ඇඳුම - වැදගත්කම, තත්වය සහ මහන්තත්වය



වැඩපළේ මැෂින් එකක්  කැඩිලා ඒක රෙපයාර් කරකර ඉන්නගමන් මජං පිටින්ම ටවුමට යන්න උනා ඒ වැඩේට අමතර කොටසක් මිලයට ගන්න. බඩු ටිකත් අරගෙන බේකරි කඩේට මොනවහරි බඩට දාගන්න යන අතරමග පාර අයිනේ හිඟන්නෙක් හිඟමන් යදිනවා. වෙනදා ටවුමට ආවාම පුරුද්දක් විදියට හිඟමන් ඉල්ලන මේ වගේ මිනිස්සුන්ට රුපියල් දහයක් ,විස්සක් දෙන මගේ අත නිරායාසයෙන්ම සාක්කුවට රිංගුවේ මාරු සල්ලි තියනවද බලන්න වෙන්නැති. මට ඉස්සරහින් හොඳට ඇඳපැළඳගෙන හිඟන්න ගාවින් ගිය මනුස්සය දිහාවට  "අනේ මහත්තයෝ,අසරණයට පිනට යමක් " කියල දික්කරපු අතට කීයක්හරි වැටෙනවනං මං දැක්කෙ නෑ.. සාකුව ඇතුළෙම   රුපියල් දහයෙ කොලයක් අතේ උණ්ඩි කරගෙන හිඟන්න ගාවින් යනගමන් ඒක දෙන්නයි කියල පොර දිහා  බැලුවම, මෙන්න බුවා මං දිහා බලලා අහක බලාගත්තා.අතේ පයේ මජං , කසිකබල් කොට කලිසමකුයි මජන් ගෑවුණු ටී ෂර්ට් කෑල්ලකුයි ඇඳගෙන  ගල් කුඩු  වලින් වැහුණු රබර් සෙරෙප්පු කටු දෙකකුත් දාගෙන ඒ මදිවට බුලත් විටකුත් හප හප හිටපු මාව ඒ මනුස්සයට පේන්න ඇත්තේ ඌටත් වඩා නට්ටන් වෙච්ච හිඟන්නෙක් විදියට.  දෙනවද නොදෙනවද කියල හිතල , එක්කෝ දැන් මේක දුන්නොත් ඒක පොරගේ තත්වෙට මදිකමක් වෙයිද දන්නේ නැති නිසා පාරිශුද්ධ පුණ්‍ය චේතනාව අකුලගෙන සාක්කුව ඇතුලෙම දහයේ නෝට්ටුව අතෑරලා බේකරි කඩේට ගොඩවැදුන.



කෙටි කෑමක් කාලා බීම එකක් බොන්න හිතාගෙන මේසෙකින් වාඩිවුණු මං ගාවට වේටර් අයියෙක් ඕනෑවට එපාවට කිට්ටු උනා . "මල්ලි මොනවද?" . මුගේ අම්මට.. වෙනද මං මහත්තය. වෙනදට වතුර වීදුරුව පට ගාල මේසෙට වඩින්නේ. අද? "  ෂෝටීට්ස් ගේන්න" ඔන්න එතකොට කොහේදෝ ඉඳන් මගේ ටිප් එකට හුරු වෙච්ච මාව දන්න වේටර් අයියෙක් එතනට පාත් උනා. " මහත්තය, මොකෝ අද මේ? වැඩක් වත් කරකර ඉන්නගමන්ද?" " ආ ඔව් අයියේ, පොඩි කෑල්ලක් ගන්න ආව" . ළඟ මේසේ හිටපු කට්ටිය මගේ මූණ දිහා බලන් ඉද්දීම අඳුනන වේටර් අයියා බනිස් ට්‍රේ එක ගෙනත් දුන්න මේසෙට. බනිස් ගෙඩි දෙකකුත් ගිලලා අලියා බීම බෝතලේකටත් වගකියල, එතනින් පිටත් උනේ වෙනදට වඩා කීයක්හරි ගානකුත් වේටර් අයියට දීල. හිඟන්නටත් බාල්දුවෙලා හිටපු මගෙ තත්වෙ උස්සල තියල ,වේටර් අයියා කෙරුවේ සුළුපටු වැඩක්යැ. 

 
ව්‍යාපාරික ස්ථානයකට ගොඩවදින කස්ටමර් කෙනෙකුට ඇඳන් ඉන්න ඇඳුම, තත්වය නොබලා මහත්තය, එහම නැත්තං "සර්" කියල අමතන්න ඕන කාට උනත්. මගේ නං තියරිය ඒක. මගේ ගල් වැඩපලට එන අලුත් කස්ටමර්ලා ඔක්කොටම මං කතාකරන්නෙ "මහත්තය"  කියල. එන පුද්ගලයා හාඩ්වෙයා හිමියෙක් වේවා, වැඩකරන ලොරි ඩ්‍රයිවර් කෙනෙක් වේවා මගේ වැඩපලේ ඒ තියරිය ක්‍රියාත්මකයි. හිතවත් උනාට පස්සේ නං ඉතින් ඒක , අයියේ ,මල්ලියේ, මචං ටයිප් එකට එනවා කොහොමත්. මහත්තය කියල කියෝගන්න තියන කැමැත්ත නෙවෙයි මෙතන තියෙන්නෙ. එහෙම කියෝගන්න තරම් හීන මානයක් මට නෑ.  මොන මනුස්සයට උනත් ගරුත්වයක් ඇතුව කතාකරන්න ඉගෙනගන්න පුළුවන් නම් එක හොඳ ගුණාංගයක්. ගොඩක් වෙලාවට සිංහල ව්‍යාපාරිකයෝ ගාව මේ ගුණාංගය නෑ. මම දැකල තියනවා ඇමරිකානු හමුදාවේ උසස් නිලධාරීන් පවා යුධෝපකරණ වාර්තා වැඩසටහන් වලට එන මාධවේදීන්ටත් කතා කරන්නේ "සර්" කියල. ඉස්පිරිතාලේ  කක්කුස්සි හෝදන මනුස්සයටත් ,දොස්තරටත් තමන්ගේ රාජකාරිය ඉවරුනාම එකට කතාකරකර යන්න, තේ එකක් බොන්න පුළුවන් විදියේ මානසික මට්ටමකට තාමත් අපේ මිනිස්සුන්ට එන්න බැරි වෙලා. ඒ මට්ටමට තියා ආසන්නයට වත්. ඔන්න ඔන්න මාතෘකාවෙන් පිටට යනවා. මම කතාකරන්න ගත්තේ මනුස්සයෙක්ගෙ ඇඳුමෙන් සහ පිට පෙනුමෙන් ඒ මිනිහ මනින එකට විරුද්ධව.



බස් එකක ගියත් හොඳට ඇඳලා කරලා හිටියේ නැත්තන් කොන්දොස්තර කතාකරන්නේ එක්කෝ අයියේ, මල්ලියේ කියල. එහෙම කතාකලා කියල වැරද්දක් නැති උනත් මම නම් ඒකට කැමති නෑ. ලෙන්ගතුකමින් අය්යේ මල්ලියේ කියල කතාකරන හැඟීමක්  නෙවෙයි එතනින් පෙන්නුම් කරන්නෙ. නම නොදන්නා  පිටස්තරයෙක්ට ආමන්ත්‍රණයට යොදාගන්න වචනයක් විදියට විතරයි. හොඳට ඇඳපැළඳගෙන ඉන්න පුද්ගලයෙක්ට ඕනෙම කෙනෙක් කටපුරා "මහත්තය" කියල ආමන්ත්‍රණය කරනවා අපේ සමාජයෙ.එහෙම බැලුවම මහත්තයෙක් වෙන්නේ කලිසමක් ඇන්දොත් විතරද?


එකදවසක් උපන්දිනේට තෑග්ගක් විදියට මට  ගිටාර් එකක් අරන් දෙන්න මගෙ බිරිඳට  උවමනා වෙලා අපි දෙන්න බෞද්ධාලෝක මාවතේ "යමහා මියුසික් සෙන්ටර්" එකට ගියා. ඒකෙ ඉන්න සේල්ස් රෙප් කෙනෙක් "මේක හොඳයි මචං , මේක නං ගණන් මචං" කිය කියා තමයි ගිටාර් පෙන්නුවේ. මට හොඳට තේරුණා සමහර මිල අධික ගිටාර් පෙන්නකොට " මේක නං ගනං , මේක ගන්න උඹට සල්ලි නෑ" වගේ හැඟීමක් හිතේ රඳවගෙන තමයි ඌ මට ඒවා පෙන්නුවේ . "ඔය එයාව අඳුනනවද?" කියල මගෙ බිරිඳ එනගමන් මගෙන් ඇහුවේ තොර තෝංචියක් නැතිව ඌ මට "මචන් හුචන් " කිව්වා නිසා වෙන්නැති. ජාතික ඇඳුම විදියට ඩෙනිමයි, ටී ෂර්ට් කෑල්ලකුයි ඇඳලා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන බැකිංහම් පැලස් එකට යන්න උනත් දෙපාරක් නොහිතන මාව ඌට පේන්න ඇත්තේ නිකන්ම නිකං "හිපාටුවෙක්" විදියට වෙන්නැති. බලන්ගියාම ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ.



ගල් වැඩපළට යන එන ගමන් ගමේ හංදියේ කඩපිල් ගාව අහලපහල නෑදෑයෝ , හිතවත් මිනිස්සු එක්ක  නවත්තල කයිවාරු ගගහ ඉන්නවා මං ගොඩක් වෙලාවට. උදේට හවසට  "කිට මරලා" ඔපිස් වල  වැඩට යන අහලපහල හිතවත් සමහරු , කබල් කොට කලිසමකුයි , ටීෂර්ට් කබලකුයි ඇඳගෙන බුලත් විටකුත් හප හප ඉන්න මං දිහා බලලා  හිනා වෙලා යද්දී මං දන්නවා ඒ හිනාවෙන්නේ කින්ඩියට කියලා. දවසම මජං ,ගල්කුඩු නාගෙන මලපෙරේතයෙක් වගේ ඉන්න නිසා මගෙ රස්සාව "චාටර්" රස්සාවක් කියල උන්ට හිතෙනවා ඇති. අපේ ගම්වල මිනිස්සුන්ගෙ විදියට කමිසේ කලිසම ඇඳලා උදේ ගිහිං හවස ගෙදර එන පුද්ගලයා තමයි පොර. අනිත් උන් හිපාටුවෝ. ගමේ මගුලටයි, මළගෙදරටයි හැම එකටම නිදිමරන , tv එකක් කොම්පියුටරයක් ගෙනාවම ඒක අටවගන්නත් ඕනේ වෙන, වතුර මෝටරේට හුලන් ඇද්දත් එක හදවගන්න එක්ක යන, ගමේ එවුන්ගේ දහසකුත් එකක් පක්කලි වැඩ ඔක්කොම කරන මටත් අපේ ගමේ අපේම එවුං සලකන්නේ එහෙමයි. එහෙම බැලුවම නොදන්නා සමාජය ගැන කවර කතාද?? 


මං හිතන විදියට "ඇඳුම" මිනිස්සු මණින මිනුම් දණ්ඩක් විදියට මුලින්ම යොදාගන්නේ උසාවියෙදි . සුදු අත්දිග ෂර්ට් එක ඇඳලා බෙල්ලෙ බොත්තමත් පියවල උසාවියට ගියේ නැත්තං ලැබෙන දඬුවමත් තද වෙන්න පුළුවන් කියලයි මම නං අහල තියෙන්නෙ. පොලිසියටත් වැරද්දක් කරලා ගියාම, හොඳට ඇඳලා ඉන්න මිනිහගේ පැත්ත තමයි  පොලිස්කාරයත් අරගන්නෙ. වැරැද්ද කරපු එකා වැදගත් විදියට පේනවා නම් දඬුවම උනත් දෙන්නේ ගරුසරු ඇතුව. වැරැද්ද සිද්දවුන එකා වැදගත් විදියට ඇඳලා කරලා ඉන්නවනම්, කරපු එකා ක්‍රමේකට ඇඳලා නැත්තන් ඌට අනිවාර්යෙන් ගුටිකන්නත් සිද්දවෙනවා. මේවා  උඩ ඉඳන්ම වෙනස් වෙන්න ඕනේ අනාගතේදි වත්.


ඇඳුම වගේම තමන් යන එන බයිසිකලෙන්, වාහනෙනුත්,ජීවත්වෙන නිවසේ ප්‍රමාණෙනුත්, කරන රස්සාවෙනුත්, පාස් කරපු විභාග වලිනුත්, පිට රට වල ඉන්න ඥාතීන් සංඛ්‍යාවෙනුත් මිනිස්සුන්ව මනින්න මිනුම්දඬු සමාජය තුළින්ම හදාගෙන. පදවගෙන යන වාහනේ වටිනාකම අනුව ඒ පුද්ගලයාගේ වැදගත්කමත් අඩු වැඩි වෙනවා. ඒ කාරණාව තමන්ගෙ මට්ටමත් එක්ක ගලපගන්න විදිය පිළිබඳව අත්දුටු  සාක්ෂියක් මට දැනිල තියනවා. තරුණ වයසෙදි (20,25 කියමුකෝ) කාර් එකක  යනගමන් පාරෙ ඉන්න කෙල්ලෝ දිහා බලබල යද්දී පෙරළා ප්‍රතිචාර දක්වන ( බැලුවම ඇඹරෙන්න පටන්ගන්න ) කෙල්ලෝ මෝටර් සයිකලේක යනකොට එහෙම වෙන්නේ නෑ.  ඒ වගේම මෝටර් සයිකලේක යද්දි ප්‍රතිචාර දක්වන කෙල්ලෝ කාර් දිහා බලන්නේ වත් නෑ ගොඩක් වෙලාවට.ත්‍රීවීල් වල දඩින් බිඩින් ගාගෙන සිංදුවකුත් දාගෙන යන කොල්ලෝ දිහා බලන කෙල්ලො කාර් , බයික් දිහා බලන්නේ අඩුවෙන්. මම මේ කියන්නෙ ආකර්ෂණය ගැන මිසක් වෙන දෙයක් ගැන නෙවෙයි. තමන්ගේ සමාජ මට්ටම  තෝරාගන්න මිම්මක් විදියට ඒකත් යොදාගැනෙනවා එහෙම බැලුවම. 
 


ඉස්සර කොන්ඩෙ වවාගෙන රැවුල වවාගෙන ඉන්නකොට තාත්තගෙනුත් බැනුම් අහන්න උනා. " බලපන්කො මළ පෙරේතයවගේ හැටි විතරක්, කපාගනින්කෝ ඔය බූටෑව වගේ තියන රැවුලයි කොන්ඩෙයි " කියනවා මං අනන්තවත් අහන්න ඇති. දැන් නම් වැඩ වැඩි කම නිසාවට සහ කම්මැලිකම නිසා ඔය දෙකම සමහර වෙලාවට වැවෙන්න ඇරලා තිබුණත් ඉස්ටයිල් එකක් විදියට වවන්නෙ නැත්තේ ටිකෙන් ටික මැදි වයසට ලංවෙන නිසා වෙන්නැති. මීට අවුරුදු ගානකට කලින්, රැවුල කොන්ඩෙ  වවන කොල්ලන්ව සමාජයෙන් ප්‍රතික්ෂේප උනා. කුඩුකාරයෙක් , ගංජා කාරයෙක් විදියටයි අපිළිවෙලට රවුල් කොණ්ඩ වවාගෙන ඉන්න කොල්ලන්ව ඒ කාලේ හැඳින්නුවෙ. දැන් ඒ තත්වය වෙනස් වෙලා. එහෙම ඉන්න කොල්ලන් දැන් කව්රුත් ඒ මිම්මෙන් මනින්නේ නෑ. 



ඒ කාලේ "පීචං ගායකයා" වෙච්චි ජෝතිපාල අද නැතුවම බැරි කළාකාරයෙක්. මිනිස්සුන්ගේ ඇතුලාන්තය අපිට මනින්න ක්‍රමයක් නෑ. සුදු ඇඳුම් ඇඳගත්ත අපරාධකාරයෝ වගේම වැරහැලි ඇඳගත්ත සාන්තුවරුත් අප අතර ජීවත්වෙනවා. හැම පුද්ගලයෙක්ම තමන්ට ආවේණිකයි.හැම පුද්ගලයා තුළම අවේණික වටිනාකම් තියනවා. ඒ නිසාවට මිනිස්සු ඇඳුමෙන් මණින ක්‍රමයට තිත තියන්න කාලය ඇවිත්. ටිකෙන් ටික හරි අනාගතේදි මේ හැම මිනුම් දණ්ඩක්ම  අහෝසි වෙලා යාවියි කියල හිතනවා...

26 comments:

  1. ලස්සන රචනාව... ඉස්තුතියි

    ReplyDelete
    Replies
    1. නෝන්ඩියක් දැම්මද මන්දා .. ඒ උනත් ඉස්තුතියි :D

      Delete
  2. Replies
    1. මාතලන් අයියා ... මෙව්වා ලියන්න එපාද??

      Delete
    2. එළ... පොඩ්ඩක් දිග වැඩියි.. එතකොට මිනිස්සු කියවන්නේ නෑ.. කතන්දර බ්ලොග් එක බලපන්..

      Delete
    3. මාතලන් අයියා.. මම මේකට අලුත්.. උඹලගේ අදහස් විවේචන වලින් තමයි මම මේක දියුණු කරගෙන දිගටම කරගෙන යන්න හදන්නේ. බොහොම ඉස්තුතියි.

      Delete
    4. මාතලන් ගෙන් අහලද බං උඹ බ්ලොග් ලියන්නෙ? උඹට හිතන දෙය අලියපං.මාතලන් කියන්නෙ පරන පරම්පරාවෙ එකෙක්. උන්ට කොම්පියුටර් අයි ටී කියන්නෙ අලුතෙන් ඉගෙනගත්ත දේවල්. කකා ගෙන් අහන්නෙ මොකටද? දිගට ලියන්න එපා කියල එකක නැහැ.මේ ලිපිය හරිම ඉන්ටරස්ටිං . ඉතින් ඔය නාකි හුටංලා කිව්වා කියලා මේක කොට කරන්නෙ මොකටද?

      Delete
    5. එහෙම එක එකා කියනවිදියට ලියනවත් නෙවෙයි බං. මාතලන් සහෝදරයා බ්ලොග් කෙරුවාවේදී අතහිත දෙනවා. අලුත් උන්ගේ වගේම පරණ උන්ගේත් අදහස් වැදගත් මට නම්. තක්ශනේ දියුණු උනා කියල මිනිස්සු හිතන පතන විදිය වෙනස් උනාට මිනිස්සු දියුණු වෙලා නැහැ.පරණ මිනිස්සු අලුත් දේවල් වලට adapt වෙනවා කියන්නෙ එක උන් තුළ තියන ලොකු හැකියාවක්. අලුත් පරණ කියල වෙනසක් නෑ මිනිස්සුන්ගෙන් ගන්නපුළුවන් දේවල් බෝමයි. අපි නොදන්නා මගුල් කරන්න යද්දි දන්නා පුද්ගලයන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා. මගේ හොඳම යාලුවෙක් මට ගොඩක් උදව් කරනවා මේක කරගෙන යන්න. අටමා මට පුදුම සප් එකක් දෙනවා. මාතලන් මෙතෙන්ට ඇවිත් අදහස් පල කරනවා. උගේ සින්ඩියේ මෙව්වා එල්ලනවා. මෙතනට ඇවිත් අදහස් පලකරන කට්ටියගෙන් මට ලොකු හයියක් ලැබෙනවා. මගේ හිතට එන අදහස් පල කිරීමෙදී ඒ දේට සැලකිල්ලක් දක්වන හොඳ කියන වගේම බනින උන්ටත් මම ගොඩක් ලැදියි. මහා සමාජ පරිවර්තනයක් කරන්න බැරි උනත් කීපදෙනෙක් හරි මගේ හිතේ තියන දේවල් කියවල යන එක මට ලොකු හයියක්. අප්‍රමාන සතුටක් එකෙන් මම විඳිනවා. මේකේ තියන views ගානෙන් බාගෙට බාගයක් මගේම වෙන්නැති. සරින් සැරේට ඇවිත් කව්රුහරි බලලද අදහස් දක්වලද කියල බලපුවම එහෙම බලල අදහස් දක්වල තිබුනම , මගේ අදහසුත් මිනිස්සු බලනවා නේද, මමත් දැන් බ්ලොග් කාරයෙක් නේද කියල හිතෙනකොට අහිංසක සතුටක් හිතට එනවා. උඹේ මාතලන් ගැන කියපු අදහසට මම එකඟ නෑ... ඒ උනත් උඹේ දිරිගැන්වීමට අනේක වාරයක් ඉස්තුතියි.

      Delete
  3. පොඩ්ඩක් ඉන්නකො. දැන් එතකොට ඇඳුමෙන් මනින්න එපා කියලද කියන්නෙ?
    එතකොට මොකෙන්ද මනින්නෙ? අපේ අතේ හැම වෙලාවෙම අඩි කෝදුවක් ටේප් එකක් තියනවනං ඒකෙන් මනින්න පුළුවනි. ඒත් එහෙම නෑනෙ ගොඩක් අවස්ථාවලදි.
    ඉතින් ඇඳුමින් මනිනව ඇරෙන්න වෙන මොකක්ද කරන්න පුළුවන්?

    එහෙම නෙවෙයි මගෙ අදහස මෙහෙමයි.
    මිනිස්සු මනින්න එපා එකපාරම. පුළුවන්තරම් අන් අයට ගරු කරන්න. නොදන්න කාට හරි කතා කරනකොට මහත්මයා, මැතිතුමා, සර් / මැඩම් කියල කතා කරන්න. මධ්‍යම පුරුෂ විභක්තියෙන් වරනැගෙනවනම් ඔබතුමා / ඔබතුමිය කියල කතා කරන්න. ඔෆිස් එකක ගෑනු කෙනෙකුට මැඩම් කිව්වහම ඕනැ වැඩක් කරල දෙනව, සත්තයි අත්දුටුවයි. ඒ වගේම තමයි පොලිසියට උසාවියට යනකොටත් ටයි පොල්ලක් එහෙම දාගෙන යන එකේ වාසියක් තියනව. හැබැයි ඒ වාසියෙන් අයුතු ප්‍රයෝජන ගන්න එහෙම එපා ඔන්න.

    හිඟන්නන්ගෙ ප්‍රතිචාර ගැන එච්චර හිතන්න එපා. උන් කැමති නෑ වචනයක් අපතෙ යවන්න. නිශ්චිතව දන්න දුප්පතෙකුට හැර වෙනත් අයට උදව් කරන්න දඟලන්න එපා. (උදව් කරන්න එපා කියල නෙවෙයි මම කියන්නෙ උදව් කරන්න දඟලන්න එපා කියලයි.)

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාව හරි.. උඹලගේ අදහස් වලට ගරු කරනවා. අදහස් විවේචන වලින් හොඳ පන්නරයක් ගන්නම්. බොහොම තුති.

      Delete
  4. කතාව ඇත්ත දැන් මිනිස්සු කෙනා බලන්නේ ඇදුම් වලින්. සල්ලි තියෙන ලොකුවට අදින්නේ නැති මිනිස්සුත් ඉන්නවා . සල්ලි නැති හොද පොෂ් විදිහට අදින මිනිස්සුත් ඉන්නවා .. . ඔය වුන දේවල් ඔදක් අයට වෙනවා.. සමාජේ හැදිලා තියෙන විදිහ තමයි... අනිත් එක තමයි දැන් බස් වලට සල්ලි ඉල්ලන්න නගින එවුන්.. පටන් ගන්නෙ කැමතිනම් විතරක් ආධාරයක් කරන්න කියල . දුන්නේ නැතුවම යන්නේ රවල. . . විරිදු කියන එකෙක් නම් දුන්නේ නැති අයව පල කරලා විරිදුවක් කියල යන්නේ.. . . . . කියපුව අදාළ නැද්ද මන්ද..

    ReplyDelete
    Replies
    1. එක හරි බං. සමහර එවුං බැනලත් බහිනවා දුන්නේ නැති උන්ට .. අදාළ වෙන නොවෙන ඕනෑම දෙයක් ලියපල්ලා මේකේ, බැනපල්ලා, ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා.

      Delete
  5. මේක නම් මම ලිව්වද කියල හිතෙන තරම් මට සමීප පෝස්ටුවක්.ඇදුම ගැන මගෙ කවදාවත් සැළකිල්ලක් තිබුනෙ නෑ.ඇදුමට ලැබෙන සැලකිල්ල ඉතා හොඳින් අත්විදින්න මට ඕන තරම් අවස්ථා ලැබිල තියනව
    අපි සමාජයක් විදියට මහා හීනමානෙකින් පෙළෙනව.ඒකයි බාහිර දේවලට මෙහෙම වටිනාකම් දෙන්නෙ.

    ඊට කාලෙකට ඉස්සර එක්තරා පුද්ගලයෙකුගෙ ගෙදර යන්න මට සිද්ධ වුනා වුවමනාවකට .
    එයාගෙ ගෙදර කපරාරු කරලවත් නෑ,බිමත් සවුත්තුයි අමාරුවෙන් ජීවත් වෙන්නෙ,තාත්ත දෛනික කුලී කරන්නෙ
    ගෙදර එකෙක්වත් මාව ගනන් ගන්නෙ නෑ.තේ එකක් වත් දෙන්නෙ නෑ.ටික දවසකට පස්සෙ මං ගැන ආරංචි වෙලා ඊට පස්සෙ මං ගිහාම මාර සැළකිලි.මට තේ එක දෙන්නෙ හාමුදුරුවන්ට දානෙ දෙනව වගෙ ගෞරව පුරස්සරව.මට ඇතිවුනේ කළකිරීමක්.ඔය කියන කාලෙ අපි නිර්ධන පන්තිය ගැන හැඟීමකින් හිටපු කාලයක්.උන්ගෙ විමුක්තිය ගැන උන්ටත් නැති අමාරුවක්නෙ අපට තියෙන්නෙ කියලත් හිතුන

    හැබැයි මේ ගතිය මං පොඩිකාලෙ ඉදන්ම තිබුන.ඉස්කෝලෙදි මං හිටියෙ දුප්පත්ම ළමයි එක්ක.ඒක පාසලේ ගුරුතුමියන්ට ඉවසන්නම බැරි වුනා.ඔවුන් නිතරම අම්මගෙ කර්යාලයට ගිහින් " මැඩම් බලන්න පුතා කාත් එක්කද ඉන්නෙ කියල" කේළම් කියනව

    මට ගෙදරිනුත් තරවටුව.ඒ අය විහිළුවට කීවෙ ඉස්සර අපේ ගෙදරට පුරුදුවෙලා හිටපු හිඟන්නෙක් මැරිල ඉපදිලා කියල.ඇත්තද දන්නෙත් නෑ.

    මේ වගෙ අත්දැකීම් ගොඩයි.ඇදුමෙනුත් සුපිරිම අයිටම් එක තමයි ටයි එක.ටයි එක දැක්කහම මිනිස්සු නැගිටින්නෙ ගැස්සිල.මම සමහර තැන්වලට යනකොට ටයි එක දාන්නෙ නැහැ.මම ඒකට ආස නැහැ.ටයි එක නැතිව බල්ලෙක්වත් මාව ගනන් ගන්නෙ නැහැ.ටයි එක දාල ගිය දාට වෙව්ලනව.

    අනික තමා වාහන. වාහනවලට මාර සැලකිල්ලක්නෙ තියෙන්නෙ.මම ෆුට් සයිකලෙත් යන කෙනානෙ,වාහනේ වටිනාකම වැඩිවෙනතරමට සැලකිලි. මරුටිනම් බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ.හැබැයි ඇල්ටෝ වගෙ ඒවත් ඉන්ඩියන් කියල හිතල නොදන්න එවුන් තමන්ගෙ ගෞරවය අඩුවෙන් දක්වනව.එතනින් එහාට අවුලක් නෑ

    ඉස්සර තරම්ම නැතත් ඉංග්‍රීසි වලටත් තැනක් නැත්තෙම නෑ.හැබැයි චතුර ලෙස වහරන්න ඕන.
    ප්‍රභූන්ට ඇති ඥාතිහිතවත්කම තව එකක්

    ඇදුමෙන් මං ගැන පූර්ව විනිශ්චයකට එළබෙන කෙනාගෙ ඒ විනිශ්චය ස්ථිර වෙන්නෙ මාත් එක්ක සුහද වුනහම.මං නිතරම පීඩිතය ගන කතා කරන නිසා.
    දවසක් සංවාදෙකදි මම රදලයන්ට එරෙහිව ආවේගශීලීව කතා කරන්න ගත්තහම.කෙනෙක් එකපාරටම මගෙ අයිඩෙන්ටිය සාක්කුවෙන් ගත්ත.එහෙම කලේ විහිළුවක් හෙම කරල.ඌට ඕන වුනේ අයිඩෙන්ටියෙ වාසගම බලන්න.ඒක බලල ඇස් උඩ ඉන්දවගෙන බිරාන්ත වෙලා ආපහු දුන්න.

    " උස්තැන් දැක හැකිළෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ " කියල ඇස් මහින්ද හිමි කිව්ව .කතාව ඇත්ත. මට හිතෙන්නෙ අපේ සමාජයම මහ නිවට සමාජයක් කියල.

    ජාතික අභිමානය ගැන කතා කළාට අපේ යටි සිතේ මොකක්දෝ මන්ද මහ හීනමානයක් තිබෙනව.උද්ධච්ච විදියට හැසිරෙන්නෙ අනුන් පහත් කරල කතා කරන්නෙ,මොකක් හරි දුර්වලකමක් දැකල හිනාවෙන්නෙ අපහාස කරන්නෙ ඒ හීනමානය නිසයි.අධිමානය කියන්නෙත් හීනමානයෙ අනෙක් පැත්ත කියනවනෙ.

    ටිකක් කොමෙන්ට් එක දිගුවුනා. සමාවෙන්න
    අගේ අත්දැකීම් එක්ක පොඩි සමාජ විග්‍රහයක් කරන්නත් හිතුව ඒකයි දිගුවුනේ

    ReplyDelete
    Replies
    1. අපූරු විග්‍රහයක්... කිසිම දිග වැඩියක් නෑ... බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට.... හිතන පතන විදිය මගේ වගේ උනාම බොහොම ලෙන්ගතුකමක් දැනෙනවා....

      Delete
  6. ඇඳුමෙන් මණින එක ගොඩක් අය කරනවනෙ.ඒක ඒ අයගෙ ගොන්කම කියල මමනම් ගණන් ගන්නෙ නෑ.

    ඔය මෝඩ වැඩේ නිසා මගේ එක යාළුවෙක් මිනිහගෙ අක්කර කීපෙක රබර් ඉඩම, තව පාළුවෙච්චි වල් වැදිච්චි අක්කර දෙකතුනක්, කුකුල් කොටුවක් වයසක තාත්තටම කරන්න කියල රුපියල් දහදාහෙ පඩියට ෆෝමන් ජොබ් එහෙකට කිට ගහල මොරටුවට ආව උදේ හවහ, කළුග්ගල ඉඳගෙන.

    පස්සෙ ඒ කම්පැනිය වැහුව, මූ ගෙදර නැවතුනා. තාත්ත නාකි නිසා කොටකළිසමට බැහැල වගාවම කරන්න ගත්ත. දැන් මිනිහට පොඩි බට්ට වෑන් එකක් තීනව, කොම්පැනිය නොවැහුවනම් තාම බස් එකේ කිට පිට මහත්තය එනව.

    ReplyDelete
    Replies
    1. ඉතින් සහෝදරයා ගොන්කම නේන්නං එකෙන් පේන්නේ.. අඳුරෙන් එලියට ඇවිත් ඔබගේ මිත්‍රය....

      Delete
    2. ඉන්දික අයියන්ඩි ගල්නෑව තඔුත්තේගම ගල්ගමුව මහව පැත්තෙ කොල්ලෝ අක්කර 5, 6 ගොඩ මඩ ඉඩම් දාලා කටුනායක ඇවිත් 9000 පඩියට මහනවා වැව් ඇල අමුනු දාලා ඇවිත් ටැප් එකෙන් නානවා,

      Delete
  7. මගේ අවවාදය මෙයයි.

    ඕනෑ ඇඳුමක් ඇදන් යන්න. හැබැයි අර ගල්කුඩුවලින් ප්‍රවේසම්වෙන්න. ආස්වාස කරන්න එපා. මාස්ක එකක් දාන්න.

    මොකද, ඇඳුම් වලින් ලෙඩ හැදෙන්නේ නැති වුණත්, ගල්කුඩු ඵෙනහැල්ලේ තැන්පත්වෙලා පස්සේ භයානක තත්වයන් උද්ගත වෙන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. දැන් මාස්ක් එකක් දාගෙන ඉන්නේ. පෑවිල්ල සැර වැඩිකමට පුදුම විදියට දූවිල්ල... ඉතුතියි බං උපදේසෙට ... :D

      Delete
  8. ඇදුමෙන් මිනිස්සු මනින එක හැම තැනම තියනවා..අපේ කාකා අයියන්ඩිගේ අවවාදය ගැන සැලකිලිමත් වෙයන්.
    මම ගමේ ගියාම සරම ගහලා තමයි ටවුමට බහින්නෙ දවසක් කාර් එක මගේ යාලුවා‍ෙ බෝයා ලග දාලා මම ගියා සැලුන් එකට මාව සත පහකට ගනන් ගත්තෙ නෑ එතන හිටපු එවුන් ඇත්තටම ඒ වේලාවේ ඒක මට තෙරැනේ නෑ මට කෝල් එකක් ආවා කාර්්‍යලයෙන් ෂිප්මන්ට් එකක් හිරවෙලා මට මල ඡම්පින් ඉස්සරවෙලාම කතා කරපු ඒකිට දුන්නා දුං විසික්කා වෙන්න ඊට පස්සේ අනිත් එවුන්ට එන්න කියලා ස්පිකර් දාන්න කියලා ඇරියා කට්ටියටම විනාඩි 10ක් විතර සුද්දාගෙ භාෂාවෙන් තමයි කතාව ගියේ එතකොට බෝයාත් ඇවිත් හිටියා මම කාර් එකට ගිහින් සිගරට් පැකැට් එක අරගෙන සිගරට් දෙකක් පත්තු කරගෙන යාලුවට විස්තරේ කිය කිය ඉන්නකොට සැලුන් එකේ බුවා “සර් කොන්ඩේ කපනවා නම් එන්නලු“..මම ටක් ගලා පුක තද කරගත්තා නැත්නම් මට පුකෙන් හිනා යයි කියලා.

    ReplyDelete
    Replies
    1. හහ්හා.... මරු කතාව... උඹ දැක්කෙ නැති උනාට කට බලියන් බලන් ඉන්න ඇති...

      Delete
  9. මම ගමේ ගියහම වෙලේ කඩේට ගිහින් බුලත් විටක් අරන් එතන බංකුවට වෙලා කනව, ඒක මගෙ ප්‍රියතම දෙයක්.
    ඇදුම බලල මිනිහෙක් ගැන මනින එකටනම් මමත් එකග නෑ, හැබැයි අපිළිවෙලට අදින එකටනම් මම කැමැති නෑ , විශේෂයෙන් රස්සාවට එද්දි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් රස්සාවට යද්දි පිළිවෙලට ඉන්න ඕන තමයි.. මගේ තියන හුචක්කු මැෂින් එක්ක ඕක තමයි කොරන්නම බැරි. කොයි වෙලෙත් කැඩෙනවා.. ඊට පස්සේ ඉතින් නාපන් පුතේ මජං....

      Delete
  10. ඇඳුම පැළඳුම ගැන අනවශ්‍ය අවධානයක් අවශ්‍ය නෑ. එත් යම් කිසි අවධානයක් දීම අවශ්‍යයි . මොකද කොච්චර එපා කිව්වත් ඇඳුමෙන් මිනිස්සු මැනීම කියන එක තාම සිද්ධ වෙන නිසා . අනික අපි යන තැනකට වුනත් අපේ ඇඳුම නිසා යම් අගෞරවයක් හෝ අපහසුතාවයක් වෙනවනම් ඒ ගැනත් අපිට සලකන්න වෙනවා .
    නිකං හිතපන් අපේ හොඳම යාළුවගේ වෙඩින් එකට අපිට සාමානය විදිහට ඇඳලා යන්න බෑනේ, එක ඌට කරන අගෞරවයක් වගේ වෙනවා . ඒ නිසා අනවශ්‍ය අවධානයක් නැතුව සාමානය වධානයක් තියාගත්තම හොඳයි

    ReplyDelete
  11. හොද කතාවක්. නමුත් මෙහෙමය්. සමන්ය්යෙන් තැනකට ගැලපෙන විදියට ඇදගෙන යනවානම් එ අස්වස්තාවේ ගෞරවය සහ තමාගේ ගෞරවය අරක්ශා වෙනවා. නුමුත් අදින ඇදුම ට සාපෙක්ශව ආම්න්ත්‍රන්ය කරන එක ටිකාක් හොද මදි. කොහොමත් සියලු දෙනාටම ගෞර්ව පුර්වකව ආමන්ත්‍රනය කරන් එකෙන් තමාගේ වැදගත් කම ප්‍රදර්ශනය වෙනවා. සමාවෙන්න මගේ කැඩුනු සින්හල වලට. ථම ඇල් බෝට්

    ReplyDelete
  12. මටත් මේ ජාතියෙ ජවුසං වැඩ කිහිපයක්ම වෙලා තියනවා වෙලාවක ලියන්න ඕන :-D

    ReplyDelete