"චූං පාන්"



මේ ලඟදි පොඩි "ඇලට්" එකක් දාගෙන ඉන්නකොට, කණ  උඩින් "බීතෝවන්" යන සද්දෙට උඩ විසිවෙලා ඇහැරුණු අපේ තාත්තා නිදිමරගාතෙම පාරට දුවගෙන ගිහිං "චූන් පාන්" කාරයෙක්ගෙ ජාතිය අමතනව සැරේට ඇහුන නිසා මමත් පොඩ්ඩක් එතෙන්ට ගියා. බැලින්නං තාත්තා නිදාගන්න කාමරේ අයිනෙම තියන පොඩි පාරෙ චූං පාන් කාරයො දෙන්නෙක් ත්‍රීවීල් දෙක මාරු වෙන්න බැරුව හිරවෙලා. යන එක නැවතිලා තිබ්බත් දෙන්නගෙම "ලවුස්පීකර්" දෙකම වැඩ. දෙකේම සද්දෙ අනුනානද වෙලා එන සද්දෙ කණට ඉහිලුම් දෙන්නෙ නෑ. "ආයෙත් තොපේ ඔය *%^%*^ දාගෙන මෙතනින් ගියොත් ගහනවා පොල්ලෙන්" තාත්ත අරුන් දෙන්නට හොඳට කියාදෙනව. ආයෙත් ගේ ලඟින් යනකොට සද්දෙ අඩුකරගෙන යන පොරොන්දුව පිට උන් දෙන්න යහතින් යන්න ගියා.

 
උදේ පාන්දර 5 ට පටන්ගන්න චූං පාන් කාරයොන්ගෙ ආගමනය නවතින්නෙ රෑ 8 ට විතර. අපේ ගමේ අපේ ගේ ඉස්සරහින්ම දවසකට චූං පාන් කාරයො 10ක් 12ක් විතර කරකැවෙනවා. අපේ ගේ අයිනෙන් යන පොඩි පාරෙ තියන ගෙවල් ගානට වඩා වැඩියෙන් ගානක් ඒ පාරෙ  චූං පාන් කාරයෝ යනව.නානාප්‍රකාර වර්ගවල ත්‍රීවීල්, ලොරි වල එක එක පන්නයේ සද්ද මහා හයියෙන් දාගෙන රටේ නැති බේකරි වල නම් ගහගෙන වටේ දුවන චූං පාන් කාරයින්ගෙ සද්දෙ පුදුමාකාර කන්කරච්චලයක්. අසනීප වෙලා නිදාගෙන ඉන්න මනුස්සයෙක්ව, නිදාගෙන ඉන්න පොඩි බබෙක්ව, තෙහෙට්ටුවට පොඩි නින්දක් ගහන මනුස්සයෙක්ව ඇහැරවන්න මුන්ගෙ "යකඩ කටට" ලේසියෙන්ම පුළුවන්. මම ටික කාලෙකට කලින් පත්තරේ දැක්ක නගරාසන්න පුද්ගලයෙක් නඩුවක් දාල තිබ්බ චූං පාන් සද්දෙ සම්බන්ධයෙන්.


 ඊට පස්සෙ කොහොමහරි යම්කිසි ඩෙසිබල් ගානකට වඩා අඩුවෙන් ඕවයෙ සද්දෙ තියෙන්න ඕන කියල නීතියකුත් ගෙනාවද කොහෙද. ඒ ගැන නං හරියටම දන්නෙ නැති උනත්, ඩෙසිබල් මනින්න උපකරණ අපේ ගෙවල් වල නැති උනත් අපේ කණට නං ඕවයෙ සද්දෙ හොඳටෝම වැඩියෙන් දැනෙන්නෙ. ඔය හුචක්කුවක් පාරෙ යන වෙලාවට කෝල් එකක හිටියොත් අනිත් පැත්තෙ කතාකරන එකාගෙත් කණ ඉවරයි. අපි කතාකරන එකට වඩා චූං පාන් සද්දෙ තමයි එහා පැත්තට ඇහෙන්නෙ. මට නම් හිතෙන්නෙ මධ්‍ය සංඛ්‍යාතයකින් නිකුත්වෙන ශබ්ධ තරංග වඩාත් තීව්රව වැඩි දුරකට මිනිස් කණකට ඇහෙන එක ඕකට හේතුවක් වෙන්නැති. බීතෝවන් ගෙ "fur elise" සංගීත ඛණ්ඩය තමයි බොහෝ පාන් කාරයන්ගෙ චූං එක. තව සමහරුන්ට හැමදාම නත්තල් (santa claus is coming to town) , සමහරු ටයිටැනික් ජැක් රෝස් මතක් කරනවා, ඒ අතරෙ තවත් සමහරු සිංහල සිංදු මියුසිකුත් දාගෙන යනවා. ඔය මොක දාගෙන ගියත් සද්දෙ නං අඩුවක් නෑ.

 චූං පාන් බිස්නස් එක කරන මනුස්සයත් රැකෙන්න ඕන. ඒ ගැන කිසිම විවාදයක් නෑ. ගොඩක් වෙලාවට ඕව පදවන්නෙ රස්සාවක් නැති කමට අහිංසක මනුස්සයෙක්. ලොකු බේකරි වල ඔය චූං ත්‍රීවීල් දහය පහලව තියනව මං දැකල තියනවා. ගොඩක් වෙලාවට ඕවයෙ යන මනුස්සයන්ට ගෙවන්නෙ දවසට රුපියල් 1000ක්. එහෙමත් නැත්තං විකුණපු ප්‍රමාණයෙ ලාභාංශයෙන් සියයට කොටසක්. අන්න ඒ දෙවැනි කාණ්ඩයෙ උදවිය තමයි ගොඩක් වෙලාවට එක බනිස් ගෙඩිය විකුනන්නත් හැතැප්ම 2ක් 3ක් උනත් යන්න දෙපාරක් හිතන්නෙ නැත්තෙ. ඒ වගේම දිස්ත්‍රික්කෙටම ඇහෙන්න අර "මළඇඬියාව" දාගෙන යන්නෙ.


 මුල් කාලෙ චූං පාන් වාහන වල හයිකරල තිබුන "ලවුස්පීකර් හෝන්" බෝහොම පුංචි ඒවා. ඒත් දැන් දැන් ඒවා එන්න එන්නම ලොකු වෙනවා. ඒ බව පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි. කොයිතරම් ලොකු හෝන් තිබුනත් ඕවයෙ මියුසික් එක දාන ගැජට් එකෙන් සද්දෙ අඩු වැඩි කරන්න පුළුවන්. ඒත් ඔය උදවිය උපරිම සද්දෙ දාගෙන තමයි පාරෙ යන්නෙ.කවුරුහරි සද්දයක් දැම්මම එවෙලෙට විතරක් සද්දෙ අඩුකරන් ගිහිං ආයෙත් පරණ ක්‍රමේටම සද්දෙ දාගෙන යන ඒකයි හැමදාම වෙන්නෙ. සාමාන්‍ය මිනිස්සුන්ට ඕකෙ සද්දෙ ඩෙසිබල් ගාන මණින්න බැරි නිසා පොලිසියෙන් හරි ඕව බලල නියමිත ප්‍රමානෙට කරකවල සීල් කරන්න ඕන කියලයි මම නං කියන්නෙ. එහෙම උනොත් චූං පාන් කාරයෝ මිනිස්සුන්ගෙන් ගුටිකන ඒකත් නවතියි, ඒ සද්දෙන් මිනිස්සුන්ට වෙන කරදරෙත් අඩු වෙයි, ඒ මිනිස්සුන්ගෙ බිස්නස් එකත් කෙරෙයි.


මුල් කාලෙ චූං පාන් කාරයෝ පාන් බනිස් නිකන්ම අතින් අල්ලලා තමයි දුන්නෙ. පස්සෙ කාලෙක කව්රුහරි බැනල වෙන්නැති , සිලි කවරෙකට අතදාගෙන බනිස් පාන් විකුනන්න ගත්ත. දැන් නම් බුවාලා ගාව තියනව "ඩැහි අඬුවක්". ඒකෙන් අල්ලල තමා බනිස් දෙන්නෙ. ගෙවල් ගාව බේකරියේ චූං පාන් ත්‍රීවීල් එක දුවන "කොඩිතුවක්කුව"ගෙන් මේ ලඟදි බනිස් ගනිද්දී මූ මට අඬුවෙන් අල්ලලා බනිස් දුන්නෙ. ඕකගෙ පාන් බනිස් හැදිල්ල නොදන්න මං ඇහුවා " උඹ ඔව්ව හදල බේකරියට දාන්නෙ, බාන්නෙත් අඬුවෙන් අල්ලලද?" කියල. සද්ද නැතුව හිනාවෙලා දීල ගියා. බේකරිය පැත්තෙ පාන් ගේන්න ගිය වෙලාවක කොඩිතුවක්කුවා "සොසේජස් පාන්" හදනව දැකල උගේ අඬුවෙන් හොම්බට දමල අරින්න හිතුන. 
   "දිග බනිස්ගෙඩි" ටික තැටියක දාල බිම තියාගෙන එක එක අතට අරන් පරණ කතුරකින් මැද කාණුව කපනවා. මැස්සො වහන භාජනේකින්  සොසේජස් එකක් අරන් ඒ මැදට තියල එක පැත්තකට ළූණු පෙත්තක් ගහල අනිත් පැත්තට සලාද කොලයක් ගහනවා. මට පෙනුණු විදිහට නං ළූණු ගෙඩිය හොදලත් නෑ, සලාදකොල හොදලත් නෑ, කොඩිතුවක්කුව මූණ වත් හෝදල නෑ. ඒ උනාට කොඩිතුවක්කුවා  ඔව්ව ටික ඔක්කොම ලස්සනට ත්‍රීවීල් එකේ වීදුරු කූඩුවෙ අහුරලා විකුණන්නෙ "අඬුවෙන් අල්ලලා"

බේකරියේ අයිතිකාරයා චූං පාන් වාහනයක් තියන එකේ අමතර වාසිය ගැන වෙනමම කතාවක් මට කියල තියනවා. උදේ හදන පාන්, බනිස්, කිඹුල්ලු ඉතුරු උනොත් හවසට චූං පාන් එකෙන් "රෝල්" කරගන්න පුළුවන්ලු. "රෝල් කරනවා" කියන්නෙ පරණ පාන් බනිස් අරකෙ යවල විකුණන එකට. ආපහු ටිකවෙලාවක් පෝරණුවට දාල රත් කරලා චූං පාන් එකට දාල "රෝල් කරනවා". ගම් වල කඩවලට බේකරියෙන් දාන පාන් බනිස් විකිණෙන්නේ නැතිව ඉතුරු උනොත් ආපහු බේකරිකාරය බාරගන්න ඕන. කඩේ මුදලාලි සල්ලි දෙන්නෙ විකිණුනු ගානට විතරයි. 
   පාන් ඉතුරු උනාම ඒවා ගෙනත් පෝරණුව  උඩට විසිකරනවා (වහලෙ උඩට නෙවෙයි , පෝරණුවෙ මුදුනට, ඒක උඩත් රස්නෙ තියනවා) ඔය පෝරණුව උඩ තමයි පෝරණුවේ "දර අඟුරු එහෙමෙහෙ කරන යකඩ කොකු" , "පාන් තැටි බාන ලී පත්තවල්" දාල තියෙන්නෙ. දවස් ගානක් එකතුවෙන පරණ පාන් ගොඩ අස්සෙන් තමයි ඒවා දාන්නෙ ගන්නෙ. මළකඩ, දැලි ගෑවෙනව වගේම ඔය පරණ පාන් ගොඩ අස්සෙ කැරපොත්තෝ එහෙමත් ඉන්නවා ඇති.  දවස් කීපයක් ගියාම ඕව වේලෙනවා කරවෙන්නම. ඊටපස්සෙ ඒවා කොටලා හලලා ගන්නවා "පාන් කුඩු" කියල පැකට් කරලා විකුණන්න. කට්ලට්, රෝල්ස් වල වටේ පාන්කුඩු  තැවරුම හැදෙන්නෙ එහෙමයි. ඉස්සර නං පරණ පාන් කෙටුවේ වංගෙඩියේ. දැන් නං ඒවා කොටන්නෙ පිටි කොටන මෝල් වල ලු.
  "කිඹුල බනිස්" ඉතුරු උනාම ඒවත් "රෝල් කරන" විදියක් තියනවා. කොඩිතුවක්කුවා දවසක් පොඩි පොඩි රවුම් වගේ කරකරපු "හුළං විස්කෝතු" වගේ ජාතියක් පැකට් කරනවා දැකල මං ඇහුව "මොනාද බං ඔය?" කියල. ඌ "ආ මේ බේබි රැස්" කියල කියපි. "මොන රැස්?" - "බේබි රැස්". එතකොට මගේ ඔලුවට ආව මූ මේ කියන්නෙ "බේබි රස්ක් (baby rusk)" ගැන කියල. ඉතුරු වෙච්ච "කිඹුල බනිස්" කෑලි කපල පෝරණුවේ කරකරලා තමයි මූ "බේබි රැස්" හදන්නෙ. බබාලට නං කිරි වල ඔව්ව පොඟවල දුන්නොත් අබසරණයි. ගොඩක් පරණ වෙන්න නොදී හැදුවොත් නං ඉතිං හුළං විස්කෝතු වගේ තේ වල පොඟවල කෑවට අවුලක් වෙන එකක් නෑ. හැබැයි "බේබි රැස්" කිව්වට බබාලට නං පෙන්නන්න වත් හොඳ නෑ.


 පිටි, යීස්ට්, ලුණු මිශ්‍රණය මේසෙට දාල මැදින් ලොකු වළක් හදල වතුර පුරවල "බදාම අනන'" සිස්ටම් එකට දාඩිය පෙරාගෙන "පාන් මෝලිය" අනන ක්‍රමේ අලුත් "මෝලි මැසිමෙන් (dough mixer)" රීප්ලේස් උනත් පාන් බනිස් "නමන්නෙ" (ඒ හැඩයට නමල සකස්කරනවට බේකරි කාරයො කියන වචනෙ) පරණ විදියටම තමා. පී.එච්.අයි. මහත්තය කොයිතරම් "ඒප්‍රන්" දාගෙන තොප්පි දාගෙන ඔය වැඩේ කරන්න කිව්වත් "පාන් බාස්ලා"නං  අහයි ඒවා අපූරුවට. අල්ලපු ගමේ ඉස්සර "ඒබරං" කියල මනුස්සයෙක්ගෙ බේකරියක් තිබුන. ඒකෙ වැඩකලේ කන් ඇහෙනවා ටිකක් අඩු "පාන් බාස්" කෙනෙක්. දවසක් බුවා පාන් නව නව ඉන්නකොට PHI ආවලු. කමිසයක් වත් නැතුව වැඩේ කරගෙනයන පොරගෙන් PHI ඇහුවලු "කෝ ඒප්‍රන්?" කියල. එබරං ඒ වෙලාවේ බේකරියේ ඉඳල නෑ. මෑන් ගත්කටටම කිව්වලු "එබරං නං නාන්න ගිහිං" කියල.



 බේකරි කාරයො කරන මට පෙන්නන්නම බැරි වැඩක් තමයි පාන් තැටිය හරියට හෝදන්නෙ නැති එක. ගොඩක් බේකරි වල පාන් බනිස් පෝරණුවට දාන්න අහුරන තැටි යකඩ තහඩුවෙන් හදපුවා. තෙත පිටි ලුණු වතුර එක්ක ගැටුනම මළකඩ කන පාන් තැටි දවසගානෙ හරියට හෝදන්න ඕන. ඒත් නිකන්ම වතුරෙන් හෝදල "කුණු මාංසෙන්" (පිටි මෝලියෙන් කෑල්ලක් අරගන්නවා තැටි පිහින්න. තෙල් දැලි කුණු ඇලිලා එක බලන්න අප්පිරියයි. එකට බේකරි බාසාවෙන් කියන්නෙ "කුණු මාංසෙ") පිහදාල "බී හයි" (beehive margarine)  ටිකක් අතුල්ලලා පෝරණුවට දාන්න පාන් බනිස් අහුරනවා. පාන් බනිස් කනකොට මළකඩ රහක් ආවොත් "බඩුම තමා" තැටිය හෝදල නෑ. ගොඩක් වෙලාවට සීනි බනිස් කනකොට ඕක තේරෙනවා. බනිසේ යට පැත්ත බැලුවොත් පෙනේවි මළකඩ පාර.


  ගල් බනිස් වලට ගල් නොදැම්මට "පුන්නක්කු" දාන විදිය වගේ බේකරි කෙරුවාවේ ගොඩක් කතන්දර තවත් තියනවා. චූං පාන් සද්දෙන් පටන්ගත්තු මේක ඉවරකරගන්න හම්බවෙන්නෙ නෑ ඕව ඔක්කොම කියන්න ගියොත්. ගම "බෙන්තර" නෙමේ උනත් අපේ ගමේ බේකරිකාරය දැන් ඉන්න විදිය දැක්කම අම්මප මට ගල් මෝල වහල පාන් මෝලියක් අනන්න හිතෙනවා. බලමු ඉස්සරහට...

56 comments:

  1. හැබැයි බං හොදට වැඩේ කරන චුං පාං හාදයෝ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. එහෙම උනුත් ඉන්නවා නං තමයි බං. ඒ උනත් ගම කන එවුං ටිකකුත් ඉන්නවා....

      Delete
  2. චුං පාන් කාරයයි, පන්සලේ හාන්දුරුවොයි දෙන්නම් එකයි බං.. මළ කං කරච්චලේ... හැමදාම ඔකුන්ගේ අම්මලා බැණුම් අහනවා නිකං...

    ReplyDelete
    Replies
    1. පන්සලක් ගාවද ඉන්නෙ මාතලන් සහෝදරයා... මුස්ලිම් පල්ලියක් ගාව හිටියොත් එහෙම කොහොම වෙයිද?? පන්සලේ පිරිත් බණ හුරු නිසා අවුලක් නෑ. අරවයේ මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ නෙ.

      Delete
    2. පන්සල් නෝටී , මුස්ලිම් පල්ලි චෝයි , සාදුල ඈක්ක , ලෙබ්බෙල සත්තලං ( ඔලුවත් ලොකුයි , යද්දිත් ඔරවං එද්දිත් ඔරවං )

      Delete
    3. ඒක ද්වසට පස් සැරයක් තිබුනත් විනාඩි පහයි...

      පන්සලේ පැය ගානක්.. කනක් ඇහිලා ඉන්න නෑ.. පුදුම පවක් අපි ගෙවන්නේ...

      Delete
    4. ඔන්න අටං අයියෙ උඹ ජාති වාදේ අවුස්සන්න හදනවා...

      Delete
  3. ඔය චූං ලොරි ‍ඉස්සර මේ පැත්තට ආවෙත් ටිකක් දුර ඉඳල. දැන්නං මෙහේම දහයක් විතර තියෙනව. ඔය චූං මියුසික් එක අල්ලන්නැත්තෙ බල්ලන්ට තමයි. ඕක ඇහෙන්න පටං ගත්ත වෙලාවෙ ඉඳලම උං උඩුබුරන්න පටං ගන්නව. එතකොට කොහොමද ආතල් එක.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මට බල්ල කියල නොකියා කිව්වද මන්දා. ;) .. එහෙම සීන් එකකුත් තියනවා නං තමා. අපේ පැත්තෙ බල්ලොත් උඩු බුරනවා ඔය සද්දෙට. අපිත් උඩු බුරනවා :D

      Delete
    2. මම ඉන්න අහල පහල මුස්ලිම් පල්ලියක් තියෙනවා.මුං කොයි වෙලෙත් ඉස්පීකරෙන් කෑ ගහගත්ත ගමං නෙ.ඒවට විරුද්ධ වෙන ජාතිවාදී හැත්ත තමයි බලු සේනාව. අහරෙන් 'අල්ලා... හු අක්බර්' කියනකොට පටන් ගන්න උඩුබිරිල්ල සෑහෙන වෙලාවකට නවතින්නෑ.මුස්ලිම් මිනිස්සු බල්ලොත් එක්ක ජාති ජාති වයිර බඳින්නත් ඕක එක හේතුවක් වෙන්න ඇති.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. එහෙමත් සීන් එකක්ද ලබ්බෝ? ඒකත් මරු වැඩේ...

      Delete
  4. මට නං චුන් පාන් කාරයටත් වඩා පෙන්නන්න බැරි එහා පැත්තේ කළුගල් මොලේ බැල්ලිගෙ පුතා. මහා කන්දොස්කිරියාවයි, ගල් කුඩුයි හැමතැනම.
    චුන් පාන් කාරයාගෙන් එහෙමට කරදයක් නෑ බලං ගියාම.

    ReplyDelete
    Replies
    1. හැබෑටම.. අපේ එක ගැන නෙවෙයි වෙන්ටැති ඔය කියන්නෙ . මොකද අපේ වත්ත ලොකු නිසා මොකෙක්ට වත් ගල් කුඩු යන්න විදියක් නෑ.. අහලපහල ගෙවලුත් නෑ... හැබැයි එක ගෙයක් නං තියනවා. ඒ ගෙදර ගෑණි නං එක එකා එක්ක වටේ යනවා. ඒ ගෑනිටයි මිනිහටයි කොම්පියුටර් තියා අකුරු ලියන්න කියවන්නත් බෑ. හැබැයි පුතාට නං පුලුවන්ද කොහෙද. ඌ කොම්පියුටර් පන්තියකටත් ගියා මතකයි...

      Delete
    2. මම කියන ගල් මොලේ එකාගේ අම්මා නං චුන් පාන් කාරයෙක් එක්ක පැනලා ගියා.

      Delete
    3. එහෙනං ඔය ගල් මෝල වෙන කොහෙහරි තුම්පනේක එකක්.

      Delete
    4. කාලෙකින් සීදේවි කමෙන්ට් ටිකක් දැක්කා

      Delete
    5. අටං අයියෙ ඕකට කියන්නෙ කුහකකම බං

      Delete
    6. කුහකකම නෙමෙයි බං සිංහල බ්ලොග්කාරකම

      Delete
    7. ගීත ලොවේ මෙන්න ජනප්‍රියම සෙල්ලම...සිනාසිසී බෙල්ල කැපිල්ල.. ඇයි මොකද කිචිද අලුත් තාලෙ වැඩක් දුන්නම. ගැස්සෙනවද ගුවන් තොටිල්ල.. :D

      Delete
    8. ලස්සනයි......උම්ම්ම්ම්ම්මා......(ඇනෝට.උඹට නෙමෙයි සජ්ජෝ )

      Delete
    9. බලාගෙන බං , ඕකගෙ මූණෙ ගල් කුඩු ගෑවෙයි.. ගල්කුඩු ඇලජික්ලු බුවාට..

      Delete
    10. ඇනෝ උම්ම්මා උම්ම්මා..උඔ ගහන්න ගහන්න සඡ්ඡා බබලනවා බං.

      Delete
    11. මෙන්ඩා .... ඔව්ව නං මොනාද අප්පා.. අපි නං ගණන් ගනියි ඔව්ව.... :D එලද බ්‍රා...

      Delete
  5. මේක කාලෙකට ඉස්සර වෙච්චි වැඩක්. අපි කුරුනෑගල ඉන්නකාලෙ මල්ලවපිටිය පැත්තේ බේකරියක් තිබුනා. දවසක් වැඩකට බක්කරේව ඉන්නවද බලන්ට බේකරියේ පිටිපස්ස පැත්තෙන් ගිහින් ඇතුලට එබිලා බැලුවා. හප්පෝ..දැක්ක දර්ශනේ....පිටිගොඩ කන්දක් ගහලා මේසේ උඩ..කන්ද මුදුනෙ වතුර දාන්ට හාරපු වලේ නවර පෙරාගත්ත බලුකුක්කෙක් හොඳට නිදි....

    ReplyDelete
    Replies
    1. ඔව්ව ගැන නං ඉතිං කියල වැඩක් නෑ. ඉස්සර අපේ බේකරි කාරය පාන් බාන්නෙ බිමට. බිම ගොම ගාල තිබ්බෙ. එතන බල්ලොත් බුදියනවා. පස්සෙ දැන් නං සිමෙන්ති දාල.

      Delete
  6. http://iwanpaulooshaa.blogspot.com/2014/05/blog-post_20.html

    ඔය තියෙන්න හොඳ චුන් පාන් මල්ලිලා

    ReplyDelete
    Replies
    1. කියෙව්වා ඉවාන්.. හරිම අපූරුයි...

      Delete
  7. මගේ යෝයනාවක් තියෙනවා. ඔය චූං පාං කාරයො පාං විතරක් නෙමෙයි,දියර කිරි බෙදාහරින්නත් සම්බන්ධ කරන්න.මොකද කිරි ගොවියට තියෙන ලොකු ගැටලුවක් තමයි උදේ පාංදර හරි හවසට හරි බෙදා හැරීම.මේ වගේ මල්ටි පර්පස් උනොත් කරච්චලේ ඉවසන්න හිත හදාගන්නවත් බැරියැ..
    එල එල සජ්ජෝ..!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ යෝජනාවක් තමා හැබෑටම.... අම්මප උඹ මයිත්‍රීගේ උපදේසක පට්ටමකට ඉල්ලහන්කෝ.. අපේ අල්ලපු ගමේ සේන කියල පොරක් හිටිය . උගේ රස්සාව කිරි හරක් හදන එක. ගමටම කිරි බෙදනවා. ඌ කිරි වලට වතුර කලවං කොරනවලු. ඒ නිසා ගමේ මිනිස්සු ඌට කියන්නෙ "දියසේන" කියල

      Delete
    2. ආයෙ මොකෝ... අක්කර ගානක උනත් බතල කොල හිටෝතැකි මේ කටෙං...
      --වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි-- (ඒ ටික හෙන ගැඹුරු හඬෙන් කිව්වෙ ඈ)

      Delete
    3. ගමේ මිනිස්සු ඌට කියන්නෙ "දියසේන" කියල

      :D :D

      Delete
  8. ඔකත් රස්සාවක් නේ සාජ්ජේ.......... දරුවන් ජීවත් කරවන්න මිනිහෙක් හොර බොරු නැතුව දෙයක් කරන ඒකනේ... මං නං ඔය සද්දය ටිකකට අහගෙන ඉන්නවා... ඒකත් ලොකු දෙයක් නේ.......

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නං තමා කුරුට්ටෝ. ඒත් ඉතිං ඉවසීමේත් සීමාවක් තියනවනේ. කරුමෙට අපේ ගේ වටේට පාරවල් දෙකයි. ඔය දෙකෙන්ම අරුන් චූං එක දාගෙන යනකොට මලපනිනවා...

      Delete
    2. අම්මට සිරි උදේට දෙකයි.. හවසට දෙකයි....... දවසට ම හතර පාරක් සෙට් වෙනවා නෙවැ.................

      Delete
    3. ඒ එකෙක්ට විතරක්. දවසකට හත්අට දෙනෙක් එනකොට??? මාරම චූන්...

      Delete
  9. මාත් ඉස්සර වෙන්න චෙෆෙක් විදිහට වැඩකලා හෝටල් 3ක බක්කරේ ලයින් එකේ.ඉගන ගත්තේ ඔය පැත්තෙන් දැන් ගල් කෑවට.යාළුවෙකුගේ මළගෙදරකදී ඒ පැත්තේ බේකරියකට රින්ගුව මාළුපාන් හදන්න උදවුකරන්න ඒ බක්කරේට,ඒකගේ ගෝලයෝ එදා නැතිනිසා.ඒකනේ බන් මාළුපාන්.ඒකට උඩින් බිත්තර සාරු ගාන්න පාවිච්චි කරපු පින්සල මම පොඩ්ඩක් ඉම්බා.අම්මෝ සුවඳ....ඊට වඩා හොදයි කුණු බිත්තරයක් කඩලා ගානවා.කට්ටියම කන නිසා මලගෙදරදී කටවහන් හිටියා.ඒත් මේ ලගදී දවල්ට උණුපාන් කන්න ගිතිලා මේ පැත්තේ බේකරියකට ගියා.පවුලේ අය එකතුවෙලා ගේක පැත්තක කරන බේකරියක්.ඇත්තටම ඒක දැක්කහම බඩ පිරෙනවා.ඒ තරම් පිරිසිදුවට පිළිවෙලට කරනවා.
    කවුරු මොනදේට මොනවා කලත් කන කෑමට අගෞරව කරන එකනම් මහා ජරා වැඩක්.මිනිහෙක් බඩගින්නට කන කෑම පුළුවන්තරම් පිරිසිදුවට දෙන්නඕනේ.නැත්තම් ඒක මහ අපරාදයක්.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ බේකරියේ වැඩට හිටිය "බලු චමින්ද" කියල බාස් කෙනෙක්. දවසක් මං බේකරියට යනකොට පොර තට්ටේ ගාල ඒප්‍රන් එකකුත් දාගෙන වැඩ. රෙස්ලින් ගහන එකෙක් හිටිය "විටෝ" කියල මතකයිද? ගවුමක් ඇඳන් ඇවිල්ල ගහල වැටුන එකාගේ මූණේ ගවුම උස්සල අතුල්ලන එකෙක්!! අන්න ඌ වගේමයි එදා මුගේ පෙනුම. මාත් එක්ක ගිය අයියට කිව්වා "බලහං අයියෙ මූ විටෝ වගේනේ" කියල. හිතුවේ නෑ මූට ඒක ක්ලික් වෙයි කියල.බැලින්නං මූත් රෙස්ලින් බලන එකෙක්. හෙමීට ඒප්‍රන් එක ගලෝල වැඩකරන්න පටන් ගත්ත ඊට පස්සෙ. මෙහෙ බේකරියේ නං බිත්තර සුදූ මදේ වෙනුවට බනිස් උඩ අතුල්ලන්නේ තේ කහට. අපිත් මළගෙයක් උනාම මාළු බනිස් දෙනවා රෑට. අරුන්ගේ බේකරියට කියල හදවන්නෙ. ඇතුලටදාන මිශ්‍රනේ ගෙදර හදල ගිහිං දෙනවා. නැත්තං ඔව්ව බල්ලෙකුට වත් කන්න බෑ..

      Delete
  10. මේන්න ඔරිජිනල් චූන් පාන් මියුසික්... හී... හූ...
    https://www.youtube.com/watch?v=aU8R1Amjn7c

    ReplyDelete
    Replies
    1. අප්ප කොහෙන්ද හම්බුනේ ඒක ?? chun pan ගෙ ශාස්ත්‍රීය සංගීතේ... :D

      Delete
  11. උඹලගේ පැත්තේ පාන්දර 5හේ ඉදන්ද බං එන්නේ.. හොද වෙලාවට මං ලංකාවේ ඉද්දී නම් ආවේ හවසට විතරයි.. ඒකත් 4න් පස්සේ වගේ තමයි පටන් ගන්නේ..

    ReplyDelete
    Replies
    1. මුලින්ම නං ආවෙ එහෙම තමා බං .. දැන් දවසපුරා එනවා... පිස්සු හැදෙනවා. මේක කොටන වෙලාවෙත් ඔන්න එකෙක් එන සද්දෙ ඇහෙනවා...

      Delete
  12. අපේ පැත්තේ චුන් පාන් බීට් එක තමා එඩ්වඩ් ජයකොඩිගේ "පින්න මලේ සුද " ..... ඒක එච්චර අව්ලක් නෑ .....

    ReplyDelete
    Replies
    1. ඇයි බං තව එකෙක් යන්නෙ " කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසම්, හිල්වෙච්ච අල්මේනියං කල වලට දෙනවා අලුත් බේසම්...යකඩ කෑලි ,තහඩු කෑලි... යකඩ කෑලි, තහඩු කෑලි...පරණ හට්ටි මුට්ටි... පරණ බැට්‍රි .... පරණ වොෂින් මැෂින් ..." ඔය විදියටමයි කියන්නෙ...

      Delete
    2. තවත් වෙනස් එකක් තියෙනවා පත්තර ත්‍රී වීල් එකක්.නිහාල් නෙල්සන්ගේ 'කුක්කු කූක් කූක් කුකුළා හඬනවා ...' ඔය සින්දුව ගිහින් පත්තර වල නම් ටික කියනවා.ආයෙ සින්දුව.. කන හාරන ටේප් එකක් ඒකත්..

      Delete
    3. එහෙමත් එව්ව තියනවද ලබ්බෝ?? මම නං අහලම නෑ.. නාගරික පැති වලට එනවා ඇති. මෙහෙට නං එහෙම එව්ව එන්නේ නෑ...

      Delete
    4. මොන නාගරිකද...? දික්වැල්ල පැත්තෙ ගං ඇතුලෙ යන භාණ්ඩයක් මේක.. මාත් එහෙං විතරයි ඕක දැක්කෙ..

      Delete
  13. මළ හත්තිලව්වෙ කවුද කියන්නෙ ගල් බනිස් වලට පුන්නක්කු දානවා කියලා. (මගේ ඉස්සර ‍ෆේවරිට් බ්‍රෑන්ඩ් එක කියහංකෝ)

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ගල් බනිස් කනකොට පොල් වගේ හැපෙනවා නේද??? සමහරු දානවා... දවසක් යාලු අයියෙක්ගේ ගෙදරක ගියා. පොරගේ මාමණ්ඩිට බේකරියක් තියනවා අල්ලපු ගෙදර. ඒ පැත්තෙ ගියාම පුන්නක්කු වලට වතුර දාල බාල්දියක තියනවා බේකරිය පිටිපස්සෙ. මම ඇහුව මාමේ මේ මොකටද කියල. පොර කිව්වා " පුතා ඔය හරකට" කියල. පස්සෙ අර අයිය කිව්වෙ සීන් එක. හැබැයි පුන්නක්කු කියන්නෙ නරක දෙයක් නෙවෙයි. හොඳ අලුත් පොල් පුන්නක්කු හෙන සුවඳයි. තෙල් මොලෙන් අරන් කාලා තියනවා මම නම් ඉස්සර.

      Delete
  14. අහිංසක මිනිස්සු තමා චුං පාන් රස්සාව කරන්නේ, හැබැයි දැන් දැන් සද්දේ නං කන්දොස්කිරියාවක් වේගෙන එන්නේ. උදේ ඉදන් හවස් වෙනකන් 10 ක් විතර එහෙට මෙහෙට යනවා. නිදිමරලා ඇවිත් නිදාගන්න හිටියොත් බඩුම තමා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒකත් රස්සාවක් තමයි ... සද්දෙ ටිකක් අඩු උනා නං ඔන්න කිසිම අවුලක් නෑ . නින්ද ගිහිං තියෙද්දී ඔය සද්දෙට ඇහැරෙන්නේ උඩ විසි වෙලා. මරන් කන්න කේන්තිය එන්නේ ඒ වෙලාවටනේ නිමෝ..

      Delete
  15. මමත් දවසක් ගිය බෙකරියකට.. ඒකෙ උන් අතේ තෙල් ගා ගන්නත් පිටි ගුලියක් තියන් ඉන්නෙ. මෙසේ උඩ තිබ්බ ඔට්ටපාළු බොලේ වගේ එකක්. අල්ලලා බැලින්නම් පිටි ගුලියක්. තෙල් දාපු පිටි ගුලියේ සරින් සැරේ අත ගගා තමයි බනිස් හදන්න පිටි බෝල හදන්නේ

    හැබැයි චුන් පාන් හින්දනම් වැඩේ ලේසි. නැත්නම් කඩේට බද ගාන්න එපැයි..

    ReplyDelete
    Replies
    1. කොබා, එහෙමත් එකක් තියනවා තමයි. එකේ නම මමත් දන්නෙ නෑ. කුණු මාන්සෙයි ඕකයි කවලම් කරලා බනිසයක් හදල කෑවොත් මොනා වෙයිද??

      Delete
  16. මරුනේ නං සජ්ජා. උඹ ජරා වැඩ ගැන ලස්සනට ලියලා තියෙනවා. අම්මප මටත් හිතුනා කොඩිතුවක්කුවගේ ඔලුව පලන්න අර අඬුවෙන්ම ගහලා. උඹ බේකරෛ කෙරුවාව ගැන කියලා තියෙන ඒවා කොච්චර ආතල්ද කිව්වොත් කොච්චරවත් කඩචෝරු කන මගේ ළමයි දෙන්නට වෛබර් මෙසේජ් එකක අලවලා යැව්වා. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඩූඩ්, ඊයෙ කඩේ පාන් ඉවරවෙලා බේකරියට ගියා පාන් ගෙඩියක් ගන්න. තම්බපු තැටි පාන් තිබුනේ. මම කිව්වා එකක් රෝස් කරලා දීපන් කියල අයිතිකාරයට. කොඩිතුවක්කුව බිස්නස් ගිහිං ඇවිත් හිටියේ නෑ. අරූ පාන් ගෙඩියක් තැටියකට දාල තැටිය පෝරණුව ඇතුලට යවන්න පෝරණුව උඩින් ලී පත්තක් ඇදල අරගන්නකොට අන්න මම දැක්ක අර පරණ පාන් ගොඩ පෝරණුව මුදුනේ තියනවා. මට පටස් ගාල මතක් උනා මේක.. හැබැයි ඉතිං සෞඛ්‍යාරක්ෂිතව කෑම හදන තැනුත් ඇති. මෙහෙ බේකරියේ කෑම දිහා නං මං ඇහැක් ඇරලා බලන්නෙ නෑ පාන් දිහා ඇරුණුකොට.

      Delete
  17. හෙක් ... හෙක්... බේකරි කාරයොන්ගේ පලු ඇරලා. මං ළඟදී ගියා බීතෝවන් භූමදාන කරලා තියන සුසාන භූමියට. මිනිහ තනියම නෙමෙයි හිටියෙ මෝසාර්ට්, බාක් වගේම තව දන්නේ නැති එව්වෝ ගොඩක් එක්ක.

    දැක්ක විදිහට නම් උඹේ අවනඩුව මිනිහට ඇහිලා නැහැ මොකද කන ඇහෙන්නේ නැති මනුස්සයනේ සාමදානයේ සැතපිලා හිටියෙ, මම මේක කලින් දැක්ක නම් උඹේ කොම්ප්ලේන් එක ගිහින් දීල එනව.

    හැබැයි බීතෝවන් උනත් චූන් පාන් කාරයෙක් ළඟින් ගියොත් නම් ෂුවර් වලෙන් නැගිටිනවා :-D

    ReplyDelete