රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්‍රහණ සැමරුම්



"ඊයෙ සම්පතා අපේ වත්ත පහල කජු ගස් ටිකේ හොරෙන් කජු අහුලනවා. වෙලාවට මම ගෙදර හිටියෙ. පොල්ලකුත් අරගෙන පස්සෙන් පැන්නුවා. අල්ලගන්න බැරි උනානෙ අපරාදෙ. යකෝ මුන් ඒ වෙලාවට දුවන්නෙ කඟවේන්නු වගේ.." අපේ ගමේ හිතවත් අයියා කෙනෙකු වසර ගණනාවකට කලින් කී කතාවක් ඒ. කතා නායකයාට "සම්පත්" කියලා නම දැම්මත් ඇත්ත නම ඒක නෙවෙයි.
 
දුප්පත්කම නිසාවට ඕ ලෙවල් වලින් ඉස්කෝලෙ ගමන නවත්තපු සම්පතාව ගමේ වැඩිහිටි මිනිස්සු සැළකුවේ රස්තියාදුකාරයෙක් විදියට. හවසට අපිත් එක්ක බෝල ගහපු ඒ ඉවර වෙලා කඩේ පැත්තෙ කවුරුහරි සිගරට් බොන මිනිහෙක් එනකල් "සිගරට් කොටේ" ඉල්ලගන්න හොරගල් අවුලපු සම්පතාව වැඩිපුර ආශ්‍රය කරනවට අපේ ගෙදර මිනිස්සුන්ගෙත් එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ. මොකක්හෝ අත් උදව්වක් ඕන උනු වෙලාවට සම්පතාව ගෙදර අඬගහගෙන ආවම ඌ දිහා පහන් හැගීමෙන් බලපු අපේ ගෙදර උදවියම "බෝල ගහන්න කතා කරන්න එන සම්පතා" දිහා බැලුවෙ නෝක්කාඩු සිතින්.

ඒ කාලෙ  යුද්ධෙ තියන වකවානුව. ඉස්කෝලෙන් අයින් වෙලා මෝටර් කාර්මික ශිල්පෙ හදාරන අතරෙ ඒ අනුසාරයෙන් හමුදාවට බැඳෙන ආසාව කොතෙකුත් හිතේ තිබ්බත් එහෙම උනා නං ගෙවල් වලින් මාව දරුකමෙන් අස්කරන තත්වයක් තිබ්බෙ. යුද්ධ හමුදාවේ යාන්ත්‍රික බලගණයට දෙවැනි ලුතිනන් පට්ටමක් එක්ක එකතු වෙන්න තිබ්බ අවස්ථාව අපේ ගෙදර උදවිය බැනුම් වරුසාවකින් ව්‍යාර්ථ කරලා දැම්ම. පවුලේ එකම එකා වෙච්චි කරුමෙ ගැන ඒ දවස් වල අනන්ත දුක් උනා මට මතකයි.
 

ඉස්කෝලෙ යන දවස් වල පන්ති වල ඉගෙනගනිමින් ඉන්න වෙලාවල් වලම බෝම්බ පිපිරෙන සද්දෙ අහපු අපට , කලබලයක් සිද්ධ වෙන දවසට හිස් වෙච්ච දෙමළ පන්ති දකින අපට , බැරියර් අස්සෙන් වංගු ගගහ ඉස්කෝලෙ ගිය අපට යුද්ධෙ ගැන ඒ තරම් ලොකු බයක් චකිතයක් තිබ්බෙ නෑ. ඒත් අම්මල තාත්තල අපි ඉස්කෝලෙ ගිහිං එනකල් පපු වල කොච්චර බිත්තර තම්බන්න ඇතිද කියල තේරෙන්නෙ දැනුයි. යුද්ධෙට යාගන්න බැරි වෙච්ච ඇරියස් එක ලාවට හරි කවර් කරන්න කීප වතාවක්ම ලේ දන් දුන්න මතකයි.

යුද්ධෙට යන්න තියන කාලකන්ණි ආසාව සහ ඒක කරගන්න බැරි වෙච්ච  නිසාවටදෝ මන්ද යුද්ධය සම්බන්ධ චිත්‍රපට, වාර්තා වැඩසටහන් වලට ඇබ්බැහියක්  අදටත් තියනවා. කල්‍යාණමිත්‍රලාගෙන් යුද්ධය ගැන වචනයක් ගන්නෙත් බොහොම අමාරුවෙන්. උන්ගෙ ටැක්ටික්ස් , අවිආයුධ ගැන බොහොම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දි ඉන්ටනෙට් එකෙන් බලාගෙන "ඩෝරා","ගන් බෝට්" ගැන අපි පොර ටෝක් දෙනවා.(පුදුමයි කල්‍යාණ මිත්‍රයා ඔය ලියන ටික වත් යුද්ධෙ ගැන ලියනවා. ඔය සම්බන්ධයෙන් ඇහුවම "කළුවරේ පොල් බෑය දික්කරන"ටයිප් හිනාව දාල මගාරින එකා ඔය) නවීන ආයුධ ,යුද්ධ උපක්‍රම ගැන කතාකරලා අපි පෙන්නන්නෙ  අපේ තියන හිස් කම තමයි ඉතිං. විචාරකතුමා සහ කමියා ලියන යුද්ධ ලියවිලි සහ ටියුටෝරියල් වලිනුත් ඒ හිස්කම පුරවන්න ට්‍රයි කරනවා මං. යුද්ධෙට ගියා නං පඩංගු ලියන සජ්ජෙක් නොඉන්නත් තිබුණ. යුද්ධෙ හැටි එහෙමයි.

මගෙ පොර ටෝක් ඇති. කෝ මේ සම්පතා?

දවසක් ඉගනීම් වැඩකට ගිහිං ගෙදර එනකොට සම්පතා අපේ ගෙදර ඇවිත්. වෙනදට ඌව සතේකට මායිම් නොකරපු අපේ මහ ජෝඩුව ඌත් එක්ක ලොකු කතාවක්. විස්කෝතු පීරිසියකුත් පෙරටු කරගෙන තේ එකකුත් මූ වෙනුවෙන් රවුම් මේසෙ උඩට වැඩලා. මේ මොන ප්‍රාතිහාර්යයක්ද? වෙනද සම්පතාට බණින අපේ ගෙදර එවුන්ට පිස්සු හැදිල වත්ද? මං ආව කියල වත් ගානක් නෑ.  කිට්ටු කරල බැලුවමයි වැඩේ මීටර් උනේ. සම්පතා "ආමි" එකට යන්න සාමවිනිසුරු සහතිකයක් ගන්න ඇවිත්. අපේ ජෝඩුවට වැඳලා "ගිහිං එන්නං" කියාගෙන එලියට බැහැපු සම්පතා දිහා ඒ දෙන්න බලාගෙන හිටියෙ පුදුමාකාර දයාබර හැගීමක් හිතේ තියාගෙන කියල මට දැනුනා. මගෙත් පපුව "හෝස්" ගාල ගියා. "යුද්ධෙට ගිය බොහෝ දෙනෙක් ආවේ පෙට්ටියෙන්" කියන තියරිය අපේ හිත් වල පැළපදියම් වෙලා තිබ්බ නිසා වෙන්නැති ඒ..

යුද්ධෙට ගිය සම්පතා කාලෙන් කාලෙට නිවාඩුවට ගමේ ආවෙ රජෙක් වගේ. කැමා ටීෂර්ට් එක ගහල සුද්දා වගේ ගෝල්ඩ්ලීෆ් එක ලෝඩ් කරගත්තු සම්පතාගේ යුධ වාර්තාකරණය අහන්න අපි හැමෝම ඌව වටකරගත්ත. වෙනද "ඕයි සම්පත්" කියල ඌව අමතපු ගමේ වැඩිහිටි මිනිස්සු කටපුරා ඌට "පුතේ" කියල කතා කළා. අපිත් ඌව දැක්කෙ "මහා වීරයෙක්" විදියට. ලස්සන කෙල්ලෙකුත් කොහෙන්දෝ උස්සගෙන ඇවිත් කසාද බැඳපු සම්පතා පොඩියට ලස්සනට ගේකුත් හැදුව. නිවාඩුවට ගමේ ආවම හැමෝඑක්කම සුහදව යුද්ධෙ ගැන කතාකරපු සම්පතා වටේම කරක්ගැහුවෙ උගෙ අළුත්ම "පල්සර්" බයිසිකලෙන්.
"වත්තෙ යනකොට දාන්න මාමෙ" කියල අපේ තාත්තට ජංගල් බූට් දෙකකුත් සම්පතා දීල තිබ්බ.  සම්පතාගෙන් ඉල්ලගත්තු කැමා ටීෂර්ට් එකක් පාරෙ ඇඳන් ගිය කොල්ලෙක්ට  , පොලිසියෙන් "ඔව්ව ඇඳගෙන බෝක්කු උඩ බීඩිය ගහල ඇඳුම පාච්චල් කරන්නෙපා යකෝ" කියල  කණේ පාරකුත් දීල කමිසේත් ගලෝල තිබ්බ මතකයි. 

 පොඩි පිහි තලයක් හදාගන්න ඒකෙ මිටට ගහන්න   "ෆයිව් සීරෝ" හිස් කොපුවක් ඉල්ලගන්න සම්පතා පස්සෙන් ගිය කොළු කුරුට්ටෝ ඒ දවස් වල ඕන තරම්.ඌ සාක්කුවෙ තිබිල ඇදල අරගෙන පෙන්නපු "රම්බෝ පිහි" අපිත් ආසාවෙන් අරගෙන බැලුව. උගෙ ගෙදර සාලෙ ආමරියක් වගේ. පොඩි උණ්ඩේ පටන් කාලතුවක්කු උණ්ඩය දක්වා "V" ශේප් එකට පෙළගස්සපු හිස් පතරොම් කොපු දිලිසෙන්න පොලිෂ් කරලා එව්ව උඩට ලී උණ්ඩ සෙට් කරලා .ඒ කාලෙ කවුරුහරි සිගරට් එකක් බොනකල් බලන් ඉඳල කොටේ ඉල්ලන්න කඩේ ගාව හොරගල් අවුලපු සම්පතා පසුකාලීනව වටේ ඉන්න කොල්ලො කුරුට්ටන්ට ලෝබ නැතුව ගෝල්ලිප් පැකට් එක දික් කරන්න පුරුදු වෙලා තිබ්බ මතකයි. සම්පතා ගමේ ගෙවපු ෆැබියුලස් ජීවිතේ දකිද්දි "සූසා කොටියෙක්ගෙ" මිෂන් එකට කලින් ප්‍රභාකරන් එක්ක එකට ගනිපු "අසදෘශ ඩිනර් එක" ගැන හිතට නොආවාම නෙවෙයි.
 


කොහොමින් කොහොමින් නමුත් ජීවිත ලක්ෂ ගානක් මැද්දෙන් යුද්ධෙ ඉවර උනා. සම්පතාලා යුද්ධ වීරයෝ උනා. විපක්ෂයේ උන් ඉරිසියාවේ පැලෙද්දී, යුද්ධයේ ආඩම්බරකාර පියවරු පපුවට තඩිබාගනිද්දී , ෆෝසස් තුනේ ලොක්කෝ තරු පටි ගහගනිද්දි, රටේම මිනිස්සු රතිඥ්ඥා පත්තු කරද්දි සම්පතා පැත්තකට වෙලා ඒ දිහා බලා ඉන්න ඇති. උගෙ වෙලාව හොඳකම නිසාවට අතපය හතර අඩු නැතුව යුද්ධෙ ඉවරයක් දකින්න ලැබුනත් ඒ දේවල් අහිමිවෙච්ච කොල්ලො, තමුන්ගෙ මිනිහ නැති වෙච්ච ගෑණු, තාත්තා නැති වෙච්ච ළමයි ,  ඒ හැමෝම එදා මුහුදට යවපු "හිස් මල්ටිබැරල් රවුන්ඩ්ස්" දිහා ආසාවෙන් සන්තෝසෙන් බලන් ඉන්න ඇති. ආ... එච්චරකල් පටි තදකරගෙන හිටපු අපිත්...

ආයෙත් දවසක මං  කොහේදෝ ගොහිං ගෙදර එන වෙලාවක මෙන්න ආපහු සම්පතා අපේ ගෙදර රවුම් මේසෙ ඉස්සරහ තාත්තත් එක්ක. "හමුදාවෙන් අස් උනා, ජෝබකට යන්න මාමගෙන් සහතිකයක් ගන්න.." . යකෝ මූට පිස්සුද? යුද්ධෙ තියනකල් මරණය පෙනි පෙනී යුද්ධ කරපු එකා.. හොඳට ආතල් එකේ ඉන්න පුළුවන් කාලෙ එකෙන් අයින් වෙනවා. "උඹට පිස්සුද?" . "බේසික් එක විතරයි අප්පා, "මරබිය දීමනා"( ක්‍රියාන්විත රාජකාරි දීමනාව වෙන්ටැ) , අන්ලිමිටඩ් යුනිෆෝම්, සිගරට් , ඇපල්, මිදී, සැළකිලි මුකුත් නෑ. උදේ ඉඳන් රෑ වෙනකල් එක එක වැඩ. කුළී කාරයො වගේ .. ඊට වඩා හොඳයි රස්සාවක් කරනවා ". 

ඔන්න රණවිරුවාට උදාවෙලා තියන තත්වෙ. මරණය පෙනිපෙනී අවුරුදු ගානක් යුද්ධ කරපු එකාට යුද්ධෙට අයිතිවාසිකම් කියන මහඑවුන්ගෙ සැළකිල්ල.  සම්පතා පොඩි ජොබක් කරනව දැන්. ඉස්සර තරමට කලඑළියට නැතත් ඌ යාන්තම් ලෙවකාගෙන ජීවත් වෙනව. තාමත් මහඑකාල යුද්ධෙ ගෞරවේ බෙදාගන්න වලි කනව. අවුරුද්දකට සැරයක් යුද්ධටැංකි, කෆීර් ඇරලා කොඩි උස්සල පැයගණන් වරුණාව කියවනව. සමහරු ඉටිපන්දම් පත්තු කරනව. පත්තර වල මහා ඉහළින් පොල්ගෙඩි අකුරෙන් "රණ විරුවෝ" ගැන මතකසටහන් තියනව. 

සම්පතාල ....තුට්ටු දෙකට වෙන රස්සාවල් කරනව. අතපය කඩාගත්ත කොල්ලො, රෝද පුටුවල නළුනිළියෝ බාගෙට හෙළුවෙන් උපන්දින සමරන්න රණවිරු සෙවණට එනකල් ආසාවෙන් බලන් ඉන්නව.( හැබැයි උන් ගියාට පස්සෙ ඒ ජවුසන්  බලල ස්වයං වින්දනේ යෙදෙන්න වත් සමහරුන්ට අත් නෑ..)  මැරිච්ච කොල්ලො පස් යට දිරද්දී උන්ගෙ අඹුදරුවො උඩ බලාගෙන හූල්ලනව, හමුදාවල ඉන්න කොල්ලො? අගල් කපනව, බත් විකුණනව, රේස් පදින්න වැලි කොට්ට ගහනව, පාරවල් අතුගානව.
 
වරෙව් රණවිරු සැමරුමට. අරං වරෙන් ඉටි පන්දමක් ගෙනත් පත්තු කරලා ගහගනිල්ලා *කේ . ගනිං ජාතික කොඩිය .. රෝල් කරලා ඒකත් ගහගනින් *කේ . රෙද්ද පල්ලෙන් බේරෙන යුධජයග්‍රහණ සැමරුම්... රණවිරු සෑ හැදුවට , ස්මාරක හැදුවට, උත්සව තියල සිහිපත්කළාට වැඩක් තියනවද? "ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන්" කියල වචනෙන් වචනෙට කියවන , පපුවට ගහගන්න, විජයග්‍රහණයට අයිතිවාසිකම් කියන යුද්ධෙ කරපු කොල්ලො වෙනුවෙන් මොනවද කළේ ? යුද්ධෙන් පස්සෙ ඒ යුතුකම් හරිආකාරව ඉටුවුණාද? එහෙම වෙනව නම් ඇයි කොල්ලො හමුදාව අතෑරල යන්නෙ? මැරුණු කොල්ලන්ගෙ ගෑණු දරුවො ගැන හරිආකාරව හොයල බලනවද? යුධමානසිකත්වය නිසා මානසික ආතතියට පත්වෙච්ච සෙබළුන් පුනරුත්ථාපනයකිරීම වෙනුවෙන් මොකක්ද ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල? ඉතුරුවෙලා ඉන්න උන් ටික රඳවාගන්න උන්ගෙ තත්වය උසස් කරන්න මොනවද කරල තියෙන්නෙ?

 කොටි සැමරුම් මර්ධනය කරන්න කලියෙන් , අපි අපේ එවුන්ට සලකල ඉන්න ඕන. දේශපාළුවෝ යුද්ධෙ දිනපු දවසෙ ඉඳන් මේ වනතුරු ඒ ජයග්‍රහණය වේසකමේ යැවුවා මිසක් උන් වෙනුවෙන් කරපු ඇති ලබ්බක් නෑ...

95 comments:

  1. යුද්දේ කරපු එවුන්ට නොසැලකුවාට කොළඹ ඉදන් යුද්දේ කරලා සැපට ඉන්න එවුන් පපුවට ගහගන්න කොට,කොල්ලෝ දහස් ගානක් ජීවිතපූජා කරලා අල්ලගත්තු ග්‍රවුන්ඩ් එකට ස්කොඩ් එක පිරිවරාගන චොපර් එකෙන් බැහැලා පොටෝ ගන්නකොට,යුද්දේ කරද්දි දෑත ශක්තිමත් කරන්න ඕනේ කියලා පිල්මාරු කර කර කොමිස් ගහනකොට,අනික්වුන් පැය ගනන් ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්නකොට ට්‍රැෆික් එක වැඩිකරගන ස්කොඩ් එකත් එක්ක පාරේ අනිත් පැත්තෙන් යනකොට දැනෙන සැප උඹ දන්නේ නෑ.ඒකයි උඹ ඔහොම කියන්නේ.

    ඇත්ත.අපි ඒ කාලෙත් එච්චර ගනන් නොගත්තට යුද්දේ නිසා පාරක තොටක නිදහසේ යන්න බැරි යුගයක් තිබුනා තමයි.හැබැයි අපිට තිබුනේ ඒ බය විතරයි.ඒත් යුද්දෙට ගියපු තමන්ගේ පුතා ආපහු ඇවිදගන ගෙදර එයිද,තමන්ගේ සැමියා දරුවගේ ඉඳුල්කටගෑමේ උත්සවයට එයිද,තමන්ගේ තාත්තා මේ පාරවත් අවුරුද්දට ගෙදර එයිද කියලා බලාහිටපු තවත් කට්ටියක් මේ ලංකාව ඇතුලෙම හිටියා.එහෙම බලා හිටපු මිනිස්සුන්ට යුද්දේ ඉවර වුනහම දකින්න වුනේ මොකද්ද?මහ එවුන්ගේ පුතාලට රේස් පදින්න වැලි කොට්ට උස්සන,මහ එකාලගේ නම පවතින්න හදන සෑයවල් වලට ගඩොල් කපන ,මිස්ටර් ක්ලීන් කියන ප්‍රතිරූපේ පවත්වාගන යන්න පාරවල් සුද්ද කරන,ලොරි වලින් ගිහින් එලවළු විකිණන තමන්ගේ දරුවන්ව.ස්වාමියාව.තාත්තව.ඒ අස්සේ ඒ මිනිස්සුන්ගේ කර උඩින් යුද්දේ දිනලා තමන් කරපු දෙයක් වගේ පාරට්ටු කතා කියන අප්පච්චිල නිසා ඒ මිනිස්සු කොච්චර මානසිකව කඩන් වැටෙන්නැද්ද?
    මම කියන්නේ නෑ යුද්දයක් නැති කාලෙකත් සෙබළුන්ව බැරක්ක වලට හිරකරගන බදු මුදල් වලින් වැටුප් ගෙවන්න ඕනේ කියලා.ඒත් ඒ මිනිස්සුන්ව යොදවන්න ඕනේ යම්කිසි වෘතිමය සුදුසුකමක් ඇතිකරගන්න පුළුවන් රාජකාරියකට මිස කුලී වැඩට නෙමෙයි.තමන්ගේ පවුල සහ තමන් ගැන විතරක් හිතන පාලක පැලන්තියක් ජීවත් වෙනකන් ඒවා හීන විතරක්ම වෙයි හැමදාම.සෙබලා නිකන්ම නිකන් ආමිකාරයෙක් විතරමයි ඒ රට ඇතුලේ.

    ReplyDelete
    Replies
    1. දිග වැඩිවුනාද මන්දා....

      Delete
    2. යුද්ධය මෙහෙයවන්න නායකත්වය වගේම සෙබලාගේ භූමිකාවෙන් ලැබෙන දායකත්වයත් අවශ්‍යයි.. උඹ කිව්වා හරි . චොපර් එකෙන් බැහැල දෙන පොර ටෝක් එකේ අන්තර්ගත උනේ තමුන්ගෙ ලොකුකම් දක්ෂතා ගැන වර්ණනාවක් මිසක් ඒ භූමිය රැකගන්න මැරුණු දහස් ගණන් කොල්ලන් වෙනුවෙන් නැගුනු වචන නෙවෙයි..
      මම අහල තියනවා යුද්ධය ප්‍රකාශයට පත් උනා කියල ඇහුවම සොල්දාදුවන් ඉතා සුළු පිරිසකට කලිසමේ මුත්‍රා පහවෙනවා කියල. සියයට දෙකක පමණ ප්‍රමාණයක් ජීවිතය ගැන නොතකා මරාගෙන මැරෙන්න යුද්ධ කරනවා කියල. ඉතුරු කොටස ජීවිතයත් රැකගෙන යුද්ධ කරනවා කියල. මට කව්දෝ කිව්වා යුධ පෙරමුණේ ඉන්නකොට ඔලුවට අඟලක් දෙකක් උඩින් "සිං, සිං" ගාල උණ්ඩයක් දෙකක් යද්දි මානුෂික හැගීම් ඔක්කොම නැතිවෙලා එහා පැත්තෙ ඉන්න උන් ඔක්කොම මරන්න හිතෙනවා කියල. යුද්ධෙ භයානක කම ඕකයි. එකට ඉන්න එකාගෙ මොළ කුඩු වෙන්න වෙඩි වදිද්දී හිතට එන හැගීම, බෝබ්ම ෆීල්ඩ් එකක් උඩින් යද්දි එන මානසිකත්වය , මෝටාර් කාලතුවක්කු වරුසාවකට මැදි උනාම දැනෙන හැගීම මුදලකින් පඩියකින් මනින්න බෑ. අඩුම තරමින් එක වත් කරන්න ඕන. ඒ නිසි තැන දෙන්න ඕන. රණවිරු උත්සව තිබ්බට වැඩක් නෑ ඒ විදියට සලකන්නෙ නැතුව.උඹ කියන කතාව හරියටම හරි. අපේ හිත් වල ඒ දේවල් තිබ්බට පාලකයන්ගේ හිත් වල ඒවා තියනවද?
      ආමි කොල්ලන්ට කැමා යුනිෆෝම් එකට තිබ්බ ගරුත්වයටත් ඉස්සර හිටපු මහා රජා කෙලියා. ආමි කොල්ලො දම්මල සිවිල් මිනිස්සුන්ට වෙඩි තිබ්බ. "අපි බෝධි පූජා තිබ්බේ උඹල වෙනුවෙන් , ඇයි අපිට ගහන්නේ?" කියල මිනිස්සුන්ට අහන්න සැලැස්සුව. අන්න එහෙමයි යුද්ධෙට අයිතිවාසිකම කියපු මහ එකා කොල්ලන්ට සැළකුවේ.ඉස්සර මොකක් හෝ දෙකට ටිකට් එකක් විකුණන්න ගෙදරට ආපු ආමි කොල්ලන්ට අපි තේ එකක් දීල ටිකට් එකක් ගත්තෙ. පොලිසිය බලු, ආමි කාරයෝ මරු අදහස මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බේ. මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ ඒ ගරුත්වය නැති කළා . උන්ට රේස් පදින්න වැලි කොට්ට ගහන්න දෙනෝදාහක් බලා ඉන්දෙද්දී නගර වලට ආමි කොල්ලො දැම්මෙ. ඒ ඔක්කොම කරලා තවත් එනව යුද්දේ නම්බුව ගන්න.
      දිග වැඩි නෑ බං. මෙව්වා ගැන කතාකරන්න ඕන...

      Delete
  2. උඹ බොක්කෙන්ම ලියලා තියනවා. ආදරය දුක වේදනාව කෝපය ඔක්කොම මෙතන තියනවා.

    මෙහෙමයි සජ්ජෝ වැඩේ. අපෙන් රටට මිසක් රටෙන් අපට කියලා හිතන්න ගියොත්, බලාපොරොත්තුවෙන්න ගියොත්, වැඩේ වල් වෙනවා. හමුදාව එපාවෙනවා. පවතින තත්වයට මුහුණ දෙමින් ගැලවිජ්ජාවෙන් සිටීම තමයි නියම ගේම් එක. යුද්දෙන් පස්සේ හමුදාවේ සෑහෙන පිරිසක් විශ්‍රාම ගත්තා. අකමැත්තෙන් නෙවෙයි. දැන් ගෙදර යන්න හොඳම කාලය කියලා හිතලා.

    යුද්දේ පැවතුණු කාලේ දුන්න හැම පහසුකමක්ම අදත් දෙන්න බැහැ. වියදම අධිකයි. රටේ ණයබර අධිඅකයි. ඒක පහුගිය ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් වලංගුයි. ලොක්කන්ගෙත් පහසුකම් සෑහෙන්න කපලා තියෙන්නේ. (පහුගිය ආණ්ඩුවේ හොරකම් වෙනම කතාවක්)

    යුද්දෙන් දිනලා තරු පටි ගහගත්තේ ලොක්කෝ විතරයි කියන එකනම් වැරදියි. කොල්ලන්ට ගොඩාක් ප්‍රමෝෂන් ලැබුණා, වීර පදක්කම් ලැබුණා, දීමනා ලැබුණා. දරුවන්ට නොයෙක් ආධාර උපකාර ලැබුණා. ඉඩම්, ගෙවල්, ලැබුණා.

    හැබැයි මදි. ආබාධිත එවුන්ට මහා කැලෑ වල ඉඩම් දීලා තියෙන්නේ. උන්ට යන්න එන්න බැහැ ඒ තැන්වලට. උන්ගේ ළමයින්ට අනාගතයක් ඕනේ. උන්ට ක්ලිනික් යන්න වාහන දෙන්න ඕනේ. ඒවා අනිවාර්යයෙන් කලයුතු වැඩ. ආබාධිතයන්ට පදවන්න පුළුවන් වාහනයක් උන්ට ඩියුටි ෆ්‍රී ගන්න දෙන්න ඕනේ. බෑන්ක් ලෝන් ගන්න දෙන්න ඕනේ. හැබැයි සජ්ජෝ දැනටත් සමහරු බැංකු වලට පොලු තියලා. දුප්පත්කම නිසා වෙන්නත් පුළුවන්. නමුත් ඒ නිසා අනික් එවුන්ටත් ණය ගන්න බැරි තත්වයක් උදාවෙනවා.

    විශ්‍රාම යන්න අවුරුද්දක්වත් තියෙද්දී උන්ට ඒ බව අවධාරණය කරන්න ඕනේ. නැත්තං ග්‍රැටිවිටි එකෙනුත් පිස්සු කෙලිනවා.

    හැබැයි සජ්ජෝ අවුරුදු 22 ක සේවාකාලයක් තියන සොල්දාදුවෙකුට හොඳ පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඉතින් තව පොඩි ජොබ් එකක් හොයාගත්තම ජීවිතේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. උඹ ඒ කලේ යන්න හදලා තියෙන්නේ ශ්‍රී ලංකා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට. Sri Lanka Electrical and Mechanical Engineers Regiment = SLEME එකේ ඒ තරම්ම ලොකු යුද්ධයක් නැහැ. නමුත් පෙරමුණට යන්න වෙනවා. කෙලින්ම සටනට යවන්නේ නැහැ.

      Delete
    2. විචාරකතුමා... ඔය සම්බන්ධයෙන් හොඳට දන්න සහ අත්දැකීම් ඇති පුද්ගලයෙක් විදියට ඔබතුමා කියන දේවල් පිලිගන්නවා. ඔය කියන තරං දෙන්න බෑ. එක හරි. මෙව්වා ලැබෙයි අරව ලැබෙයි කියා කියා හිතාගෙන යුද්ධ කරන්නත් බෑ. ඒකත් ඇත්ත. ඒ උනාට මගේ අදහසේ හැටියට නං දීල තියන සහ හම්බවෙලා තියන දේවල් මදි. විශේෂයෙන් මර බය දැනුනු සහ එයින් පීඩාවට පත් වෙච්ච කොල්ලන්ට.
      හමුදාවේ සේවය කල සහ එයින් පැනල ගිය උදවිය රටේ අපරාධ වලට වැඩි වැඩියෙන් එකතු වෙන්න එක හේතුවක් විදියට ඔය සැළකිලි මදි වීමත් හේතුවක් කියල මම හිතනවා. ඇෆ්ගන් යුද්දෙට අවුරුදු දෙකක් ගිය සොල්දාදුවටත් මානසිකත්වය හදන්න ඇමරිකන් කාරය කවුන්සලින් කරනවා. අවුරුදු තිස්ගානක් යුද්ධ කරපු අපේ කොල්ලන්ට එහෙම දෙයක් හරි ආකාරව වෙනවද?
      මම නම් හිතන්නෙ නෑ
      යුද්ධයට යන සොල්දාදුවා කිසිවක් බලාපොරොත්තු නොවී රට වෙනුවෙන් ඒක කළා. වෙන මුකුත් ඕන නෑ තියරිය දැම්මොත් ඕක ඔය විදියටම පාලනාධිකාරියටත් අදාලයි.රටේ නායකයාටත් අදාලයි. රටේ නායකයා සහ අනෙකුත් අදාළ පාලනාධිකාරි වල වගකීම තමයි රට ආරක්ෂා කරන එක. ඒත් යුද්ධෙ කලාට පස්සෙ උන් ක්‍රෙඩිට් එක ගන්නවා, දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් එක යොදාගන්නවා.උන්ට ඒක ඕකේ. සොල්දාදුවා නිකන්ම රට නිසා එක කරන්න ඕන. එකට ක්‍රෙඩිට් ඕන නෑ. හරි අසාධාරණයි..
      විචාරකතුමා , ඒ කාලේ ඔටෝමොබයිල් සීන් එකේ ඉන්නකොට අපේ සෙට් එකකට ආමි එකෙන් ඇවිල්ල කතා කළා වසර දෙකක චීනයේ යුධටැංකි කාර්මික පුහුණුවක් එක්ක හමුදාවට බඳවාගන්න උප ලුතිනන් නිලයක් සහිතව. ඒ කිව්ව රෙජිමේන්තුවෙන් වෙන්ටැති...ඒ රෙජිමේන්තුව ගැන නම් මතක නෑ ඇත්තටම..

      Delete
    3. ඒ කියන්නේ අවුරුදු ගාණක් යුද්ධය යන බව දැනගෙන ඉඳලා තියෙනවා.

      Delete
    4. වෙන්නැති රසික සහෝදරයා.. ගියා නං සමහරවිට යුද්දෙට ඉන්න වෙන්න තිබ්බේ අවුරුද්දයි..

      Delete
    5. සාජ්ජා............ විචාරක කියපු කතාව අැත්ත... කොළඹ ඉදගෙන කලර්බාර් දාගත්තු කොටසකුත් නොහිටියා නෙමෙයි... අද කවුරුත් ඒන්නැති තනතුරු වල පැල් බැදගත්තු කට්ටිය නොහිටියා නෙමෙයි... ඒත් යුද්ධයට දායක වුණ බොහොමයක් දෙනාට බොහෝ දේවල් ලැබුණා.... ඔවුන්ට සැලකුවා.... හමුදාව තුළ සාම කාලයකදී වැඩ කරන විදිහේ වෙනසක් තියෙනවා... ටිකක් නීති තද වෙනවා... නිදහස අඩු වෙනවා... දීමනා සහ පහසුකම් අඩු වෙනවා... ඒ යුද්ධයක් නැති වෙලාවක හමුදාවක් නඩත්තු කිරීමට ලොකු වියදමක් දාන්න බැරි නිසා.... හමුදාවම අාදායමුත් හොයා ගන්න වෙනවා සමහර දේවල් වලට.......

      Delete
    6. කුරුට්ටා... ඔය දේවල් මමත් පිලිගන්නවා . එහෙම ලොකුවට වියදමක් කරන්න බෑ තමයි යුද්දෙ නැති කාලෙට. එහෙම උනා කියල එපා වාහෙට හොදි බෙදන්නා වගේ අමුතු හැන්දකින් බෙදනවට පෞද්ගලිකව මම විරුද්ධයි. යුධ වියදම් කප්පාදු කරන ක්‍රමයක් තියනවා වගේම හමුදාව යොදවල ආදායම් මාර්ග හොයන ක්‍රමයකුත් තියනවා. ඒව ඒ ඒ නියමිත ක්‍රම වලට කරන්න ඕන. එහෙම නොකරනවා නං සන්දර්ශනත් නොතිය ඉන්න ඕන. මහලොකුවට රණ විරුවා රණ විරුවා කියකියා උන්ව වර්ණනා කරනව. එපා වාහෙට හොදි බෙදන තියරියෙන් උන්ට සලකනව. දෙකෙන් එකක් තෝරාගන්න ඕන. "රායිට්... යුද්දෙ ඉවරයි... නිදහස් උත්සවේ දවසට පැරේඩ් එකක් තියන්න කට්ටිය ඉතුරු වෙලා අනිත් උන් ටික පලයව්.. වෙන රස්සා හොයාගනියව් .. යුද්දෙ කරනවට තොපිට ඒ කාලේ ගෙව්වා. දැන් යුද්දෙ ඉවරයි .. ඔහොමම ඉද්දි පාරවල් අතුගානවද, කානු කපනවද, එහෙමත් නැත්තං මෙතනින් මකබෑවිලා යනවද කියල තොපිම තීරණේ කරපියව්" කියල ඒ විදියට කරල "රණ විරුවෝ කියල ජාතියක් නෑ , අපි ඔක්කොම මිනිස්සු.. උන් ඒ කාලේ යුද්දෙ කළා, දැන් යුද්ද නෑ.. දැන් රට හදන්න ඕන" කියල ඔව්ව විසිරෝල දාන්න ඕන.
      කුරුට්ටා කියන දේ මට තේරෙනවා.. කොස්ට් කටින් වලට යන්න ඕන.. ක්‍රමයක් ඇතුව..මේ හැමදේටම නිසි ක්‍රමවේදයක් ඕන...

      Delete
    7. ///යුද්දෙ කරනවට තොපිට ඒ කාලේ ගෙව්වා. දැන් යුද්දෙ ඉවරයි .. ඔහොමම ඉද්දි පාරවල් අතුගානවද, කානු කපනවද, එහෙමත් නැත්තං මෙතනින් මකබෑවිලා යනවද කියල තොපිම තීරණේ කරපියව්" ///

      මේක තමයි වෙලා තියෙන්නේ කියල උඹට පේන්නේ නැද්ද. කෙලින්ම නොකිව්වට කරන්න ඕනේ වැඩ ටික කිව්වට පස්සේ ඒකට අකමැති උන් අස්වෙලා යනවා.

      අමතක කරන්න එපා ඔවුන් අයත් වෙන්නේ රාජ්‍ය සේවක කියන ඝණයට බව.
      ලක්ෂ ගාණක හමුදා නිලධාරින් ප්‍රමාණයක් නිකම්ම උදේ හවා නිකන් හිටවලා තියන්න බැහැ. ඔවුන් කුමක් හෝ ක්‍රියාවකට යෙදවීම අත්‍යවශ්‍යයි.
      සාමාන්‍ය සෙබළුන් බහුතරයකගේ අධ්‍යාපන මට්ටම් අනුව ඔවුන්ව අනුයුක්ත කරන්න වෙන්නේ මොන වගේ වැඩ වලටද.
      ඔවුන් හට ව්‍යාපාරික හෝ එවැනි වෙනත් වැඩ කරන්න පවරද්දී පවා සෑහෙන බාධක තියෙනවා. අවම වශයෙන් රාජ්‍ය සේවයේ තියෙන නීති රෙගුලාසි අනුව ආමි එකෙන් කෑම කඩයක් හරි කරගෙන යන එක ගැන සතුටු වෙන්න ඕනේ.
      නමුත් ඔවුන්ගේ ශ්‍රමය වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධව එහෙම ගැටළුවක් නැහැ...

      /// "රණ විරුවෝ කියල ජාතියක් නෑ , අපි ඔක්කොම මිනිස්සු.. උන් ඒ කාලේ යුද්දෙ කළා, දැන් යුද්ද නෑ.. දැන් රට හදන්න ඕන" කියල ඔව්ව විසිරෝල දාන්න ඕන. ///
      උඹ මේවා කියන්නේ හිතට කොහෙන් හරි ආපු එහෙම නැත්නම් යම් යම් ආරෝපණ නිසා බල ගැන්වුණු ආවේගයක් නිසා...
      ප්‍රයෝගිකව කල්පනා කරල බලපන් මම පහළ කියන දේ ගැන...

      අවශ්‍ය ප්‍රමාණය මෙච්චරයි කියල තීරණයක් අරගෙන, ඒ ප්‍රමාණය ඉතුරු කරගෙන ඉතුරු උන්ව අස්කරලා දැම්මොත් මොකද වෙන්නේ. අස්කරන්නේ මොන කොට්ඨාශයද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
      උන්ට යන්න තියෙන එකම රස්සාව මොකක්ද. සිකියුරිටි ජොබ් එකකට හරි ගාමන්ට් හරි කම්කරු රැකියාවකට හරි නෙමෙයිද...
      උඹ කියන්නේ එක මීට වඩා නම්බුයි කියලද...

      Delete
    8. හරිම තාර්කිකයි ලොකු පුතා.. ඇත්ත.. අවසාන තර්කය හොම්බෙන් යන්නම දීල... හ්ම්ම් වෙන දෙන්න රස්සා නෑ ඒ මිනිස්සුන්ට... සම්පතා යන්නෙත් එහෙම එකකට තමා. මගේ කටට නිකංම ඉබ්බො වැටුන.. අපි කොච්චර කයිවාරු ගැහුවත් උන්ට යන කලදසාවක් නෑ. ඒකයි ඇත්ත. මරණය පෙනි පෙනී ඒ දේවල් වලින් පීඩා ලබපු මිනිස්සුන්ට අන්තිමටත් සැනසීමක් නෑ. මීවදේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්න මැස්සියෝ යම් තර්ජනයක් ආවම ඒ වෙනුවෙන් සටන් කරලා මැරිල යනව වගේ වැඩක්. ඒ දේ මේකටත් අදාළයි. රසික සහෝදරයා කිව්වා වගේ මගේ මට්ටමෙන් හිටිය නං සම්පතා යුද්දෙට යන්නෙ නෑ බොහෝවිට. යුද්දෙට ගිය සම්පතාලා දැන් නන්නත්තාරයි.

      Delete
    9. එක අතකට බැලුවම උන්ගෙ ස්වයං පාලනේ උන්ට දීල යුද්දයක් නොකර හිටිය නං ඉවරයි. අපේ උන්ට මෙහෙ වැඩ ටික කරගෙන ඉන්න තිබ්බ. එහෙ එව්ව පාලනේ කොරන්න මෙහෙ එවුං යවල ඒ යවන ඒකාල අන්තිමට බලාගන්නවත් බැරි අපි මොන කෙහෙල්මලකට යුද්ධ කලාද?

      Delete
  3. සිංහලයට සුමාන දෙකෙන් ඔක්කොම අමතකයි කියල ප්‍රභාකරන් කිව්වෙ ඕකනේ බං. යුද්ධෙන් මැරුණු ආබාධිත වුන සෙබළුන්ගෙ පඩිය පෙන්ෂන් එක විතරක් දීල මදි උන්ගෙ පවුල් නිසියාකාරව මොනිටර් වෙන්න ඕනෙ. නැත්තම් ඒ පවුල්වල පොඩි උන් ලොකු වෙන්නෙ රටට වෛරක්කාරයෝ විදියට. එතකොට උන්ගෙ මහ උන්ව යුද්ධෙට යවපු ආණ්ඩුම උන්ට ද්‍රෝහියෝ කියයි. මේක චක්‍රයක් ‍වෙන්න දෙන්න හොඳ නෑ

    ReplyDelete
    Replies
    1. මං කියන්නෙත් ඒකම තමා කිචී.. යුද්ධෙට ඇදල දැම්ම නං උන් ගැන බලන්න ඕන. අඩු ගානෙ උන් මැරෙනකල් වත්, මැරුණු කොල්ලන්ගෙ දරුවො ලොකු වෙනකම් වත්. අර කිව්වා වගේ උන් ලොකු වෙනකොට වෛරක්කාරයෝ වේවි නැත්තං.. ඒ දේවල් නොකර සැමරුම් තිබ්බට වැඩක් නෑ...

      Delete
  4. නිකම් පඩි ගෙවන්න කියලා මාත් කියන්නෙ නෑ. එහෙම කියලා පාරෙ කාණු කපන්න, වැලිකොට්ට අහුරන්න දාන එක අපහාසයක්. ඇයි බැරි මේ අයටත් කොටස් අයිතිය පවා තියෙන ආර්ථික ව්‍යාපෘති (කර්මාන්ත හා සේවා) ක්‍රියාත්මක කරන්න. එතකොට තමන්ටත් හිමිකාරත්වයක් තියෙන තැනක ආඩම්බරයෙන් රාජකාරියේ යෙදෙන්න පුලුවන් නේද මේ මිනිස්සුන්ට. අනික මේ අයගෙ කායික ශ්‍රමයේ කාර්යක්ෂමතාවයත් වෘත්තීය විනයත් හරි ඉහලයි. ආබාධිත අයට වුණත් කළහැකි රැකියා තිබෙනවා ඒ විදිහට.
    සජ්ජා විල්පත්තුව ගැන ලීව එක නැවත මතක් වුණා. මේකත් ඒ වගේ...නොපෙනෙන පැත්ත. නියමයි. වැඩිය හොඳ කියන්න නරකයි... අන්න මුරුංග ගහ... නැගපං අර පේන කරටියට.

    ReplyDelete
    Replies
    1. මද්දා සමාජවාදී වෙලා වත්ද?

      Delete
    2. මධුවගෙ අදහසට එක පයින්. ආමි කොල්ලො යක්කු වගේ වැඩ කරද්දී. එකා වගේ එකමුතු වෙලා වැඩක් කරන ෆෝසස් කොල්ලො එක්ක කාටවත් හැරෙන්න බෑ. ඒ වගේ ව්‍යාපෘති වලට ඔවුන්ව යෝදාගත්තට කමක් නෑ. හැබැයි අඩුගානෙ ඒ දේවල් වලට වැඩිපුර ගෙවන්න ඕන. යුනිෆෝම් එකේ ගෞරවය රැකෙන දේවල් වලට දාන්න ඕන. ආබාධිත කොල්ලො වැඩකරන "රණවිරු ඇපරල්" එක තියෙන්නෙත් අපේ පැත්තෙ තමයි. අන්න හොඳ වැඩ. ඒ වගේ දේවල් කරන්න ඕන. නැතුව කානු කපන්න කක්කුස්සි අදින්න උන්ව යොදාගන්න එක නෙවෙයි... තැන්කිවූ මධුවා. මුරුංග ගහේ කරටියේ ඉන්නෙ...
      @අජිත් අයියා... වචනෙන් අල්ලන්න පුළුවන් සමාජවාදියව නෙහ්.. හැක් හැක්...

      Delete
    3. //ඇයි බැරි මේ අයටත් කොටස් අයිතිය පවා තියෙන ආර්ථික ව්‍යාපෘති (කර්මාන්ත හා සේවා) ක්‍රියාත්මක කරන්න.// සමාජවාදී කතාවක් නේ මලේ. ආ වැරදුනා ලංකාවේ සමාජවාදියෝ කියන්නේ වෙන ජාතියකටනේ.

      Delete
    4. බොලේ හැබෑට අජිත් අයියෙ.. මධුවා එහෙම ටෝකක් නේන්නං දීල තියෙන්නෙ. අර කිව්වත් වගේ ලංකාවේ සමාජවාදේ කියන්නෙ සල්ලි තියන එකාගෙන් ගහල හරි ගන්න එකට නේ..

      Delete
  5. යුධ සංස්කෘතිය මොනවට කියා පාන නියම ළිපියක්.

    කොළඹ ළොකු ඉස්කෝල ගාව ත්‍රිවිධ හමුදාවෙම වාහන් පිරිලා ඉස්කෝළේ ඇරෙන වෙලාවට ළොකු ලොක්කන්ගේ රණ විරු පැටව් ගෙනියන්න. (මට පේන්නේ මේ පොඩි උනුත් යුද්ධ කරන්න ඇති, නැත්නම් මෙහෙම ෆැසිලිටීස් හම්බ වෙන්නේ නෑ නේ.) පිටකොටුවේ අත් වාරුවට බර වෙලා හති ඇර ඇර නැවති නැවති මළු කරේ දාගත්ත යුද්දෙට ගිහින් ඇස් හිස් මස් ලේ දන් දුන්න උන්. තව පිරිසක් උඹ කිව්වා වගේ කාණු සුද්ද කරනවා.

    එකාධිපතියන්ට බයේ මේවා ගැන එක පකෙක් කතා කලේ නෑ. මම හිතන්නේ යුද්ධය ඉවර උනා වගේම. එකාධිපති සහෝදර සමාගම ගෙදර ගියයින් පස්සෙ, උන් යුධ ජයග්‍රහණයට වඩා ජයග්‍රහණයක් ලබලා තියෙනවා. අර කාළකන්නින්ගේ ග්‍රහණයෙන් මිදීමෙන්.

    ReplyDelete
    Replies
    1. මාතලන් සහෝදරයා... ඒ වගේ බඩියන් එලවන හමුදා වාහන ගැන අපිට හොඳ එක්ස්පීරියන්ස් තියනවා නෙව. හමුදා ලොකු උදවියගේ නෝනමහත්තුරු ඉස්කෝල වල මුල් පුටු වල පැළපදියම් වෙලා ඉන්න එක අපි අත්දැකල තියනවා. ගුරු මාරු එහෙම ඒ උදවියට අදාළ නෑ. එක පාටින් සාරිය සාරි කටුව, මාලය, සෙරෙප්පු, හෑන්ඩ් බෑග්, ලිප්ස්ටික් කියුටෙක්ස් , කන්නාඩි ෆ්‍රේම් එක්ක උගන්වන මිස්ල අනන්ත හිටිය. හැබැයි එකක්. ඒ උදවිය ඩියුටිය කරනවා තිතට. හමුදාවේ ලොකු උදවියට ඒ වරප්‍රසාද ලැබුනට අපි මුකුත් කියන්නෙ නෑ. අර කිව්වා වගේ පිටකොටුවේ අත් වාරුවට බර වෙලා ඉන්න සෙබලගෙත් ජීවන තත්වය උසස් වෙන්න අවශ්‍යයි.
      ඒකාධිපතිත්වයට පස්සෙ කතාව ගැන එකඟයි. දැනුත් ගම් වල ඉන්න ෆෝසස් වල කොල්ලො කෙල්ලො ඒ ගැන ඇත්තටම සතුටකින් කතාකරනවා. ලොකු පීඩනයකින් ඒ දවස් වල ඉඳල තියෙන්නෙ. මම කිව්වෙ පශ්චාත් යුධ සමයේ. කමියගේ අර කවිය මතකද? ඒකෙන් බැලුවමත් ලොක්කෝ ඉද්දි උන් කියපුවා කරන්න ගිය පාපෙට කරගහන්න උනේ ෆෝසස් උන්ට.

      Delete
  6. මගේ කාර්්‍යලයේ ඉන්න මානව සම්පත් උපදේශක තුමියත් යුධමානසිකත්වය නිසා මානසික ආතතියට පත්වෙච්ච සෙබළුන් පුනරුත්ථාපනයකිරීම ගැන බොහොම කලකිරිමෙන් කතා කරනවා..
    උඔ වගේම මමත් හමුදාවට බැදෙන්න කැමෙත්තෙන් ඉදලා ඒ අවස්තාව අහිම වුන කෙනෙක්..සම්පතාලා හැම ගමකම ඉන්නවා වුන් කියන කතාව ඇත්ත බං.
    ලිපිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඇත්ත මෙන්ඩා, අපි ඔය වාර්තා වැඩසටහන් වල ෆිලුම් වල දකිනවා ඇමරිකාවෙ අනුන්ගෙ ලබ්බවල් වලට අතදාන්න අවුරුදු දෙකතුනක් පිටරට යුද්දෙට ගිය සොල්දාදුවන්ටත් වානසික අසහනය, ආතතිය සමනය කරගන්න කවුන්සලින් කරනවා. අපේ එහෙම එව්ව තියනවද? මන්ද? තියනවා නම් ඒ ගැන ප්‍රචාරය වෙනවා වත් දකින්නෙ නෑ. පශ්චාත් යුධ සමයේ ආපු අපරාධ රැල්ලට යුද්ධෙන් මිදුණු සොල්දාදුවන් සෑහෙන පිරිසකුත් වගඋත්තර කාරයෝ උනා. ඒ දේවල් වලට නිසි විදියට පිළියම් ලැබුණේ නෑ මම දන්න විදියට.
      උඹට වගේ දුක මටද දැනේ බං. හමුදාවට බැඳුන නං අද සමහර විට මෙන්ඩ නෑ. මාත් නෑ... කියන්න බෑ. කවුද දන්නෙ අපිත් කමිය වගේ පශ්චාත් පොරටෝක් දිදී ඉන්නත් තිබ්බ.(නිකමට කිව්වෙ, කමිය පොරටෝක් දෙන්නෙ නෑ ජීවිතේට, වචනයක් ගන්න අමාරුයි ඒ ගැන )

      Delete
    2. සමහර විට තද පෝස්ට් එකක

      Delete
    3. හිටපු ගමන් ලියනවා තමා ඉඳල හිටල.. මූලග්ගින්න තද උනාමද මන්ද .. හැක්...

      Delete
  7. දැන් බ්ලොග් එකේ උඩ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඉන්න ගමන් පෑනකින් කුරුටුගාපු එකක් මුද්දා(ඇනොපිලිස්) ලස්සන කොරල දාල... :D

      Delete
    2. දේශකයාගේ, V ගේ බිලෝග් රෝලට එල්ලපන්

      Delete
    3. රෝල මොඩිෆයි කරන්න කාලෙ හරි තමා. දැන් ෆලෝ කල පමණින් රෝලට එන්නෙ නෑ...ඒ ටික දාන්නම්..තවත් තියනව දාන්න ඒවා .. තෑන්ක්ක්ස් මතක් කලාට මෙන්ඩා...

      Delete
    4. මම උඔගේ රොල හරහා අනිත් බ්ලොග් වලට යන නිසා මේක අවශ්‍යයි.
      ස්තුතියි උඔට

      Delete
    5. උඹ මගේ රෝලෙන් බ්ලොග් වලට යනවා කිව්වම කාටද ආඩම්බර...

      Delete
  8. යුද්දෙ විකුණපු ලොකු එවුන් රණවිරුවන්ට සළකපු හැටි හොදට පැහැදිලි කරල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්ව ගැන කතා කරලත් බෑ ඉන්ද්‍රජිත්. ලේබල් ගහනවා.. නොකරත් බෑ සද්ද නැතුව ඉන්න...

      Delete
  9. ආමි එකෙන් අයින් උන තැනින් ඉවර කලානං කතාවක් හැටියට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇග්... හැලපතුමා හොම්බෙන් යන්නම දීල. හැමදාම මේවා ලියන්න හදනවා නෙවෙයි ඉතිං.. ඉන්දලහිටල මෙහෙම එව්වත් ලියන්න එපැයි හැලපතුමෝ... :D
      බලන්නකෝ ශෙෆාකි සහෝදරයා උදැල්ලක් දාල නොවැ ...හැක් හැක්...

      Delete
    2. හැලප තුමාට ඉස්තුතියි කියන්න අමතක උනා... අලී ෂෝයි කියන එව්වට විතරක් ඉස්තුතියි කියන ජාතියෙ එකෙක් නෙවෙයි මම. ගල් සහ මල් දෙකම එකසේ අගය කරනවා :D

      Delete
  10. \\\ කොටි සැමරුම් මර්ධනය කරන්න කලියෙන් , අපි අපේ එවුන්ට සලකල ඉන්න ඕන. දේශපාළුවෝ යුද්ධෙ දිනපු දවසෙ ඉඳන් මේ වනතුරු ඒ ජයග්‍රහණය වේසකමේ යැවුවා මිසක් උන් වෙනුවෙන් කරපු ඇති ලබ්බක් නෑ.../////

    එච්චරයි.....!
    +++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශෙෆාකි සහෝදරයා.... ඔය වැටවල් තමයි මේවා ලියන්න පොළඹවන්නේ....

      Delete
  11. "සම්පත්" වෙන මොනවත් මේ ලිපිය ගැන මට කියාගන්න බෑ සජ්ජො. අපිත් එක්ක අපේ ගමේ මේ කියන සම්පත් වගේම අපේ අම්මගෙ ,තාත්තගෙ කකුල් අල්ලල වැදල ගිය අතිජාත මිත්‍රය ( කුමාර සම්පත් ජයවර්ධන ) මුලතිවු සටනින් පස්සෙ අතුරුදහන්.
    මේවගේ දරුවන් අහිමි වෙච්චි පවුල් , අබාධිත වෙච්චි අය වෙනුවෙන් සුභ සාදන වැඩසටහන් සහ මනෝ උපදේශ සේවා වැඩියෙන් කරන්න ඕනෙ අවස්ථාවක කෝටි ගානක් වියදම් කරමින් සොල්දාදුවො සහ නිලධාරීන් ප්‍රදර්ශන බාන්ඩ ලෙස යොදා ගනිමින් කරන සංදර්ශන මටනම් අරහං.

    ReplyDelete
    Replies
    1. කම්මල මාධව සහෝදරයා... නැතිවුණු යාළුවා සම්බන්ධයෙන් කණගාටුව... මටත් ඔයවගේ අහිමි වෙච්ච යාළුවො නෑදෑයෝ ඉන්නවා.. ඒ මිනිස්සු කරපු දේවල් වලට අර්ථයක් නොදෙන එක තමයි තියන වැරැද්ද...
      ඔය සංදර්ශන බලන් ඉන්න එක අපිට නං ආතල්. නමුත් ඍජුවම ඔය ප්‍රශ්නය බලපාපු උදවියට ටීවී පොලවෙගහන්න හිතෙනවා ඇති. උන්ව බලාගන්න කවුරුත් නැති නිසා...ඒ දේවල් හදනවා නම් ඇත්තටම රණවිරු සැමරුම් තියන්න ඕන නෑ...mother's day අපිට ඕන නෑ වගේ.

      Delete
  12. මං ඉතින් මේකටත් වැඩිය මොකුත් කියන්න යන්නේ නෑ.. කපුට පොල් කනව වගේ විරිත්තන්නං.. (අහුවෙයන්කෝ තෝ..)
    උඹ වැඩිය ලියල නැති පැත්තක් ගැන විතරක් මං පොඩ්ඩක් මතක් කරන්නම්..
    මේ අනවශ්‍ය උත්සව මිනිස්සු අතර හිත් නොහොඳ කම් වැඩි කරනව. සනීප වෙන තුවාලෙක කබොළු කඩනව වගේ ඒ වෙලාවට පොඩි ආතල් එකක් තිබුණට ඔය ජයග්‍රහණ 'සමරණ්න' ගියාම වෙන්නේ පැරදුනු එකා වියරු වැටෙන එක. අනික මේ සමරන්නේ යුද්දෙ කරපු එව්වොද? කොහෙවත් හිටපු වට පඩයෝ ටිකක් සුදු ඇඳගෙන ටයි කෝට් දාල ගිහින් ඇත්තටම යුද්දෙ කරපු එවුන්ව මහ අවුවේ දවස් ගනන් හිටවල තියල රිලා නැටුම් බලල අත්පුඩි ගහන පොඩි එවුන් වගේ උන් සතුටු වෙනව. හමුදාවේ උන්ට එදා දවසත් එක ස්පෙෂල් ඩියුටි එකක් විතරයි. හමුදාවේ කී දෙනෙකුගේ එදාට නිවාඩු තහනම් වෙනවද කියල උඹ දන්නවද.. පෙරඩ් එකට බෑන්ඩ් එකට පුරුදු කරපු එකෙක් නම් ගෑනි මලත් නිවාඩුනම් යන්න බෑ පුතෝ. ඇයි VVIP ල පෙරේඩ් එක pull-up කරොත් මාර කේස් එකනේ.
    එතකොට යුද්දෙ වෙනුවෙන් මැරිච්ච එවුන්ගේ පවුල්වල කීදෙනෙක් අද නැතිබංගස්තාන වෙලා ඉන්නවද කියල උඹ දන්නවද? එහෙම එවුන් වැඩි දෙනෙක් අද ඔය උත්සව පෙන්නන වෙලාවට ටීවී ඕෆ් කරනව කියල දන්නවද?
    මොක්කු හරි කාලකන්නි ටිකක් යුද්දයක් පටන් ගත්තා.. උන්ටත් සාධාරණයි කියල හිතෙන හේතු තියෙන්න ඇති. ඒ කොහොම උනත් රටක් විදියට අභ්‍යන්තර ප්‍රශ්ණ විසඳ ගන්න ඒ ක්‍රමය නොගැලපෙන නිසා ආණ්ඩුවේ පඩි ලබන හමුදා දාල ඒ කැරලිකාරයෝ ටික විනාශ කරල දැම්මා. රට වෙනුවෙන් පඩියට හරි ඒ යුතුකම කරපු උන්ට කෘතගුණ සළකන ගමන් (මේ වගේ පඩ ෂෝ දාල නෙවෙයි..) වැදගත්ම දේ වෙන්නේ ආයි ඒ වගේ අවාසනාවන්ත තත්වයක් ඇති නොවන්න කටයුතු කිරීම.. එහෙම නැතුව ගිනි ගන්න ඇරල ගිනි නිව නිව.. නිවන්න ගිහින් මැරිච්චි උන් හොඳා..යි කියල වැඩක් නෑ.
    උඹ කියුවා වගේ අන්න ඒ වැඩේට මමත් ඩිංගක් වත් මනාප නෑ.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නම පැත්තක් ගැන උඹ කියල.. ඒ කතාවෙන් මගේ අදහස සනාථ කරනව කියලයි මට හිතෙන්නෙ..
      //වැදගත්ම දේ වෙන්නේ ආයි ඒ වගේ අවාසනාවන්ත තත්වයක් ඇති නොවන්න කටයුතු කිරීම.. එහෙම නැතුව ගිනි ගන්න ඇරල ගිනි නිව නිව.. නිවන්න ගිහින් මැරිච්චි උන් හොඳා..යි කියල වැඩක් නෑ. // දහස් වාරයක් එකඟයි... අරුන්ට එහෙම කෙලින්න දෙන්න බෑ, එව්ව කොහෙද අපිත් එක්ක කිය කිය කට කයිවාරු ගහන එකෙක් වත් යුද්ධයක් ආපහු ආවොත් හොයන්න වත් නෑ. ගේම ඉල්ලන එවුං ඕන තරම්, ගහගන්න ගියාම එක බල්ලෙක් නෑ. එක තමයි අපේ එවුන්ගෙ තියරිය. සංදර්ශන පවත්වන්න ගේම ගහපු පොඩි එවුන්ම ආයෙත් කටු කන්න ඕන. මෙන්න මේ දේවල් නවත්තන්න ඕන.අඩුතරමින් මෛත්‍රීපාල දේශපාලනය ගාවන්නේ නැතුව හමුදා වල මිනිස්සුන්ගෙ හිත හැදෙන කතාවක් කළා. රජා හිටිය නං පපුවට තඩිබබා ඔක්කොම ක්‍රෙඩිට් එක තමන්ට දාගෙන අනිත් එවුං ඔක්කොටම බැන බැන දෙසන දෙසුම බලාගන්න තිබ්බ...

      Delete
    2. කමියා මේ සිද්දිය රාජ් අයියගෙ පෝස්ට් එකකටද කොහෙදොත් ලියල තිබ්බා. මම ඒකටත් කමෙන්ට් කළා. ඒක කියෙව්වම තමා මට එදා කමියගේ පෝස්ට් එකේ දාපු කමෙන්ට් එකේ රණවිරුවන් සමරන එක ගැන මම දරපු මතේ වැරදියි කියල තේරුනේ. මෙහෙම පැත්තක් තියෙනවා කියල ඇත්තටම සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කමි. උන් ගොඩ දෙනෙක්ට උඹල තාම වීරයො. ඉතිං උන් හිතන්නෙ රණවිරුවො වෙනුවෙන් ඒ දවසට ඔය වගේ උත්සව තියල ගරු කරන්න, සමරන්න ඕනෙ කියල. මාත් එහෙම තමයි අර කමෙන්ට් එක දකිනකන් හිතන් හිටියේ. ඒත් ඒක පිටිපස්සෙ තියෙන කතාව අපි දන්නෙ නෑනෙ. ඒක ගැන දැනුවත් කරපු එකට මගේ ආචාරය.

      Delete
    3. අපි හිතුවෙ ඇත්තටම ඔය සැමරිලි බොහොම කැමැත්තෙන් බලනවා කියල ඒ උදවිය.. කල්පනා කලාම කමීගේ කතාව ඇත්ත තමා... හෝද හෝද මඩේ දානවට කව්ද කැමති..

      Delete
  13. අලි මහ කැලේ පෙරළුවාම ක‍ටුස්සෝ ගස් උඩ ඉඳන් ක්ලේම් දැම්මා.

    ReplyDelete
    Replies
    1. සරත් සහෝදරයා , ඒක තමයි ඇත්තටම සිද්ධඋනේ... කොටස් කාරයෝ බොහෝ දෙනෙක් හිටියත් තනියම ක්‍රෙඩිට් එක තමන්ට දාගත්තඑක. ඒත් කමක් නෑ.. අඩුගානෙ යුද්දෙට ගිය පොඩි උන් ටිකට සැලකුවා වත් නම්... ඒක කලෙත් නෑ...

      Delete
  14. මැයි 19 යුද්ධ කරපු ත්‍රිවිධ හමුදාවේම කොල්ලන්ට කරන ඕන රස්සවකින් නිවාඩු දීලා ලංකාවේ අනික් මිනිස්සු හා පිට රට වල ඉඳන් කයිය ගහන බොරු වීර ජා තිවදින්ගෙනුයි දවසක පඩිය අරගෙන - කොල්ලෝ වෙනුවෙන් ගම් වල නගර වල පාටි දාල දේශපාලක හොරු රැලට , පාටියට අවශ්‍ය දේ සම්පාදනය කරන්නයි වේටර් කමටයි දාන්න ඕනේ. යාපනේ කස්ටියට මැරුන උදවිය සමරන්න දෙන්න ඕනේ. ඒක උන්ගේ අයිතිවාසිකමක්.

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා අජිත් සහෝදරයා...ඒත් වෙන්නෙ ලොකු එවුන්ගෙ පාටියට කොල්ලන්ට දරදිය අදින්න වෙන එක. යාපනේ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ මරුන උදවිය සමරන්න දෙන්න ඕන. මගේ ආකල්පයත් ඒක. ඊලාම් කොඩිය ගහගෙන නෙවෙයි. ලංකාවේ කොඩිය ගහගෙන. මරුන කවුරුත් මිනිස්සු. ජවිපෙ උදවියට මරුන අය වෙනුවෙන් සැමරුම් කරන්න පුළුවන් නම් උන්ටත් පුළුවන් වෙන්න ඕන. එකම රටක් විදියට හිතල ඔය මොන දේ සමරුවත් කමක් නෑ.

      Delete
  15. උඹ කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. මේ සබ්ජෙක්ට් එක ගැන එක එක පැති වලින් කියවන්න පුළුවන්.

    විජයග්‍රහණය සැමරිය යුතුයි වඩා අර්ථාන්විත විදිහකට. ඒ රටේ ඒකීයත්වය වෙනුවෙන් තමන්ගේ අනාගතය පූජා කල උන්ට කෘත ගුණ සලකන්න සහ මේ වගේ ව්‍යාසනයක් නැවත ඇති නොවේවා කියන පරමාර්තේ සමග.

    ඒත් අර කිව්වත් වගේ පැරඩ් දාගෙන ඒ මිනිස්සුන්ව අව්වේ කර කර දේශපාළුවෝ සහ උන්ගේ හෙන්චයියෝ එක්ක මේක සමරණ එක විකාරයක්.

    ReplyDelete
    Replies
    1. දුමී සහෝදරයා.. සාදරයෙන් පිලිගන්නවා මුලින්ම. //විජයග්‍රහණය සැමරිය යුතුයි වඩා අර්ථාන්විත විදිහකට. ඒ රටේ ඒකීයත්වය වෙනුවෙන් තමන්ගේ අනාගතය පූජා කල උන්ට කෘත ගුණ සලකන්න සහ මේ වගේ ව්‍යාසනයක් නැවත ඇති නොවේවා කියන පරමාර්තේ සමග.// අතිශය එකඟයි...
      සැමරීම් කලාට කමක් නෑ. හැබැයි අනිත් දේවලුත් හරියට කරලා. එදා වේල කන්න නැතුව ඉඳල තරු පහේ හෝටලේක මගුල් ගෙයක් ගන්නවා වගේ වැඩක් මේ කරන්නෙ. ඉතා අඩුවෙන් සෙබළුන් ගැන සොයාබලන ගමන් උන්වම යොදාගෙන උන්ට කටු දිදී මහ ඉහලින් උත්සව තියනවා...

      Delete
  16. සම්පත් ගැන කියවන කොට මං දශක දෙකකටත් කලින් ලියපු කවියකින් මතක තියෙන පේලි දෙක යළි සිහිවුණා.

    මරණ සහතිකය අත්සන් කරතී
    වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... කරුමෙ කියන්නෙ ඉතිං වන්දි ගන්න වෙන්නෙ යැපෙන්නන්ටනෙ.
      මැදට තව පද පේලි දෙකක් ආව නං
      "රට වෙනුවෙන් උන් වෙඩි කා නැසෙති
      මළ බව අඹු දරු දන්වා සිටිති "

      Delete
    2. මං අදහස් කලේ යුද්දෙට බැඳීම කියන්නේම මරණ සහතිකය අත්සන් කිරීමක් කියන එකයි, දිනේ දාන්න විතරයි තියෙන්නේ.

      ඒකේ වන්දිය තමයි අර "මරබිය දීමනා" යනාද්‍රි විදියට මුල ඉඳලාම ලැබෙන්නේ!

      Delete
    3. ඔව් කතාව සහතික ඇත්ත රසික සහෝදරයා..

      Delete
  17. සාජ්ජා.........................

    හමුදාවේ සෙබලුන්ගේ වැරැද්දක් තමයි තමන්ට ලැබෙන සාපේක්ෂව වැඩි පඩිය කළමනාකරණය ගැන නොදැනීම.. ඔවුන් විනෝදයට සියල්ල වියදම් කරනවා.. මාස කීපයකට දවස් ගානක් ලැබෙන නිවාඩුවේදී සියල්ල කරන්න හදනවා..... මේ ගැන අදටත් පැහැදිලි අදහසක් සෙබලුන් ගාව නැහැ.... ඒකයි බීමත්කම, පවුල් අාරවුල් වැඩි.....

    ReplyDelete
    Replies
    1. කරුට්ටා....
      මේ සියලු දේවල් ඇත්ත. එකඟයි..සුද්දො වගේ තමයි උන් නිවාඩුවට එන්නෙ. කොළඹ ගාවට වැඩිපුරම ගණිකාවො හිටියේ අනුරාධපුරේ කියල කතාවක් තිබ්බ ඒ දවස් වල. මරණ බයේ ඉන්න මිනිස්සු ඒ දේවල් කරන එක එක අතකට බැලුවම මානුෂිකයි කියලත් හිතෙනවා..

      Delete
    2. මේ කතාවේ විිදියටත් යුද්දෙට ගියේ සම්පත් මිස සජ්ජා නොවෙයි නේද?

      Delete
    3. දුප්පත් නූගත් මිනිස්සු කියන තර්කය....

      Delete
  18. ඇස් ඇරවන ලිපියක් ++++++++++++

    යුධමානසිකත්වය නිසා මානසික ආතතියට පත්වෙච්ච සෙබළුන් පුනරුත්ථාපනයකිරීම වෙනුවෙන් මොකක්ද ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල???????????

    මම 1999 සිට තවමත් තනියම අදාල බලධාරීන් සමග සටන් කරනවා නමුත් බීරි අලි නිසා ඔවුන්ට එවා අැහෙනවා අඩුයි.

    War Trauma in Sri Lanka

    http://transyl2014.blogspot.ca/2014/12/war-trauma-in-sri-lanka.html

    ReplyDelete
    Replies
    1. ඩොක්ට ජයතුංග , ඇත්තටම ඒ දේ ඉහලින් අගය කරනවා. අපේ මිනිස්සු උන්ට හිතෙන දේවල් මිසක් ඒ දේවල් සම්බන්ධ ඉගනගත්ත දැනුම තියන මිනිස්සු කියන දේවල් අහන්න කැමති නෑ.. අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඒ නිසා තමයි.. ස්තුතියි.. ලිපිය නිවීසැනසිල්ලෙ බලන්නම්...

      Delete
  19. පෝස්ට් එකයි කමෙන්ට් ඔක්කොමයි කියෙව්වා...
    මගේ අදහස හෙට...

    ReplyDelete
    Replies
    1. හහා.. කියමු කියමු.. මටත් මේ දවස් ටිකේ බරටම වැඩ... ගොඩක් පෝස්ට් මිස් උනා...

      Delete
  20. මේ කතාවේ සැඟවුණු අනිත් කතාව තමයි සම්පත් යුද්දෙට යෑම සහ සජ්ජා නොයෑම.

    සජ්ජාට විකල්පයක් තිබුණා! දෙමව්පියන්ගේ යම් ආර්ථික ශක්තියක් තිබුණා. සම්පත් ට තිබුණේ එකම විසඳුමයි

    හැමෝම සජ්ජලා වුනා නම්, හමුදා සේවය අනිවාර්ය වෙනවා. එල්ටීටීඑක ළමයින්ව පැහැරගෙන ගියේත් ඒකයි. ඒ බොහෝ දෙනෙක් අන්ත දුප්පත් පවුල්වල කොල්ලෝ. යුද්ධය නිසා තවත් දුප්පත් වෙලා හිටිය අය.

    අන්තිමේදී කොටි කියලා වැඩිපුර මැරුණේත් කවුද?

    ReplyDelete
    Replies
    1. ඒ පොයින්ට් එක ලස්සනට මතුකරනවා රසික සහෝදරයා . ඒක තමයි යතාර්ථය... සම්පත්ලා මගෙ තත්වෙ හිටියා නම් සමහර විට යුද්ධයට යන එකක් නෑ. සමහරවිට .... මොරාල් එකට යුද්ධයට යන උදවියට ආර්ථිකය බලපාන්නේ නෑ..
      බැලුවම අන්තිමට වැඩිපුර හානි උනේ පීඩිත පන්තියේ මිනිස්සුන්ට. උතුරෙ මිනිස්සුන්ට ඒ මිනිස්සු වෙනුවෙන් පහනක් පත්තුකරන්නත් තහනම් දැන්...

      Delete
  21. ලිපිය නම් නියමයි සජ්ජො. උඹ කියල තියෙන ඒවයි උඩ කමෙන්ට් වලින් කියල තියෙන ඒවයි බැලුවම ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ මටනම්.

    //පුදුමයි කල්‍යාණ මිත්‍රයා ඔය ලියන ටික වත් යුද්ධෙ ගැන ලියනවා. ඔය සම්බන්ධයෙන් ඇහුවම "කළුවරේ පොල් බෑය දික්කරන"ටයිප් හිනාව දාල මගාරින එකා ඔය//
    කමියට ඕව සමහර විට අමතක ඇති. නැත්තං සමහර විට ඒ කාලෙ මතක අමතක කරන්න ඕනෙ ඇති(එහෙම කිව්වෙ කමිගේ එකට හිටපු බැචා නැති උනා කියල කියල තිබ්බ නිසා. තව ඔය වගේ කොච්චර දේවල් ඇත්ද).

    සජ්ජට ඒ කාලෙ හමුදාවට යන්න බැරි උන එක, එක අතකට හොඳයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ කියන්න බැරි උනා. කවර් ෆොටෝ එක පට්ට.
      තව එකක් මේ පෝස්ට් එකේ උඩම තියෙන ෆොටෝ එක ලඟින් ස්පේස් එකක් තියල බලන්න. මට ඒ ෆොටෝ එක අයිනකින් "ය්" අකුරක් පේනවා.

      Delete
    2. මනා... කමියට ඕව එක්කො අමතක කරන්න උවමනයි..එහෙම නැත්තන් මැජික් නොවෙන නිසා කරබාගෙන ඉන්නව .. අනේ මන්ද මනා.යන්න බැරි උන එක ගැන අදටත් දුකයි...
      ඒක මම පෑනකින් ඇදපු එකක් මනා.. මුද්දා ඕක මොඩිෆයි කරල දැම්මේ ...

      Delete
  22. අපේ අය ඒක මාකට් කලා මිසක යුද්ධෙ දිනලා දුන්න සටන මැද හිටිය සෙබළු වෙනුවෙන් මහ ලොකු දෙයක් කලාය කියලා මාත් හිතන්නේ නෑ.. කෙනෙක් කියාවි නිකන් පඩි ගෙවන එකේ වැඩ ගත්තම මොකද කියලා.. එහෙම හිතනවනම් වෙන රටවල් වල හමුදා සෙබළුන්ට තියෙන ගෞරවය ඇත්තටම යුද්ධයක් සහමුලින් ඉවර කරපු සෙබළු වෙච්ච අපේ එවුන්ට ලැබෙන්නේ නෑ..

    ඔබාමා ලොක්කා සැලියුට් කරන්න අමතක වෙලා ආයි චොපර් එකෙන් බැහැලා ඇවිත් සැලියුට් කලාට අපේ එහෙම වෙයිද.. නැහැ..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව දිනේෂ්.. අපේ මිනිස්සුන්ට ඒ ගරුත්වය දෙන්න තේරෙන්නෙ නෑ. එක්කො තේරෙනවා. ඒත් එක කරන්නෙ නෑ.. අඩුම තරමේ ඔබාමා වගේ රඟපෑමක් වත්...

      Delete
  23. //හැබැයි උන් ගියාට පස්සෙ ඒ ජවුසන් බලල ස්වයං වින්දනේ යෙදෙන්න වත් සමහරුන්ට අත් නෑ.// මේ වාක්‍යය කියවන්න පටන් ගන්නකොට හිනාවක් ඇවිත් අන්තිම කෑල්ලට එනකොට උගුර හිර වුනා.

    ReplyDelete
    Replies
    1. මම ඔය කතාව ගැන ඇත්තටම අහල තියනවා ඉයන්...

      Delete
  24. Replies
    1. එක තමයි පත්තරේ... අපි අන්තිමේදි නිරුත්තරයි...

      Delete
  25. උඹ එළකිරි කොල්ලෙක්නෙ...අපේ පැත්තෙ හිටියා අවසන් සටනෙදි ඉදිරියේම හිටිය කමාන්ඩෝ මලයෙක්..ඒකා ගමේ බෙර ගගහා උන්නෙ තොයිල් පලවල් වල හමුදාවට යන්න කලින්...ඒ කාලෙ කවුරුවත් සත පහකට ගනන් ගත්තෙ නෑ. යුද්ධය ඉවරවෙලා ගමට ආපු දවසෙ අපේ ගෑණු පාරෙ තියාන කැවුම් කොකිස් ඉව්වෙ. දරුවො දණ ගහලා වැන්දෙ...ගමටම හිටියෙ මෙච්චරයි පෙරමුණේම හිටිය සෙබලෙක් කියලා...ඉතින් වැඩේ නැගලම ගියා උපහාර උත්සවය හන්දියෙ..මමයි නිවේදන කටයුතු කලේ..සංගීතයත් මහ රෑ වෙනකං ඊට පස්සෙ. අපේ සෙබලා උපරිම සතුටෙන්...තවත් මාස ගානක් ගියා...දැන් ඉන්න හිතෙන්නෙ නෑ අයියෙ...අපි පුරුදු වෙලා තියෙන්නෙ යුද්ධ කරන්න..වෙඩි තියන්න නැතුව ඉන්න අමාරුයි...එහෙම කියපු සෙබලා ඊටත් පස්සෙ හමුදාවෙන් පැන්නා..දැන් කොහෙ ඉන්නවද නොදනිමි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සිරා .. යුධමානසිකත්වයට හුරු වෙච්ච එකාව එකෙන් මුදවන්න අමාරුයි. ඒවට වෙනම කවුන්සලින් කරන්න ඕන. දියුණු රටවල් වල ඒ දේවල් වෙනවා. මෙහෙ ඒ කිසි දෙයක් නෑ. හමුදාවෙන් පැනපු කොල්ලො අපරාධ වලට වැඩි වැඩියෙන් සම්බන්ධ වෙන්නෙ ඒකයි. සිරාලගෙ කොමාන්ඩෝ කොල්ල හමුදාවෙන් පැනල වෙනම යුද්ධයක් කොහේ හෝ කරනවා ඇති. කව්ද හරියටම දන්නෙ. ඔන්න ඕකයි පුනරුත්ථාපනය නොකරන එකේ වැරැද්ද. එහෙම කරන්න අවශ්‍ය අය හඳුනාගෙන ඒ දේවල් වලට යොමු කරන වැඩපිළිවෙලක් නෑ අපේ.

      Delete
  26. මොකුත් කියන්න නොතේරෙයි..........

    ReplyDelete
    Replies
    1. හැක් හැක්, උන්මත්තක බබෙක් වෙලාද??

      Delete
  27. පිංතුරයක් එබුවා..දැන් ලස්සනද බලපිය

    ReplyDelete
  28. http://www.mymodernmet.com/profiles/blogs/lalage-snow-we-are-the-not-dead

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා... බලන්න ඒ විඩාබර මුහුණූ...

      Delete
  29. Replies
    1. මොකක්ද බන් සීන් එක... කෝ නෑනෙ මුකුත් පේන්න...

      Delete
    2. ආ... දෑන්නෙ දැක්කෙ.... පින්තූරය එලදබ්‍රා කොල්ලො....

      Delete
    3. ආ... දෑන්නෙ දැක්කෙ.... පින්තූරය එලදබ්‍රා කොල්ලො....

      Delete
  30. අපූරුවට සිත්තම් උනා කාලීන ප්‍රශ්නයක් :) අගෙයි . රට රැකගත් වීර පුත්තු කමහලේ ගොවිපලේ කඩවල වැඩ කරමින් මියැදිච්ච උතුරට නව පනක් දෙන්න උත්සහ කළේ යළි පදිංචි කිරීමේ වැඩසටහන් සාර්තක වෙන තුරුයි. නමුත් ඔවුන්ගේ අභිමානයට එය හානියක් බව නම් පිළිගන්නම වෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හන්සමාලි... ඒ හැම දෙයක්ම කිව්වා වගේ අභිමානය රැකෙන විදියට වෙන්න,කෙරෙන්න ඕන...

      Delete
  31. සජ්ජා, මේක නියමයි. කියන්න ඕනෙ ටික කන රත්වෙන්න දීල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සදරයෙන් පිලිගන්නවා බස්සි... තැන්කිව් කිව්වා ඔන්න එහෙනං ...

      Delete
  32. මේ පොස්ට් එක කියෙව්වේ අද... උඹ කියන්න තියන ටික සුපිරියට කියල තියනවා බන්... අපේ එවුන්ගේ ජාති ආලේ දෙකොනින් බේරෙනවා බැලුවොත්... ඒත් අතපය නැති රණවිරුවෙකුට බස් එකක සීට් එකක් දෙන්න එකෙක් නැහැ.. සේරෝම බලකාමයට යටවෙලා බන්... පාලකයෝ බලයට එන්න අම්ම උනත් විකුනන්න සුදානම්... ඉතින් රණවිරුවෝ ගැන කුමන කතාද බන්..

    ReplyDelete
  33. හැමදාමත් වගේ ලොක්කන්ට සැප සොක්කන්ට ඇපත් නෑ !

    ReplyDelete