තමයි එහෙම නැත්තෙ කියා කියා මැරෙන්න හදනවා. එහෙම කියවන එකා අල්ලපු ගෙදරට හොරු පැන්නත් නිකමට ඇහැ ඇරලා බලනවද? පාරෙ මිනිහෙක් කරදරේක වැටිලා හිටියොත් අඩුගානෙ මූනිච්චාවට වත් "ඇයි" කියල අහනවද? 

තමුන්ගෙ ගෙදර කුණු පාර්සලේ පාරෙ විසිකරලා යන එකා තමයි විල්පත්තුව රකින්න ඕන කියල වැඩියෙන්ම බෙරිහන් දෙන්නෙ. ඔන්න ඕකයි ඇත්ත තත්වේ. ලෝකෙන් උතුම් රට ලංකාව, අපේ මිනිස්සු තමයි උසස්ම ජාතිය, කියල බොරුවට පම්පෝරි ගහන්න දක්ෂ උනාට ඒ කිසිම දෙයක් ක්‍රියාවෙන් ඔප්පු කරන්න අපේ එවුන්ට බෑ.

බස් එකකට නගින්න තියා සුපර්මාකට් එකකදී උනත් පෝලිමේ ඉන්න තරම් අපේ එවුන්ට විනයක් නෑ. බඩදරු අම්ම කෙනෙක්ට සීට් එක දෙන්නත් දෙපාරක් හිතන්න පුරුදුවෙලා අපේ මිනිස්සු. යහපත් ආකල්ප වගේම විනය සහ ශික්ෂණය අපේ මිනිස්සුන්ට මුල ඉඳන්ම උගන්නන්න වෙලා. ඒ දේවල් හදන්නෙ නැතුව කවදාවත් රටක් විදිහට හෝ ජාතියක් විදියට ඉස්සරහට යන්න අපිට ලැබෙන්නෙ නෑ.

අවුරුදු දාස්ගානක් තිස්සෙ රැකගෙන ආපු දියුණු ශිෂ්ටාචාරත් එක්ක ගොඩනැගුනු ආකල්ප, විනය සහ ශික්ෂණය සහිත අපේ වටිනාකම් එක්ක අපේ රටවල්  තව තවත් දියුණු වෙලා තියෙන්න ඕන. ඒත් තාම එහෙම දියුණුවක් සමාජයක් විදියට ගත්තම පේනතෙක් මානෙක  නෑ.. දියුණු රටවල එවුං එකිනෙකා මරාගෙන සහ හොරා කාගෙන, මංකොල්ල කාගෙන ආපු ක්‍රමය දැන් දැන් හොඳ පැත්තට හරවාගෙන යනවා. ඒවා මුල ඉඳන්ම තිබුණු අපි ඒ තිබුණු ටිකත් කාබාසිනියා කරන්න හදනවා. ලොකු දේවල් කරන්න කලින් අපිට පේන අපට කරන්න පුළුවන් තැනින් මේ දේවල් පටන්ගන්න ඕන. එක්කො ඕන මගුලක් වෙද්දෙන් කියල සද්ද නැතුව , පොර ටෝක් දෙන්නෙ නැතුව, ආඩපාලි කියන්නෙ නැතුව ඉන්න ඕන. ගම් වල පාරෙ යද්දි බලු බෙට්ටක් දැක්කම මූණ පුටු කරගෙන නහය වහගෙන පාරෙ අනිත් පැත්තෙන් යන ගෑණු උදවිය නගරෙ කුණු ගඳ ගහන පාරවල් දිගේ වගේ වගක් නැතුව ඇවිදගෙන  යනව වගේ.

66 comments:

  1. අපොයි බං මේ ලංකාවෙ උන් එකක් ඕවා ගැන කතා කරන එක තිත්ත වෙලා තියෙන්නේ. කුණු වලට හොදින් සලකන්න ඕන. කුනු කියන්නේ හංගන්න ඕන දෙයක් නෙමෙයි. හොද ආදායම් මාර්ගයක්.. ඒක තේරුං ගන්න බෑ අපේ උන්ට.. අනික කුණු ටික හංගන් ගිහින් කොහාට හරි දානවා ඊට අඩි ගානක් දුරින් නගර සභාවේ කුණු බාල්දිය තියෙද්දී. මේ ආකල්පයි වෙනස් වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් දේශකයා, කුණු කියන්නෙ හංගන්න ඕන වත් ලජ්ජා වෙන්න ඕන වත් දෙයක් නෙවෙයි.. ඒ උනත් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕන. "කක්කුස්සි හෝදන එකා" කියන ආකල්පේ අපේ එවුං පහත කරලා සැලකුවත් මං බලාගෙන ඉස්සර දවසක එංගලන්තෙ කුමාරවරු දෙන්න ප්‍රජා සේවාවක කක්කුස්සි හෝදනවා පොටෝ දාල තිබ්බ. පොටෝ දාගන්න වැඩේ කලත් අපේ එවුං නං එහෙම එකක් පොටෝ දාගන්න නමුත් කරයිද? ආකල්ප වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ගෙ.

      Delete
  2. හරියට හරි! මුං එක්කද යන්නෙ විල්පත්තුව රකින්න?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ රාජ් සහෝදරයා. අර කියන්නා වගේ අම්මාවරුන්ගේ දවසේදී ඒ වෙනුවෙන් ෆේස් බුක් ස්ටේටස් අප්ඩේට් කරන, අම්මට පොල් බෑයක් ගාල නොදෙන උන් ඉන්න සංස්කෘතියක් දැන් තියෙන්නෙ.

      Delete
  3. අපෝ ලංකාවෙ මිනිස්සු සම්බන්ධයෙන් ඔය ගැන කතා කරල වැඩක් නෑ. ඒත් කතා කරන්නෙ නැතුව ‍වැඩේ කෙරෙන්නෙත් නෑ.
    මේ වෙසක් දවසනේ පස්සෙ මම මාලිගාවිල ගියා. එතන වෙසක් දවසෙ බත් දන්සැලක් දීල තියෙනව. දීල තියෙන්නෙ ඔතපු පාර්සල්. ඒව අරගෙන ගිහිල්ල කාපු කාපු තැන්වල දාල ගිහිල්ල. ඒ පැත්තෙ යන්න බෑ පිළුණු ගඳ. දන්සල දීපු මනුස්සය එක්කො කුණු දාන්න සකස් කිරීමක් කරල නෑ. අඩුගානෙ දන්සල දීපු අයට තිබුණ ඉවර උනාට පස්සෙ කට්ටිය දාල ඒ අවට සුද්ද කරල දාන්න. මේ වැඩෙන් කරපු පිනෙනුත් වැඩක් නැති වෙලා.
    වෑන් එකේ ගමනක් යනකොට මාත් අර දේ කරනව. ඔක්කොම එකතු කරල එක්කො කුණු දාන්න තියෙන තැනකට දානව නැත්තං ගෙදර අරගෙන එනව.

    ReplyDelete
    Replies
    1. එහෙනං මම උඩවලවේ ආවම උඹගේ වෑන් කට්ට මට බද්දට දියං

      Delete
    2. උඹ උඩවලවෙ එන්නෙ සී ප්ලේන් එකෙන් ද?

      Delete
    3. ප්‍රසන්නගේ කතාව ඔය වැඩිහරියක් දන්සැල් දෙන තැන වල වෙනවා. පළාතේ ඉන්න බෑ ගඳේ... ඒව අස් කරන්න අපේ මිනිස්සුන්ට උවමනාවක් නෑ. ඔය දේවල් පොඩි කාලේ ඉඳන් ළමයින්ට පුරුදු කරන්න ඕන. එතකොට වත් ඉදිරි පරම්පරාවල් හරි පාරෙ යාවි. ඒත් ඉතිං කව්ද ඒව උගන්නන්නෙ?
      දේශකයට මොකටද වෑන් එකක්?

      Delete
  4. අපෙත් ගමනක් ගිහිල්ල ආවම කාර් එක කුණු ගොඩක්. මමත් කඩදාසියක්වත් විසිකරන්න දෙන්නේ නැහැ. නමුත් අනිත් අයගෙනුත් ඒක බලාපොරොත්තු වෙන්න හරිම අමාරුයි. විශේෂයෙන් විනයක් නැති රටක.

    ඒත් දැන් දැන් නම් පබ්ලික් ප්ලේසස් ඉස්සරට වඩා පිරිසිඳුව තියෙනවා. හේතුව හිතල බැලුවම ඒ තැන්වල ආරක්ෂකයෝ හරි පොලිසියෙන් හරි ඉන්නවා. මම මේ කියන්නේ ඇවිදින මංතීරු වගේ ස්ථාන.

    මමත් මේ වගේම ලිව්වා කුණු ගැන. බලන්න අපේ අත්දැකීම් සමානයි නේද.. හි.. හි..

    ReplyDelete
    Replies
    1. හි.. හි.. හි.. හි.. හි.. හි.. හි.. හි..

      Delete
    2. එහෙම කරන එක අහන්න ලැබෙන ඒකත් සතුටක්. නීතියට බයේ ඒ දේවල් වලින් වැළකිලා ඉන්නවට වඩා විනයක් සහිතව ඒ දේවල් වලින් වැළකෙන එකයි වැදගත්. මිනිස්සු ඒ දේවල් ඉදිරි පරම්පරා වලටත් උගන්නන්න ඕන. වාහනේ කවුළුවෙන් කුණු රොඩු එලියට විසි කරන එකාගෙ ළමයි කොහොමත් ඒ වැඩේ කරනවා.
      ආ. මම බලන්නම් ඒ ලිපියත්. ජයවේවා...

      Delete
  5. කියල වැඩක් නෑ සජ්ජෝ. මං අවුරුද්දකට පාරක් ලංකාවට ආවාම මගෙ පුංචි ඉඩං කෑල්ලෙ තියෙන කුණු තැඹිලි කෝම්බ බෝතල් ක‍ටු අනුන්ගෙ වතුවල ගස් වල අතු ඔව්ව මෙව්ව්ව සුද්ද කරන්න දවස් ගානක් වැඩ. සුද්ද කරන මනුස්සයාට සතියක් දුන්නත් මදි.. එයාත් බලන්නෙ මාව සුද්ද කරන්නනෙ. හැබැයි අසල්වැසියො ඔක්කොම ලොකු ලොකු කාර් වල යන අය. කුණු වත්තට උඩින් මගෙ ඉඩමට.. ඒ මදිවට කාර් වලින් යන ගමනුත් මළු වීසි කරං ගිහිල්ල සමහරක් ඇරිල කුණු බාගයක් පාරෙයි වැටෙයි.. අර කිව්ව වගෙ පවුල් පාලනේත් යහමින් කෙරෙන බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. සරත් අයියා.. කාලෙකින්.. හහා.. ජනාකීර්ණ ප්‍රදෙශෙක කවුරුත් නැති ඉඩම් කෑල්ලක් තියනවා කියන්නෙ ඉතිං බඩුම තමා.. මම කිව්වෙ බොරුද, මිනිස්සු දියුණුයි, උගත් කිව්වට කොහෙත් ඔය සෙතේම තමයි. හැක් හැක්..කට්ටිය පවුල් පාලනේ නං වත්තේදීත් කරලා වගෙයි කිව්වා විදියට.. :D

      Delete
  6. සාජ්ජා..................

    අැත්තට ම මේක කතා කළ යුතු මාතෘකාවක්.... උණු උණු මාතෘකාවක් නොවුණත් මේවා කතා නොකරනතාක් කල් අපේ මිනිස්සු හැදෙන්නැහැ..... අැත්තට ම සාජ්ජා දැන් මහඋන් මකලා තමා හදන්න වෙන්නේ.... මොකද උන්ගේ අැග අැතුලේ ඒක නැහැ.... ඉතින් දැන් පොඩි උන්ටවත් මේවා දෙන්න ඔ්නේ.... ටොපී කොළය, කෙහෙල් ලෙල්ල පාරට දාන්න ඒපා කියලා අපිට කියලා දුන්නු නිසා අපි අදටත් බයයි..... බයටත් වැඩිය ඒක අපේ අැග අැතුලේ තියෙනවා.... ඒත් දැන් පරම්පරාව හදන්නේ ගුණගරුකව නෙමෙයි.... දැනුම කියලා අදාල නැති මගුල් ඔලුවට දානවා... ඒක වසරේ ඉදලා උන්ව ශිෂ්‍යන්තවයට යවනවා.... හෙට අනිද්දා දරුවා බඩේදිම අම්මලා යයි ශිෂ්‍යත්ව පන්ති.... මේවයි වෙනස් වෙන්න ඔ්නේ... දරුවන්ට මේවා දෙන්න ඔ්නේ... ඒකට අධ්‍යාපනය වෙනස් විය යුතුයි.. ඒගමන් දැන් ඉන්න රට හරක් හදන්න නීතියත් බලාත්මක කරන්න වෙයි.....

    ReplyDelete
    Replies
    1. කුරුට්ටා, මගේ කණට ඇහිලා තියනවා අපේ පැත්තෙ අම්ම කෙනෙක් වත්තකින් පොල් ගෙඩියක් අහුලගත්තම (හොරෙන්) ඒ අම්ම පස්සෙන් ආපු පොඩි කෙලී අම්මට බනිනවා අනුන්ගෙ වතු වලින් හොරකම් කරන්න එපා කියල. ලොකු එවුන්ට තේරුනේ නැති උනත් පොඩි උන්ට ඒවා කියල දුන්නොත් අපූරුවට තේරුම් යනවා. මේ දේවල් හොඳ නෑ කියල ඉස්කෝල වල පන්ති වල උගන්නනවා නම්, කියල දෙනවා නම් ලොකු එවුන්ටත් ලජ්ජා හිතෙන්න පොඩි උන්ගෙන් පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඒත් කරුමෙ කියන්නෙ අද තියෙන්නෙ විභාග රේස් එකක්. ඒ රේස් එකේදී ඔව්ව කියල දිදී ඉන්න වෙලාවක් නෑ කාටවත්...

      Delete
  7. ගම්පහට ගේමු ගෝඨාභය ව.. ඔන්න ඔය වෙලාවට තමයි ඒකාධිපතියෙක් ඕනේ වෙන්නේ.. හැක්. හා හා පරක්කු උනා යමන් විල්පත්තුව බේර ගන්න..
    කුණු ගැන පට්ට අත්දැකීමක් තියෙනවා ඩොක්යාඩ් එකේ.. වෙලාවක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ගසාකෑවා කෙසේ නමුත් ගෝඨා ඒ වැඩේ නං අපූරුවට කළා. ගම්පහට යුව රජතුමා හිටිය නිසා මෙහෙ දැන් සුරපුරේ වගේ... ලියහන් ලියහන්. උඹ දැන් කම්මැලි වෙලා...

      Delete
  8. විනය කියන දේට ලංකාවෙ සමාජයේ දීල තියන අර්තයේ වැරැද්දක් ඕක.එ් අනුව විනය කියන්නෙ කොන්‍ඩ‍ කපන ප්‍රමාණය,අදින ඇදුමේ දිග වගේ දේවල් මිසක් ඕව නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. තනිකර එකඟයි ඉන්ද්‍රජිත්.. අපේ මිනිස්සු විනය මනින්න පුරුදු වෙලා තියෙන්නෙ ඒ විදියට තමයි. විනය කිව්වම හිතට එන අදහසත් ඒකයි. අපේ ඉගැන්නිලි වල වැරදි මේවා..

      Delete
  9. ශත වර්ෂ ගණනාවක් නිසි ලෙස විනය තකන ලද ප්‍රෞඪ ඉතිහාසයක් අපට ඇත. කුණු බිඳක් තමන් ළඟ නොතබා අනුන්ගේ වත්තට වීසී කරන්නේ එබැවිනි.

    ReplyDelete
    Replies
    1. අපේ එවුං ඒ ඉතිහාසයට අනුව ජීවත් නොවෙච්ච එකේ වැරැද්ද බං මේ. සුද්දො පඳුරක් අයිනෙ බොගින් කරලා තිරිඟු පිදුරු වලින් පිහදාගත්තු කාල වල අපේ මිනිස්සුන්ට තිබුනා ජල මුද්‍රිත වැසිකිලි කැසිකිලි.. අපේ එවුං ඒවා අතෑරලා අරගත්තෙ සුද්දගෙ නරක දේවල්.

      Delete
  10. හරියට හරි බං.රට හදන්න නම් මුලින්ම ආකල්පමය වෙනසක් කරන්න ඕනේ.
    මමත් ඔය යන යන තැන කොළ කැලි විසික් කරන්නේ නැහැ.බස් ටිකත් එක පවා සාක්කුවේ දාගෙන ඇවිත් තමයි විසික් කරන්නේ.
    උඹ දැක්කාද මැයි දින රැස්වීම් තිබ්බ අනෙක් පිට්ටනියි,ජවිපෙ උන්ගේ රැස්වීම තිබ්බ පිට්ටනියෙයි වෙනස රැස්වීමෙන් පස්සේ.
    ක්‍රියාවෙන් ආදර්ශය දුන්නොත් කතාවට වඩා රට හදන්න පුළුවන් සැකයක් නැතුවම.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මනෝ.. ආකල්පමය වෙනසක් ඇතිවෙන්න ඕන. බොරු ෂෝ නෙවෙයි, හදවතින්ම ඒ දේවල් කරන්න ඕන.
      ජෙප්පො නං ඒ කරන්නෙ ෂෝ වැඩක් බං. ඕකුන් අවුරුද්දකට එකපාරක් දෙපාරක් රැස්වීම් තිබ්බ පිට්ටනිය සුද්දා කරලා අවුරුද්දේ අනිත් හැම දවසකම පෝස්ටර් ගහල රටම විනාස කරනවා. එව්ව නං බොරු සංදර්ශන.
      මම කියන්නෙත් ක්‍රියාවෙන් ආදර්ශ දෙන්න ඕන ,සහ ඒ ආකල්පමය වෙනස පොඩි ළමයගේ පටන් ඔලුවට දාන්න ඕන.

      Delete
  11. පරිසර ඇමති ජනාධිපති. ඉස්සර ඝෝඨා ඉන්න කාලේ නම් කොළඹ කුණු ඔක්කෝම කොළොන්නාවට ගියා. කොළොන්නාව කුඩ්ඩට ගියා.

    කිසිම ප්‍රතිපත්තියක් නැති කුණු ගන්දස්කර ගහන මජර රටක කුණු වලට මේ තරම් සැලකුම් දක්වන්නේ අපේ සඟිස්කුරුතිය මේක කියලා පෙන්නන්න වෙන්න ඇති. ප්‍රතිචක්‍රිය වැඩ සටහන් තාම එනවා. හැමදාම එනවා. ඔන්න එනවා. මෙන්න එනවා.. පේසාලෙන් තෙල් එනවා වගේම තමයි.

    ReplyDelete
    Replies
    1. මාතලන් සහෝදරයා. මොන වැරැද්ද තිබ්බත් ගෝඨාට ඒ ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕන නේද?
      ප්‍රතිචක්‍රීකරණය කරන්නත් අඩුම තරමේ ඒ දේවල් වෙන් වෙන්ව එකතුකරවන්න තරමට අපේ එවුන්ට විනයක් නෑ. වීදුරු බෝතල් කටු දාන්න ඕන එකට දාන්නෙ ඉඳුල්, කඩදාසි දාන එකට දානවා බෝතල්. මිනිස්සුන්ගෙ සහයෝගයක් නැතුව ඔව්ව කරන්න බෑ කවදාවත්...

      Delete
  12. උඔට වෙච්ච ඇබැද්දියක් නෙමෙයි රටටම පනිවිඩයක් දිලා.
    වාහනේ යනකොට මගේ ප්‍රතිපත්තියත් එමමයි. අපි ගෙදර ඇවිත් වාහනේ පිරිසිදු කරනවා. පොඩි මෙන්ඩායි සදුයි උදව් කරනවා හැබැයි වාහනෙන් එලියට කොල කෑල්ලක්වත් දාන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා , අපි දන්නවා උඹ ප්‍රතිපත්ති ගරුක එකා කියල කොහොමටත්. පොඩි මෙන්ඩට වගේ හැම පොඩි එකාටම උන්ගේ මහ එකාලත් ඔව්ව උගන්නනවා නම් මේක මීට වඩා බොහොම ලස්සන වෙයි.

      Delete
    2. මට අවුරැදු 24 දි ගම්පහ රත්නාවලි බාලිකා එකේ උසස්පෙල කරන ගැහැනු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්දාතාවයක් තිබුනා අපි ට්‍රෙන් එකේ එනකොට කාපු ටොපි කොලයක්වත් එලියට දාන්න දෙන්නෙ නෑ. කෙල්ල ඒවා බැග් එකේ දාගෙන ගිහින් ගෙදර ඩස්බින් එකට දානවා. ඒ දවස්වල මට ඒක විහිලුවක් වගේ ඒත් අද තේරෙනවා ඒ කෙල්ල මට වඩා අවුරැදු 100ක් ඉස්සරහින් ඡිවත් වෙලා තියෙන්නෙ.

      Delete
    3. මෙන්ඩ එහෙනං මේ ඉසව්වෙත් ඒ කාලේ කරක් ගහල. බලහං ඒ කෙල්ලට ඒ කාලෙත් එක දැනිල. පසුකාලීනව හරි ඒ දේවල් අපිට දැනෙනවනෙ බං. ඒත් නාකි වෙනකල් හිටියත් ඕව නොතේරෙන එවුං කොයිතරම්ද?

      Delete
  13. මේ තියෙන්නෙ... නියමයි.
    ගම්පහ දිස්ත්‍රික්කෙම කොහෙද හදල තියෙනවා කුණු ප්‍රතිචක්‍රීය කරන තැනක් මචන්.ප්‍රදේශීය සභා වල කඹ ඇදිල්ලක් නිසා ඒවා නිකම්ම නිකන් දිරලා යනවා.මහම ලොක්කොත් බොරුවට නිදාගෙන ඉන්න නිසා ඇහැරවන්න බෑ.
    අපේ ගෙදර තියෙන්නෙ කැලයක් අයිනෙ.ඉස්සර පාරෙ යන්න බෑ මිනිස්සු කැලේ රීලා ගඳ.
    දැං උන් ගෙවල් හදාගෙන තාප්ප ගහගෙන පොශ් වෙලා.ඒත් දැනුත් පාරෙ යන්න බෑ කුණු ගඳ.
    ඇට්ටේරියා..පිච්ච මල් සුවඳ ගහන සුන්දර පරිසරයට මුන් කෙලින්නෙ අම්ම මෝ නැතිව.
    බලධාරීන්ට කියපුවාම කියනවා කුණු වීසි කරන වාහන් සාක්ශි සහිතව කියන්න.. නීතිය ක්‍රියාත්මක කොරන්නම් කියලා.
    පර්චස් විස්සක ඉඩමක් තියෙනවා තුන් පැත්තක් මුස්ලිම් ගෙවල්.උන්ගෙ පොඩි එවුන්ගෙ ගූ පැම්පස් එකත් විසිකරන්නෙ අපේ වත්තට.හැබැයි දිවුරලා කියනවා එයාලගෙ කුණු නෙමෙයි කියලා.
    කාට කියන්නෙයි බන්...
    ගෝඨා එක්ක මම එකෙන්ම එකඟයි කොළඹ ගඳ නැති කරපු එකට.සුදු වෑන් නෙමෙයි බස් අරගෙන බහින්න ඕනෙ මේව කොරන උන් අල්ලලා කුණු කවන්න.

    ReplyDelete
    Replies
    1. ලබ්බා උඹ තිහාරිය පැත්තෙද? මුස්ලිම් එවුං ගැන නං කතා කරන්න එපා. ඔවුන්ට කුණු ගැන ගානක් වත් නෑ. අපූරුවට කුණු ගොඩ මැද්දෙ තියන් බත් කන්න පුළුවන්. ( මුස්ලිම් ගොඩැලි වල එවුන්ගෙ ක්‍රමේ ඒක) .
      කුණු විසිකරන වාහනේ සාක්ෂි සහිතව දන්නවා නම් දෙනවනෙ බං පොල්ලෙන්, බලධාරීන්ට කියන්නෙ ලබ්බටද? හිනා කාලා මැරෙනවා බං උඹේ කතාවට...

      Delete
  14. මේ ගැන ලියන්නට ඇති දේ බොහෝයි! සමහර දේ ලිවීමටත් අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු අප්‍රසන්න නමුත් මේවා ලියන්න ඕන දේවල් රසික සහෝදරයා...

      Delete
  15. යකෝ, කුණු දාන්න එන එවුන් ඇම්බුෂ් කරපං. අල්ලගනින් ගමේ එවුන් හත් අට දෙනෙක්. දීපං පොලුපාර. එහෙම නැතුව ඔවුන් හදන්න බෑ.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා , ඇම්බුෂ් එකේ තමා ඉන්නෙ. වෙලාවක දෙනවා ඇට්ටි හැලෙන්න. අම්මපා..

      Delete
  16. මම හිතන්නෙ මේ දෙකම වෙන්න ඕනි (විල්පත්තුව රැකගැනීම සහ විල්පත්තුව නොවන පරිසරය රැකගැනීම)
    අනේද කියන්නෙ බං. දවසක් මං දැක්ක පාලමක් උඩ නවත්තපු ප්‍රාඩෝ එකකින් බැස්ස එකෙක් අලි ෂොපින් බෑග් එකක් පුරෝපු කුණු මල්ලක් ගඟට දැම්මා. මුංට ගෙදරිං එනකොට නෝන දෙනව ඇති බත්මුලක් එක්ක කුණු මුලකුත්. දෙක මාරු කරගත්තනං හරි.

    ReplyDelete
    Replies
    1. දෙකම රකින්න ඕන මධුවා.. මං කියන්නෙ ඈත එකට කලින් ළඟ පේන එක ගැනත් අවධානෙ යොමුකරන්න ඕන.
      මම දැක්ක ඉන්දියාවේද කොහෙද කුණු විසි කරන එවුං පස්සෙ පන්නල වාහනේ ඇතුලට ඒ විසිකරපු කුණු එක දාන වීඩියෝ එකක්. අන්න ඒවා කරන්න ඕන මෙහෙත්..

      Delete
    2. උදේ කළබලේට කියෙව්වට හවස ආයි කියෙව්වා. සජ්ජා, උඹ ලියන එක වචනයක් අහක දාන්න බෑ බං. මේකෙ ටිකක් අරං බුකියේ ෂෙයා කරනවා මම. මොකද, ඒ ටික ටක්කෙටම ගැලපෙන සෙට් එකක් ඉන්නවා මගේ වටේ.
      උඹට කියන්න කුණු කවර හින්දා කුලියට ගෙවල්වල හිටපු මම රණ්ඩු වෙලා තියෙනවා ගම්කාරයෝ එක්ක.
      ලියපං... තව රිදෙංට ලියපං...නැතුව මේ සමාජය හැදෙන්නෙ නෑ.

      Delete
    3. සජ්ජා, උඹ ලියන එක වචනයක් අහක දාන්න බෑ බං//
      එකෙන්ම එකගයි එල ද බ්‍රා

      Delete
    4. උඹලට ඉස්තුතියි... කියන්න තියන දේ කෙලින්ම කියල දාන්න ඕන. වටේ හොරගල් අවුලන්නේ නැතුව. ඔය වගේ දේවල් වලට ප්‍රසිද්දියේ ගේම ඉල්ලුවේ නැත්තං ඔව්ව හදන්න බෑ කවදාවත්..

      Delete
  17. අපේ මහගෙදර යන පාරෙ තියනව රබර් වත්තක් එතනත් මිනිස්සු කුණු දාන්ඩ පටගෙන තිබුන, පස්සෙ රබර් වත්තෙ දෙපැත්තෙ බෝඩ් දාල තිබුන හැංගිලා බලන් ඉන්නෙ , කුණු දැම්මොත් ගුටි කියල.
    මේ ලගකදි මම රිවස්ටන් ගියා, පාර අයිනෙ බිදපු බොතලුයි, බියර් කෑනුයි හැමතැනම. අධි රක්ෂිතයක ඒ වගේ කරන මිනිස්සු අනිත් තැනක මොනවගේ විනාශයක් කරයිද ?
    විචාරක කිවුව වගේ ඇම්බුෂ් එකක් දාල කුණු දාන එවුන්ට දියන් ගොම වතුර පාරක්.

    ReplyDelete
    Replies
    1. මමත් දැකල තියනවා ඒ වගේ බෝඩ් ගහල තියන තැන්. හැබැයි බෝඩ් ගැහුවට වැඩක් වෙන්නෙ නෑ අප්ප. අර විචාරක තුමා කිව්වා වගේ ජංගල් ගුටි මුරයක් වත් දෙන්න ඕන ඕව හරියන්න. අහු උනොත් නං අනිවාර්ය ගුටි මුරයක් දෙන්න බලාගෙන ඉන්නෙ. ක්ලේමෝ එකක් සෙට් කරන්න ඕන හරි නං.

      Delete
  18. පරන සී සී ටී වී කැමරාවක් ඔය කාටත් පේන්න අහලකින් හයිකරල, රතු එල් ඊ ඩී එකකුත් දාල බෝඩ් එකකුත් ගහන්න.
    “මෙහි කුණු දමා ඔබත් ඔබගේ රථයත් නොමිලේම ලයිව් ඇට් 8 හි පෙනී සිටින්න“

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒ අයිඩියාවත් නරකම නෑ නේද බං? දවසේ වැරැද්ද කියල පෙන්නනවා කියලත් ලියන්නෝන...

      Delete
  19. ලියපු එක හුඟක් හොඳයි සජ්ජ. මේ රටවල් වල අපි කුණු විසික් කරන්නේ නැහැ කාරෙකෙන්. නමුත් මම හොඳින් දැකල තිබෙනවා අපේ රටවලින් ඉන්දියාවෙන් වගේ ආපු අය ඒ දේ කරනවා. මම ලංකාවේ දැකපු දුක හිතෙන දෙයක් තමා වල අලි එහෙම ඇවිල්ල කුණු කන එකනේ. තව සත්තුත් ඉන්නවා. මේකට මොකක හරි උද්ඝෝෂණයක් ගෙනි යන්න ඕනේ.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16976-2015-05-15-06-13-24

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියා. එතනින් එහාට ලින්කුව වැඩ නැද්ද මන්ද.. අලි කුණු කන වැඩේ නං ජාතික අපරාදයක්. ඔව්ව හොයන්න අපෙන් සල්ලි වියදන් කරගත්ත ආයතන නං කෙළියට. ඒ උනාට එකකින් වත් වැඩක් නෑ... ඔය රටවල් වල ඉන්දියාවේ එවුං පාරෙ බොගින් කරනවත් ඇති. හැක් හැක්...

      Delete
  20. කතා කරන්න අප්‍රසන්න නිසයි කතා නොකළෙ. අනික ඇති වැඩක් නෑ කියලත් හිතුන.
    ඔක්කොමටම කලින් අපේ මිනිස්සු රැදවුම් කදවුරක අවුරුද්දක් හමාරක් දාල පුනරුත්ථාපනය කරන්න ඕන .හැසිරෙන විදිය උගන්වන්න. කෙටියෙන්ම කිව්වොත් ඔච්චරයි.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත තමා. අපේ උන්ට කට කැඩෙනකල් කිව්වත් වැඩක් නම් නෑ තමා..එහෙම කියල ඉතිං සද්ද නැතුව ඉන්නත් පුළුවන්යැ නේද?

      Delete
  21. කාලීන මාතෘකාවක් සජ්ජෝ. අපේ ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොගෙම ආකල්ප හදන්නෙ නැතුව ඔය වතුගානේ කුණු දාන එක නවත්තන්න බෑ. ඒකෙත් ආකල්ප හදන්න පුළුවන් වෙන්නේ ඉස්කෝල වල ප්‍රාථමික අංශ වල ඉඳන්ම හැදුවොත් තමා. අනිත් උන්ටනම් දැඩි නීති සහ කැලෑ නීති අනිවා ක්‍රියාත්මක කරන්නම වෙනව. මෙහෙම උන්ම තමා මහා ලොකුවට විල්පත්තුව රැක ගනිමු කිය කියා ලෝකෙට පෙන්න කෑගහන්නෙ. රැකලා ඉඳල මාට්ටු නොවෙන්න තඩි ගලක් යවහන් ඔය කුණු දාන වාහන වල වීදුරු කුඩු පට්ටම් වෙන්න :D.
    මම බුකියේත් ශෙයා පාරක් දැම්මා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා, මිනිස්සු යුතුකම් සහ වගකීම් කරන්න,දරන්න පුරුදු වෙලා නෑ. නීති දැම්මොත් නං බයට නොකර ඉන්නවා. අර කිව්වා වගේ ජංගල් ගේම් දෙන්න වෙනවා මෙව්වා නවතින්න. මම නම් හැංගිලා නෙවෙයි අහු උනොත් දෙන්නෙ එළිපිටම. පොලිසි යන්න උනත් කමක් නෑ.තැන්කු මනා.. ජයවේවා...

      Delete
  22. මහජන වැසිකිළි ගැනත් වේ වගේම කතාවක් කිව්වැකි... වැදගත් කථාවක් .. හැදෙන් උන්ට හැදෙන්න.. ජය ශ්‍රී...

    ReplyDelete
    Replies
    1. කියමුකෝ අපිටත් දැනගන්න, අත්දැකීම්. ඇත්තටම මෙව්වා බලාගෙන සද්ද නැතුව ඉන්න නරකයි..ජයවේවා...

      Delete
  23. ඕවා මොනවද බන් විනයක් නැතිකම ජාතක පුරුද්දක් බන් තව දේවල් තියෙනවා මෙන්න තව ටිකක්
    පොදු වැසිකිලි වල ගොඩ රීම, අවස්තාව ලද තැන වැඩකරන ආයතනයේ මුදල් හා ද්‍රව්‍ය ගසා කෑම සහ උපකරණ අයතා පරිහරණය, පෝලිම් පැනීම සහ හඳුනන අය මාර්ගයෙන් පෝලිමෙන් පිට අවස්තාව ලබා ගැනීම, බස් නැවතුමට සුළු දුරක් තිබියදීත් එහි නොගොස් ඉන්න තැනින් දුරගමන් යන බස් එකට නැග බඩ දරු නිසා හෝ අත දරු මුවාවෙන් ශීට් ලබාගැනීම, වාහන නවත්වන විට තමාට වාහනය ගැනීමට පහසු වෙනු පිණිස වෙන වාහන නැවත්වීමට අපහසු වන සහ ඉඩ ඇහිරෙන ලෙස වාහන නැවත්වීම, අතුරු පාරක සිට ප්‍රධාන පාරට වාහන දමන විට ප්‍රධාන පාරේ යන වාහන ඉඩ නොදී කෙසේ හෝ රිංගා යෑමට බැලීම. වාහන තදබදයකදී වැරදි පැත්තෙන් ඉස්සර කරගෙන ගොස් පාර අවහිර වන පරිදි හරි පැත්තට ගැනීම හෝ අනෙක් පැත්ත අවහිර කිරීම. බුලත් කෙල, කැහි හොටු කෙල තැන තැන දැමීම(වාහන වල සිට පවා).

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ සිංහලයා .ලෙසටම කියල, මගෙන් මිස් වෙච්ච ගොඩක් දේවල්.. ඔය හැම දේම අපේ මිනිස්සුන්ගෙ හික්මීමක්, හැදියාවක් නැතිකම නිසා වෙන දේවල්. ඇත්තටම අපි දියුණුයි කිව්වට ඒ දියුණුවේ පෙනතෙක්මානෙක වත් නෑ..මිනිස්සු දියුණුවෙන්න ඕන පිටින් පේන දේවල් වලින් විතරක් නෙවෙයි. ඇතුලාංතයත් දියුණු වෙන්න ඕන. කොහොම කිව්වත් මේ වෙනුවෙන් හඬක් හැදුනොත් මේ දේවල් ටිකක් හරි අඩු වෙයි. අපේ පවුලෙන්, අපේ මිත්‍රයන්ගෙන් මේ දේවල් හදන එක පටන්ගන්න ඕන. ජයවේවා. ස්තුතියි අදහස් දැක්වීමට...

      Delete
  24. ඔය කුනු ප්‍රස්නය මුලු ලෝකෙම තියනවා, නමුත් ඒක කලමනාකරනය කරන එක තමා ගේම. මම ඉන්න රටේ එක කොල කෑල්ලක් බිම දාන්නෙ නෑ එවාට තියපු බින්ස් වලට තම දාන්නෙ. නමුත් විහිලුව කියන්නෙ අපි ලන්කාවෙ ඕක කරන්න කීවොත් අපෙ අය බාස්කට් බෝල ගහන්න පටන් ගන්නව ඒවා එක්ක. කිසිම විනයක් නෑතුව බින් එක වටෙටම කුනු දානවා. හරියට එතන කුනු වලට අභය බූමියක් වගේ. මරු වෑඩක් උනා මෙ පාර වෙසක් වලට ලොකු වෙසක් උත්සවයක් සන්විදානය කරල තිබුනා, දන්සල් ගොඩක් එක්ක,එකේ සන්විදායකයන් නිතරම කීව කුනු, ඩිස්පොසබ්ල්ස් ඒ ඒ අදාල තන්වලට දන්න කියලා, කෝ ඈහුවද හෑම තෑනම විසි කරලා, ලස්සන කියන්නෙ හෑම කනුවක් යට හරි හෑම නොසෙල්වෙන දෙයක් යට, ලම්පු කනු යට හෑම තෑනම කුනු කදු, අන්තිමට නවත්තල තිබුනු බේබි ප්‍රෑම් එකක් වටේටත් ගොඩ ගහලා, මරෙන්නෙ හිනා.... ඔන්න බලන්න මානසිකත්වය තියල තියන බින්ස් වලට දන්නවත් අපේ කස්ටියට ඔනෙකමක් නෑ, එකත් පහත් වෙන්න, හොයන්න වෙලවක් නෑ.....ඔක්කොම කුනු කාගෙ හරි ඈගෙ ගහන්න තම බලන්නෙ...

    ReplyDelete
    Replies
    1. එක තමයි සහෝදරයා ඇත්ත කතාව, කාටවත් මේ දේවල් හදාගන්න උවමනාවක් නෑ. ඒ දේවල් ඒ විදියට කරන්න උත්සාහ කරන්නෙත් නෑ.. ඇයි අප්පා අපේ ජාතියේ එවුන්ගෙ ඔලු වලට මේ දේවල් එන්නෙ නැත්තේ? වෙන මුකුත් නෙවෙයි නොහැදියාව සහ ආත්මාර්ථය. එහෙව් කාලකන්ණි හැතිකරයක් එක්කයි අපි ජීවත් වෙන්නෙ. කරුමෙ තමා ඉතිං...

      Delete
  25. කතා කරලා වැඩක් නෑ බං.. ලංකාවේ ඉන්නේ ඉතින් ලෝකෙම උනත් වෙනස් කරන්න කටින් ටෝක් කරන පොරවල්නේ.. ඒත් හරියට බැළුවොත් කිසි වැඩක් ඇත්තටම නොකරන එවුන්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, ලංකාවෙත් ඉන්නවා ඔය දේවල් හරියට කරන්න ඕනකම තියන විනයක් තියන මිනිස්සු. හැබැයි දැන් වෙලා තියන වැඩේ තමයි ඉස්මතු වෙන්නෙ අර හාල්පාරුවෝ ටික. ඒ නිසා සමාජය යන්න කැමති ඒ පැත්තටම තමයි. අන්න ඒ දේ වෙනස් වෙන්න ඕන.

      Delete
  26. අගේ ඇති ලිපියක්. මට තේරෙන අන්දමට මෙතන තියෙන්නෙ කුණු එකතු කිරීමේ යාන්ත්‍රනය නිවැරදිව ක්‍රියාත්මක නොවීමයි. එම යාන්ත්‍රනය හරියට හැදුවොත් ප්‍රශ්නය ටක්කෙටම ඉවරයි. අපි ඒ වෙනුවට කරන්නේ අපිට පුරුදු විධියට විවේචනය කිරීම විතරමයි.( අපේ මේ හැසිරීම අපිටම විතරක්විවේෂිතවූ පොදු දෙයක්.ඒ අපේ ජාන වල තියෙන සමුහාණ්ඩු ලක්ෂණ ඒ ගැන වෙනමම ලියන්න ඕනෑ)

    මා නවසීලන්තයේදී වින්ද අද්දැකීම තමයි එහෙ හැම ගෙදරකටම කුණු එකතු කරන්න පාට 3කින් යුත් මුඩිය වහලා තියෙන, අඩියේ පැත්තකින් රෝද දෙකක් දාල තියෙන භාජන 3ක් දීලා තියෙනවා. ඒවාට නිවැසියා මුදල් ගෙවන්න ඕනෑද නැද්ද යන්න මා දන්නේ නැහැ. මා දන්නේ මින් එක භාජනයක් සතිපතා ඉවත් කිරීමට නියමිත බවයි. ඒක බදාදා උදේ 5 ට රැගෙන යන්න කලින් දවසේ සවස පාර අද්දරින් තියෙන්න ඕනෑ. උදේ 5 ට කුණු එකතු කිරීමට එන වාහනය ඒකෙ තියෙන අඬුවක් වැනි උපකරණයක් ආධාර කර ගෙන භාජනය වාහනය මතට ගෙන ඒකෙ තියෙන කුනුටික වාහනයේ අදාළ කොටසට හලලා, ආපසු ඒ භාජනය පාර අයිනේ තියෙනවා. නිවසියාට තියෙන්නෙ ඒ බාජනය ආපසු තම ගෙවත්තේ නියමිත තැන තබන ඒක විතරයි. සති දෙකකට වරක් එකත් කරන භාජනයට සිදු වෙන්නෙත් මේ ක්‍රියාවලිය තමයි. භාජනය පාර අද්දර තිබ්බේ නැත්නම් කුණු ලොරිය එහෙමම ඊළඟ ගෙදර ගාවට යනවා. මම මේක හොඳින්ම දන්නේ මා නවසිලන්තයේ සිටි මුළු කාලය තුලදීම මගේ කැමැත්තෙන්ම මේ කුණු භාජන නිවසින් එලියට තැබීම හා ආපසු ගැනීම කල නිසයි. අනෙක මා දුටු හොඳම කාරණය වන්නේ උදේ සාමාන්‍ය ජනයා තම කටයුතු වලට පාරට බහින්න පෙර කුණු ඉවත් කිරීමේ කටයුතු කෙරෙන බවයි. කුණු එකතු කරන්නේ වැසුනු වාහන මගින්ම නිසා කුණු ප්‍රවාහනයේදී කිසිම අන්දමක දුගදක් එලියට එන්නේ නැහැ. මා අපේ රටේ කුණු එකතු කිරීම නවසීලන්තයේ කුණු එකතු කිරීම සමග සැසඳූ විට දුටු කරුණක් නම් නවසීලන්තයේ භාවිතා කල උපකරණම අපේ රටෙත් වැඩි වශයෙන් තිබෙන බවයි. මින් පෙනෙන්නේ නැත්තේ පහසුකම් නොව යාන්ත්‍රණය බවයි.
    මා මේ දිග විස්තරයලිව්වේ මා පිටරට ගියා කියල උජාරුවෙන් කියන්න නම් නෙමෙයි. මේ රටේ රාජ්‍ය නිලධාරින්, ඇමති වරුන් මහජන මුදල් භාවිතා කර, මට සිතන්න වත් නොහැකි සම්පත් භාවිතා කරමින් නිරන්තරයෙන් විදේශගත වෙනවානෙ. මේ අයට මට වඩා හොඳට ඒ ඒ රටවලදී කුණු එකතු කිරීමේ යාන්ත්‍රනය දකින්න ඇතිනෙ.එසේම මේ blog ඒක බලන මට වඩා විදේශගත අත්දැකීම් තියෙන සහුර්දයන් මේ කුණු එකතුකිරීමේ යාන්ත්‍රනය දැකලා ඇති. මගේ ගැටලුව ඇයි මේ යාන්ත්‍රණය අපේ රටේ ක්‍රියාත්මක නොකරන්නේ කියලයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහත්මයා. ස්තුතියි අදහස් දැක්වීමට. ඇත්තටම අපෙත් සමහර ප්‍රදේශ වල ඔය විදියට කුණු වර්ග කරලා එකතු කරන්න වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ප්‍රයෝගිකව ඒ දේවල් වැඩි දවසක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. කුණු එකතු කරන පාර්ශවය ඔය වැඩේ දිගටම කරන්නෙ නෑ. මම මේ ලිපියේ සඳහන් කළා වගේ කුණු එකතු කරන මිනිස්සු දැන් කප්පම් ගන්න හුරු වෙලා. සල්ලි දුන්නෙ නැත්තං කුණු ටික ගන්නේ නෑ. අනිත් දේ තමයි අපේ මිනිස්සු හරි විදියට කුණු බැහැර කරන්නෙ නෑ. ටික දවසක් ඕක හරියට කරලා පස්සෙ ඒක අතෑරලාදානවා. මම නම් කියන්නෙ ඔය විදි දෙකම වෙනස් වෙන්න ඕන.
      අපේ මිනිස්සුන්ගෙ දුර්වලකමක් තමයි නීතියෙන්, සම්ප්‍රදායෙන් සහ ක්‍රමවේදයෙන් පිට පනින්න තියන කැමැත්ත. පෝලිමක් පැනල ඉක්මනට බඩු ගන්න එක ලැජ්ජාවට කරුණක් උනත් අපේ මිනිස්සු ඒ දේ සලකන්නේ වීරකමක් විදියට. කුණු ටික කොහෙහරි විසිකරලා එකෙන් නිදහස් වෙන එක සලකන්නේ හපන්කමක් විදියට. ඒ ක්‍රමයෙන් වෙනස් වෙන්න ඒ දේවල් වෙනස් කරන්න දිරි දෙන්න සහ පොළඹවන්න ජනමාධ්‍යයක් වත් තල්ලුවක් දෙන්නෙ නෑ. ඒ ආකල්ප වෙනස් කරන්න කිසි කෙනෙක් කතා කරන්නෙ නෑ. හැම දේම සල්ලි වලට කෙරෙන සමාජයෙ ඔය වගේ යහපත් ආකල්ප මිනිස්සුන්ගෙ ඔළු වලට දාන්න ඉඩක් වෙන් කරන්න කවුරුත් කැමති නෑ. දැන්වීම් සහ වෙනත් දේවල් වලට වෙන් කරන්න පුළුවන් ගුවන් කාලය සහ පත්තර වගේ දේවල් වල ඉඩ මේ දේවල් කියා දෙන්න වෙන් වෙන්නෙ නෑ. ඒවාට වෙන් කරන ඉඩෙන් උන්ට පුළුවන් වෙන සල්ලි හම්බකරන දෙයක් දාල සල්ලි ගරාගන්න. පොඩි ළමයින්ට ඔය දේවල් කියා දෙන්න ඉස්කෝල වල, පන්ති වල විතරක් නෙවෙයි ගෙවල් වල වත් කාලයක් වෙන් කරන්නෙ නෑ. ඒ දිරිගැන්වීම කරන්න යහපත් ආකල්ප පොඩි එවුන්ගෙ ඔළු වලට දාන්න යන කාලය ඉගනීමට විතරක් යොදවන්නයි හැමෝම බලන්නෙ. ඔන්න ඕකයි තත්වේ.
      ඔබතුමන්ලා ඉන්න රටවල ඔය වගේ ආකල්ප ඇතිකරන්න ඒ විනය ඇති කරන්න ජනමාධ්‍ය, පාසල් සහ රජයෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා ඇති. අපේ නොවෙන්නෙම ඒක.
      ප්‍රසිද්ධ ස්ථානයක වටේ විසිරිලා තියන කුණු ගොඩක් එකතු කරලා කුණු බාල්දියකට කව්රුහරි දැම්මොත් ඔබේ රටවල මිනිස්සු එකට එකතු වෙලා ඔවුනුත් එකට දායක වේවි. ඒ වැඩේ අගය කරාවි. අත්පුඩි ගසාවි. අපේ රටේ ඔය දේ කවුරුහරි කලොත්? වටේ බලන් ඉන්න එවුං හිනා වේවි. ඒදේ කල පුද්ගලයා පාච්චල් කරාවි. ඔන්න ඕකයි අපේ එවුන්ගෙ ආකල්ප. ඒ ආකල්ප වලට බනින්නෙ නැතුව කොහොමද?

      Delete
  27. ඕක අපේ ජානවල තියෙන එකක්ද කොහෙද බං..මම බොට කථාවක් කියන්නං...මෙදා පාර අපේ අවුරුදු උත්සවය වෙලාවෙ ‍ලියාපදිංචිය කරපු තැන අපේ කෙල්ලො කොල්ලො පොරකනවා මේසෙ වටකරගෙන...එතන හිටිය මැලේ පොලිස් නිලධාරිනියක් මට කිව්වා ඇයි පෝලිමක් හදන්න බැරි මේක කරන අයට පහසුයිනෙ කියලා...මම ඉතින් එයාගෙ සහ තවත් නිලධාරියෙකුගෙ සහාය අරගෙන පෝලිම් දෙකක් හැදුවා...විනාඩි 5 ක් ගියේ නෑ...තත්වය පෙර පරිදිම උනා. අර නිලධාරිනිය හිනා වෙලා මට ආයෙමත් මුන් පොරකන හැටි පෙන්වනවා...මම කිව්වා ලංකාවෙ අයට ඔහොම තමයි හුරු කියලා...ඒ ගෑනි මහ හයියෙන් හිනා උනා. මෙහෙ කෝච්චියට නගින්න ඉස්ටේෂන් වල සෙනග ස්වේච්ඡාවෙන්ම පෝලිමේ ඉන්න හැටි දැක්කම ඒ වගේ විනයක් අපේ රටක ඇයි හදන්න බැරි කියලා මට අනන්තවත් හිතිලා තියෙනවා...මේක අධ්‍යාපනය පිළිබඳ ගැටලුවකුත් නොවෙයි.

    ගෝල්ෆේස් එක දැන් ගන්න දෙයක් නෑනෙ බං සජ්ජා...මේකෙ තණකොට හිටෙව්වෙත් කෝටි ගානක් වියදම් කරලා නේද...

    ReplyDelete
    Replies
    1. සිරා... පිළිතුරු දෙන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් සමාවෙන්න. ටිකක් කාර්යබහුල උනා.. ඒ ගමන්ම පෝස්ටුවක් ලියාගෙනයි බ්ලොගට බැස්සෙ..
      අනේ මන්ද මෙව්වා ජාන වලින් එනවද කියල. සත්තු වගේ අපේ එව්වො. පෝලිමක ඉන්න දන්නෙ නෑ සහ පෝලිම් පැනල වැඩක් කරගත්තම එක ලොකු දෙයක් විදියටයි සලකන්නේ. ඒ දේවල් වල අගය කියා දෙන්න තැනක් නෑ.කවුරුවත් ඒ දේවල් කියාදෙන්න උනන්දු වෙන්නෙත් නෑ. මොනවා වෙලාද මන්ද අපේ මිනිස්සුන්ට..
      ගෝල්ෆේස් එක මංගලගේ කාලේ ලස්සනට හැදුවට මම හිතන්නෙ පොට් සිටිය හැදුවොත් ගෝල් ෆේස් එකෙන් ඇති වැඩක් වෙන්නෙ නෑ... එහෙම උනොත් ඔතනට මොනවා වෙයිද දන්නෙ නෑ..

      Delete
  28. ගෙදරකින් එලියට එනකොට හැම එකාටම වැඳල එන එක තමයි සබ්යත්වය මෙහෙ.

    වට පිට ඉන්න එවුන්ගෙ කණ පැලෙන්න සද්දෙ නොදා ඉන්න එක, බස් එකකට පෙරලගෙන නගින්නෙ නැති එක, පස්සෙ එන එකාට දොර ඇරල අල්ලන් ඉන්න එක, කුණු හරි කන්ටේනර් එකට දාන එක ආදී අදිරාජවාදී බටහිර ගැති දේවල් මෙහෙ සදාචාරෙට අයිති නෑ.

    ReplyDelete
    Replies
    1. ගාන්ධි තුමා ඉන්දියාවේ හිටපු සුද්දන්ව අපහසුවට පත් කරන්න පාරවල් වලදී එළියේ මලපහ කරන්න ඉන්දියාවේ ජනතාව පෙළඹුවා.සුද්දෝ ඉන්දියාවෙන් ගිහිල්ලා වසර 60 කට වඩා වැඩි උනත් අදත් ඉන්දියාව පුරා පාරවල් වලදී එළියේ මලපහ කරන පුරුද්ද තියෙනවා .
      ඒ වගේ අපේ රටෙත් වැඩිහිටියෝ සුද්දන්ගේ පාලන ක්‍රමයට එරෙහිව විවිධ සිවිල් නීති රීති කඩකර තමන්ට උවමනා දෙය රහසින් කල නිසා ඒක අභාශයට අරගෙන අද රට තුල පවතින සිවිල් නීති රීති නොතකා හරින සිංහලයන් ඇති උනා වෙන්න බැරිද? කොහොමටත් මේක ගැඹුරින් බැලිය යුතු කරුණක්. මේ මාතෘකාව ගැන blog අවකාශයේ ලියවුනා මදි. ඒ වෙනුවට ලියවෙන්නේ පල්හෑලි.

      සමරසේකර

      Delete
    2. පමා වීමට සමාව භජනය කරනවා ප්‍රා... හරියටම හරියට කියල තියනවා. ඇත්ත. අපේ මිනිස්සු සභ්‍යත්වය කියල සලකන්නෙ ඒ දේවල් වලට විතරයි නම් තමා. අනේ මන්ද. මෙව්වා කවද හැදෙයිද.. වඳින්න උගන්නනවා මේවා හදාගන්න උගන්නන්නෙ නෑ...
      @සමරසේකර මහත්මයා... ඔබතුමාගෙ තර්කෙත් ඇත්ත වෙන්න පුළුවන්. ඕක යටත්විජිත වල පීඩිත මානසිකත්වයේ ඵලයක් වෙන්නත් පුළුවන්. අපේ මිනිස්සුන්ට රජයේ දේවල්, අවට පරිසරය අපේ කියල හිතන්න බෑ තාම.. එහෙම කල්පනා කලොත් ඒ තර්කය බොහොම සාධාරණයි...

      Delete
  29. දවසක රැකල ඉඳල අල්ලාගෙන කුණු කවන්න බං තියෙන්නෙ :-D

    ReplyDelete