ලෝකල් අන්ඩටේකර්ගේ රා තැබෑරුම...

සජ්ජා මෝටර් ඉංජිනේරු ශිල්පේ හදාරපු කාලෙ ලබපු ජීවිතේ මිහිරිතම  අත්දැකීමක් ගැන මතක සටහනක් තියන්නයි මේ සූදානම. ඔරුගොඩවත්ත මෝටර් ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ අවුරුදු තුනක මෝටර් කාර්මික පාඨමාලාව 2005 අවුරුද්දෙදි හදාරන අතරතුර City & Guilds කියන බ්‍රිතාන්‍ය ආයතනය මගින් පවත්වන Motor Vehicle Engineering අංශයේ විභාග වෙනුවෙනුත් අපි පුද්ගලික ආයතන වල දේශන වලට සහභාගී උනා සහ ඒ වෙනුවෙන් ඉගෙනගත්ත.  ලංකාවේ ප්‍රධානපෙළේ ජපන් වාහන නියෝජිත  ආයතනයක අවුරුදු දෙකක ප්‍රයෝගික පුහුණුවකත් නියැලිලා හිටිය. ආයතනයේ නම මෙතන සඳහන් කරන්නෙ නැත්තෙ ඉස්සරහට ඔය ගැන ලියවෙන සමහර ලිපි වලින් ආයතනයටත් නරක නාමයක් එන්න ඉඩ තියන නිසාවට සහ මොනවා උනත් යමක් ඉගෙනගත්තු තැනේ  නම්බුව තියන්න ඕන කියන සිතුවිල්ල හිතේ තියන නිසාවට.  City & Guilds  Motor Vehicle Engineering Advance Diploma පාඨමාලාවේ න්‍යායික විභාග සමත් උනාට පස්සෙ ප්‍රයෝගික පරීක්ෂණයකටත් පෙනී හිටින්න ඕන. ඒක සම්පූර්ණ කරලා ප්‍රථිපලේ මෙහෙන් යැවුවට  පස්සෙයි Red Ribbon සහතිකය සජ්ජුලුවන්ගෙ රටෙන් මෙහාට තැපැල් වෙන්නෙ.   ඔන්නොය ප්‍රයෝගික පරීක්ෂණයට පෙනීහිටින්න පරීක්ෂණ මධ්‍යස්ථානය විදියට අපට යන්න වෙලා තිබ්බෙ ඒකල ජිනසේන ආයතනයට. මෝටර් කාර්මික පුහුණු පාසලක් ඒ දවස් වල ඒ ආයතනයෙත් තිබුණ. වාහන වල ඇන්ජින් කෑලි, ගියර් පෙට්ටි, අනං මනං ගැජට් කෑලි මහගොඩක් ඒ ආයතනයේ සිසුන්ගෙ උගැන්ම වෙනුවෙන් ලොකු ලොකු මේස අට්ටාලවල පතබාවල , අමුණලා තිබ්බ.


අපි සෙට් එක උදේ පාන්දරම පුහුණු ශාලාවට ගොහිං  විභාග ලියාපදිංචි තොරතුරු දීල, අදාළ ගාස්තුත් ගෙවල එග්සැමිනර්ල කාරිය හම්බවෙලා මූලික පරීක්ෂණ ටිකකට  මූණ දුන්න. උදේ අටේ ඉඳන් දවල් දෙක  වෙනකල් දවස් තුනක් වැඩේට ගතවෙනව. එකොළහට හම්බවෙනව පැයක ඉන්ටෝල් එකක් . පළවෙනි දවසෙ ඉන්ටෝල් එකේ අපේ සෙට් එක එලියට බැස්සෙ මොනව හරි දෙකක් බඩට ඔබාගෙන  ප්ලේන්ටියක් ගහල දුමක් දාල කාරිය එන්න හිතාගෙන . මම, මාධවයා, සම්මා, ගොයියා, අමාරියා, විනාසයා , ගලා , සෙක්සියා ඇතුළු දහයක විතර කණ්ඩායමක් සෝටීස්‌ කඩයක් හොයාගෙන ඒකල ටවුමෙ කරක් ගහනව. ඒකල වටරවුමෙ ඉඳන් සීදුව පැත්තට මීටර් පනහක විතර දුරක් ඇවිදගෙන යද්දී මෙන්න බොලේ  ඉස්සරහ ආවරණය කරපු කඩයක  බට පැලලි දෙකක ලොකුවට රතු පාට ලැකර් වලින් "රා බොමු" කියල ලියල තියනව. පස්වණක් ප්‍රීතියෙන් පිණා ගියපු අපේ එවුන්ගෙ ඇස් එවෙලෙ දිලිසෙන්න ගන්න ඇති.  "අඩෝ ගහමුද රා කට්ටක්" සම්මගේ යෝජනාව. "පිස්සුද යකෝ , වැඩේ ඉවරවෙලා එමු" ගලා උදැල්ල දානව. යමන්කො ඉස්සරෙලා බලල එන්න. වැඩේට අදිමදි කරන සාමාජිකයො ටිකත් කරගන්න දෙයක් නැති නිසා අපි පස්සෙන් වැටුන. එතන අමුතුම වටාපිටාවක්, වාතාවරණයක්.


සෑහෙන තරමේ ඉඩ ප්‍රමාණයක ලී වලින් මේස ගහල දෙපැත්තෙන් ලී බංකු තියල . මේස පෝලිම් දෙක මැද්දෙන් ඉස්සරහට ගියාම කෙටි බැම්මක් උඩ ලෑලි ගහපු කවුන්ටරයක්. කවුන්ටරේ පිටිපස්සෙ අදටත් අමතක නොවන, අදටත් හිතේ මැවෙන "රා තැබෑරුමේ අයිතිකාරයා"ගෙ රූපය .  රෙස්ලින් ගහපු "අන්ඩටේකර්" සිහිගන්වන සද්දන්ත ශරීරය. අවුරුදු හැටක විතර වයස, අඩි හය ඉක්මවූ උස, පස්සට පීරපු කර ගාවට දික් වෙච්ච කොණ්ඩය,  සුදු වෙච්ච මයිල් වලින් පිරුණු පපුව, පරණ මොඩල් එකේ ලොක් එකක් තියන කහපාට පොකැට්ටු  වටේටම තියන කොටු කොටු සරමට උඩින් පැළඳපු බඳ පටිය. ඒ ඔක්කොටම වඩා ශරීරය විනිවිද යවනසුළු බැල්ම. " ඇයි පුතාලා...." "නෑ අංකල්, රා ටිකක් බොන්න බලන්න  ආවා" මාධාවයගෙ ක්ෂණික උත්තරේ (මොකෝ වෙන අහවල් එකට ආව කියන්න යැ) . "මං බැලුව මොකද මේ වෙනස්ම කට්ටියක් එකපාරට කඩා පැන්නෙ  කියල" . .


ඇත්ත වෙනස් කට්ටියක් නේන්නං. දහදෙනෙක් විතර හොඳට ඇඳ පැළඳගෙන සපත්තු දාගෙන එතෙන්ට රින්ගුවට  ඒ වටාපිටාවට අපේ කල්ලිය ගැලපුනේ නෑ. මීගමුවේ ඉඳන් මාළු අරගෙන එන මාළුකාරයො දෙන්නෙක් මාළු පෙට්ටි බැඳපු තැපැල් නයින්ටි දෙකක් එළියේ නවත්තල ඇවිත් රා බොනව. ඒකල ටවුමෙ ටින් බෙලෙක්ක එකතු කරන මනුස්සයෙක් ටින් බෙලෙක්ක පුරවපු හිල් හිල් ඉටි කවරෙ එළියෙන් තියල ඇතුලෙ රා සප්පායම් වෙනව. තවත් ඒ වගේ පෙනුම තියන දෙතුන් දෙනෙක් බිබී  ඉන්න තැනට  අපි කිට් බිට් ගහල ඇවිත් රා බොන්න හදනව. "ඒ මාධවය, ඉවර වෙලා එමු බං" ගලා හෙන කොක්ක. "ටිකක් බීල යමං බං, වෙරි වැටෙන්නෙ නෑනෙ, මොකෝ අරූ අපේ කටවල් ඉඹින්න එනවයැ" මාධවයගෙ කල්පනාව බොන්නමයි. කට්ටිය දැන් දෙකට බෙදිල. එකෙක් වත් බොන්න අකමැති නෑ. විභාගෙන් ඉවර වෙලාද එනවද, දැන්ම බොනවද   කියන කාරණාව වෙනුවෙන් කුටුකුටු ගානවා. "මොකද පුතාල.. ගන්නෙ නැද්ද?" අන්ඩටේකර්ගෙ ගොරහැඩි කටහඬ .  කොතනත් මැද්දට පනින මං දෙපැත්තම ශේප් කරන්න බලාගෙන " අංකල් කීය වෙනකල් ඇරලද ඔයාලා?" කියල ඇහුවෙ වැඩේ ඉවරවෙලාමැ කට්ටියත් එක්ක  එන්න හිතාගෙන. අපේ වැඩේ ගැනත් කියල ඒක ඉවරවෙලා එන්නං කියල අංකල් එක්ක ටිකක් කතා කරල බොහොම කුතුහලයෙන් මිලගණන් , බඩු වල කොලිටිය, බයිට් වල විස්තරත් අහගෙන ආයෙත් ජිනසේන එකට ගියෙ මග කඩේකින් ලාවට කාලා (හවසට අතේ සල්ලි තියෙන්නත්  එපැයි) මාධවය නොබී යන එක ගැන දෙස් දෙවොල් තියද්දි. ..
ප්‍රයෝගික පරීක්ශනේ පලවෙනි දවසෙ ඉතුරු කොටස ඉවරවෙනකල් කට්ටියම හිටියෙ වෙලාව බල බල. 


වැඩේ ඉවර උනාට පස්සෙ කට්ටියම පට ගාලා  රා තැබෑරුමට යාත්‍රා කළේ අඩියට දෙකට. ඒ වෙලාවෙ යනකොටත් ලී බංකු උඩ හිටියෙ දෙතුන් දෙනයි . දෙදාස් හතේදි ඒකල සීදුව පාරෙ රා තබෑරුමේ මිල දර්ශකය ගැන කියන්නයි මේ හදන්නෙ. රා  බෝතලයක් එතන අලෙවි උනේ රුපියල් තිහකට. කවුන්ටරෙන් ඇතුලෙ බැරල් දෙකක (ලී වැට් ද ප්ලාස්ටික් බැරල්ද කියල හරියටම මතක නෑ) එකක හොඳට පැහුණු රා, අනිකේ ලපටි රා. අංකලය අඬුව තියන ලොකු ප්ලාස්ටික් ජෝග්ගුවකින් අසෝකා වීදුරුවෙ හැඩය තියන ගෙවල් වල කාහරි ආවම වතුර දෙන්න ගන්න විදිහෙ ලොකු වීදුරුවක් කට කපල  පුරවල දෙන ප්‍රමාණය තමයි බෝතලයක් කියන්නෙ.  ඒ වීදුරුවක් පුරවල දුන්නම මිලි 750ක් අල්ලනව ඇති. අර ලොකු මේස දෙක උඩ ලොකු පීරිසි දෙකක් පුරවල හැඳි දෙකකුත් එක්ක ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු තියල තිබුණ. ඒව නොමිලේ. සාමාන්‍ය ප්‍රමාණයේ සුදුයකඩ තසිමක් පුරවාපු තම්බපු  මඤ්ෙඤාක්කා   (යකොඩෝ මේක ටයිප් කරගන්න තියන අමාරුව) සහ ලුණුමිරිස් පෝෂන් එකක් රුපියල් දහයයි. ඒවායින් දෙකක් තුනක් කෑවම වේලකට ප්‍රමාණවත්. ඒ ප්‍රමාණයේම සුදු යකඩ තසිමක් පුරවලා ඌරුමස් පෝෂන් එකක් රුපියල් හතළිහයි. ඒ ඌරු මස් වෑංජනේ බොහොම සැර උනත් දිවියලෝක රහයි කියල කියන්න ඕන. සිගරට්, බීඩි සුරුට්ටු එතන විකුණන්න තිබ්බෙ නෑ. තැබෑරුමේ කෑමබීම වල මිලගණන් සඳහන්වුනේ  ඒ විදියට.
බොර සුදුපාටකින් වීදුරුව කට කපල ලැබෙන රා "බෝතලේ" මේසෙ උඩින් තියල,  ලුණු කුඩු පීරිසියෙන් ගත්ත ලුණු  හැන්දෙන් කොටසක් රා පෙණ උඩට හලලා,  ගම්මිරිස්  කුඩු ටිකකුත් ඒ පෙණ උඩටම එකතුකරලා කටින් පිම්බම ගම්මිරිස් කුඩු කෑලි රා වල  බොර පාට අස්සෙන් අවලම්බනය වෙන හැටි බලන්න ලස්සනයි. රා බීමට කෝඩුකාරයෝ වෙච්චි අපට රා වලින් වහනය වෙන  පොල් විනාකිරි  වල අපුල සුවඳ යටපත් කරගෙන ඒ රසය අමුතු රසයක් විදිහට විඳින්න ලුණු කුඩු ,ගම්මිරිස් කුඩු සුසංයෝගයට පුළුවන් උනා කිව්වොත් වැරදි නෑ...අතුරුපසක් විදියට ඒ සුවඳ, සැර මකාගන්න වගේම බඩගින්න නිවාගන්නත් ඌරුමස් මඤ්ෙඤාක්කා තකට තක ගැලපුණු හැටි කියන්නත් දෙයක්ද. පෝල් රා වලින් ගතට දැනෙන වෙනස්ම විදිහේ මත් ගතිය , ප්‍රිය සමාගමේ දොඩමළු කම , ප්‍රණීත  මඤ්ෙඤාක්කා, ඌරු මස් සුසංයෝගයත් එක්ක මේසය වෙත වඩම්මාගෙන ආපු රා වීදුරු, ඌරුමස් ,මඤ්ෙඤාක්කා පීරිසි ගණන කීයක්ද කියල අපටම දැනුනෙ නෑ.  ළඟ මේස වල රා බීපු පිටස්තර අයත් එක්කත් දොඩමළු උනු හැටි, බයිට් ගන්න සල්ලි නැති රා විතරක් බීපු කුළී කාරයන්ගෙ පෙනුම තිබුණු සමහරුන්ටත් ඌරුමස් මයියොක්කා වලින් සංග්‍රහ කරපු හැටි, ඒ උදවිය යනකොට "මහත්තය ගිහිං එන්නං " කියල බොහොම ළෙන්ගතුව කියල ගිය හැටි තාමත් චිත්‍රයක් වගේ හිතේ ඇඳෙන හැටි අපූරුයි.
හීන වලට සමවදින්න ඕන නෑ. කොහොමින් කොහොමින් නමුත් වැඩේ ඉවරකරල යන්න පිටත් වෙච්ච අපේ සෙට් එක බීපු බෝතල් ගාන ගැන පම්පෝරි ගහනව. "අඩෝ මම බිව්ව බෝතල් පහක්" මාධවය. "යකෝ මමත් පහක් බිව්ව" සම්ම. අන්තිමට මමත් බෝතල් හතර හමාරක් බීල. දෙවියනි, කුමන බීමක් වේවා මනුස්සයෙක්ට ඔච්චර බොන්න පුළුවන්ද? මට අදටත් හිතාගන්න බැරි එච්චර ප්‍රමාණයක් බඩට අල්ලන්න පුළුවන්ද කියල. කොහොමින් කොහොමින් හරි බස් එකේ නැගගෙන යක්කලට සේන්දු වෙච්ච මමයි මාධවයයි සම්මයි කෙලින්ම ගියෙ කල්පයගෙ කොම්පියුටර් ෂොප් එකට. එතන තමයි ඒ කාලෙ අපේ ප්‍රිය සමාගමය හැමදාම ක්‍රියාශීලී උනේ. රා බිව්වම එන මත්  ගතිය බොහෝ වෙලාවක් අල්ලලා හිටිනව. හැබැයි අනිත් එව්ව වගේ නෙවෙයි . වෙරි වැඩිවෙලා පිස්සු කෙළින එක, වමනෙ යන ගතිය වගේ අතුරුපල රා බීමෙදි මතු වෙන්නෙ නෑ. හැබැයි ඉතිං වෙරි හිඳෙනකොට තමයි ඉවසන්න බැරි.  මහා කුණාචාර ගතියක් දැනෙන්නෙ. හරිම නිදිමතක් එක්ක එන අප්‍රාණික ගතියක් වගේම කලගෙඩිය වගේ පිම්බුණු බඩ නිසාවටදෝ මන්දා ගුඩුස් යනකොට එන ගඳ නම් පුදුමාකාර අප්‍රසන්නයි. ඒ වගේම තමයි වෙරි හිඳෙන වෙලාවට  දැනෙන බඩගින්නත්. එදා අතේ සල්ලි ඉවරවෙනකල් කාල බීල අතේ සල්ලි තිබ්බෙ බස් එකට විතරයි. වෙරි බහිනකල් ගෙදර යන්නත් බෑ තාත්තට මාට්ටු වෙන නිසා . මහ රෑ වෙනකල් බඩගින්නේ ඉන්නත් බෑ. හැමදාම වගේ එදත් අපේ පිහිටට ආවෙ කල්පයා. "නෙදකින් තොපි" කියල බැන බැන පහල ඩයස් හෝටලේට එක්ක ගිහිං ඌ  අපි තුන්දෙනාට කන්න අරන්දීපු හැටි ආදරයෙන් මතක් කරන්න ඕන..
රා බීමෙන් ලැබෙන  අතුරුඵලයක් තමයි බඩේළිය යාම.  පොඩ්ඩ එහෙමෙහෙ වෙච්චි ගමන් දිය තුවක්කුවෙන් වගේ යන්න පටන්ගන්නව. යීස්ට් දාල කෘතිමව හදාපු රා බිව්වම මේ වැඩේ සිද්ධ උනත් "ඔරිමජිනල් රා" බිව්වම එහෙම කිසිම දෙයක් වෙන්නෙ නෑලු. " අන්ඩටේකර්" අංකල්ගෙ ඔරිමජිනල් රා වලට පිං සිද්ධවෙන්න අපිට එහෙම මුකුත් අතුරු ආන්තරාවක් සිද්ධ උනේ නෑ..  ප්‍රයෝගික පරීක්ෂනේට සහභාගී වෙච්ච ඉතුරු දවස් දෙකෙත් අපි හිටියෙ රා බීපු මීයො වාගෙ. අන්තිම දවසෙ ඉන්ටෝල් එකෙත් රා ගහල ප්‍රැක්ටිකල් එකට සහභාගී වෙච්ච අපි ඒ වැඩෙත් හරියට කළා මතකයි. එදා මාව සර්ටත් නෝන්ඩි උනත් "කන බොන මිනිහෙක්" වෙච්චි උන්දැ නෝන්ඩියක් දැම්ම මිසක් වෙන කචල් එකක් දැම්මෙ නැත්තෙ වැඩේ හරියට කරලා තිබ්බ නිසා වෙන්නැති. අපේ සෙට් එකෙන් දෙන්නෙක්ද කොහෙද ප්‍රැක්ටිකල් එක්සෑම් එකෙන්  ෆේල් වෙලා තිබ්බෙ රා බීපු නිසා නම් නෙවෙයි. දවසක්  මම අපේ ගල් වැඩපළේ  ඉන්නකොට මහා සද්දෙට කන්ද නගින මෝටර් සයිකලයක සද්දෙත් එක්කම දඩ බඩොන් ගාල පෙරළෙන සද්දෙකුත් ආව. කිට්ටු වෙලා බැලින්නං සම්මයි මාධවයයි බයික් එක පෙරලගෙන . වාහන විතරක් එලවන්න පුළුවන් මෝට බයික් පදින්න බැරි, සම්මා වැටිච්ච තැන ඉඳන් අරූට බණිනව "මම කිව්ව තොට බැහැල යමං කියල කොහෙද ඉතිං තොගෙ පණ්ඩිතකමනෙ ". මාධවය වැටිල ඉන්න ගමන්ම  මට කියනවා"ඒ සජ්ජා, අපි ගියා මචං රා පොට් එකට". "තොපිට හොඳ වැඩේ, තනියම ගිහිං පැලිල ආවට" කියන ගමනුයි උන්ව නැගිට්ටුවේ. ඒ තැන කොච්චර හිතට අල්ලලා තිබ්බද කිව්වොතින් අරුන් දෙන්න කතාකරගෙනම ඇවිත් තියෙන්නෙ එතෙන්ට යන්නමයි. එකෙක් මහරගම අනික කිරිබත්ගොඩ.
  කොහොමින් කොහොමින් හරි අසමජ්ජාති කතාවක් ලියල අන්තිමේ මෙලෝ රහක් නැතුව ,වෙනද වගේ පඬි ටෝක් එකක් නැතුවම මේක ඉවර කරල දාන්නම්. ඔය රා, කසිප්පු  සම්බන්ධව වැඩිදුර විස්තර සහ පඬි ටෝක් බලාගන්න අවශ්‍ය නම් මගේ බ්ලොග් ලිවිල්ලෙ දෙවෙනි පොස්ටුව වෙච්ච විස කසිප්පු, හැලි අරක්කු, සීල් අරක්කු, සහ කුලීකාරයාගේ ආර්ථිකය සමඟ දැන දැනම ඊස්රායල් යෑම ….." කියවල බැලුවට කවුරුවත් මොකුත් කියන්නෙ නෑ.. .