එතකල් ඉස්පාසුවක් දෙන්න...



බ්ලොග් යාලුවෝ... අමුතුම සම්බන්ධතාවයක්... මිතුදමක්... මතවාද ඝට්ඨනයක්...රසවින්දනයකට අලුත් අරුතක්... දිවියට දැනුම සහ අත්දැකීම් එකතුකරගැනීමක් ... බ්ලොග් කියවන්නට සහ ලියන්න පටන්ගන්නට අඩිතාලම දාපු, දිරිගන්වපු මගේ අතීසාර මිත්‍රයා "මුද්දා"  මුලින්ම කියපු කතාව මතකයි...
 
"සජ්ජා.. ෆේස්බුක් කියන්නෙ මොන %^^*&^%ද බං. පොඩ්ඩක් බලපන් බ්ලොග් ලෝකය දිහා. අමුතුම දෙයක්. ඇබ්බැහි වෙනවා... දාල යන්න හිතෙන්නෙ නෑ.. නොබලා ඉන්න හිතෙන්නෙ නෑ... බලපන් බොරුද කියල.. බ්ලොග් වැඩේට සෙට් උනොත් උඹ ආයෙ ෆේස් බුක් යන්නෙ නෑ..."


කතාව සහතික ඇත්ත. බ්ලොග් කෙරුවාවට ආවට පස්සෙ බුකිය නිකන්ම අතෑරලා දැම්ම වගේ වැඩක් උනේ. බ්ලොග් ලියන සහෝදර සහෝදරියෝ ලියන දේවල් කියවන්න රසවිඳින්න ඒ දේවල් අගයන්න, විවේචනය කරන්න, මතවාදීව ගැටෙන්න ලැබුණු ඒ අවස්තාව මම නම් දකින්නෙ වාසනාවක් විදියට. මම කැමති, මම ආස බ්ලොග් ටික නොවරදවාම බලන පුරුද්ද සහ අඩුම ගානේ ඇවිත් ගියා හරි දැනෙන්න වචනයක් කොටලා යන පුරුද්ද මොන සම්බන්ධතාවයක් නිසා ආවද , ඒ සම්බන්ධතාවය සහ ඇබ්බැහිය කොහොම ගොඩනැගුනද කියනඑක මට නම් අදටත් ප්‍රහේළිකාවක්.

රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්‍රහණ සැමරුම්



"ඊයෙ සම්පතා අපේ වත්ත පහල කජු ගස් ටිකේ හොරෙන් කජු අහුලනවා. වෙලාවට මම ගෙදර හිටියෙ. පොල්ලකුත් අරගෙන පස්සෙන් පැන්නුවා. අල්ලගන්න බැරි උනානෙ අපරාදෙ. යකෝ මුන් ඒ වෙලාවට දුවන්නෙ කඟවේන්නු වගේ.." අපේ ගමේ හිතවත් අයියා කෙනෙකු වසර ගණනාවකට කලින් කී කතාවක් ඒ. කතා නායකයාට "සම්පත්" කියලා නම දැම්මත් ඇත්ත නම ඒක නෙවෙයි.
 
දුප්පත්කම නිසාවට ඕ ලෙවල් වලින් ඉස්කෝලෙ ගමන නවත්තපු සම්පතාව ගමේ වැඩිහිටි මිනිස්සු සැළකුවේ රස්තියාදුකාරයෙක් විදියට. හවසට අපිත් එක්ක බෝල ගහපු ඒ ඉවර වෙලා කඩේ පැත්තෙ කවුරුහරි සිගරට් බොන මිනිහෙක් එනකල් "සිගරට් කොටේ" ඉල්ලගන්න හොරගල් අවුලපු සම්පතාව වැඩිපුර ආශ්‍රය කරනවට අපේ ගෙදර මිනිස්සුන්ගෙත් එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ. මොකක්හෝ අත් උදව්වක් ඕන උනු වෙලාවට සම්පතාව ගෙදර අඬගහගෙන ආවම ඌ දිහා පහන් හැගීමෙන් බලපු අපේ ගෙදර උදවියම "බෝල ගහන්න කතා කරන්න එන සම්පතා" දිහා බැලුවෙ නෝක්කාඩු සිතින්.

ඒ කාලෙ  යුද්ධෙ තියන වකවානුව. ඉස්කෝලෙන් අයින් වෙලා මෝටර් කාර්මික ශිල්පෙ හදාරන අතරෙ ඒ අනුසාරයෙන් හමුදාවට බැඳෙන ආසාව කොතෙකුත් හිතේ තිබ්බත් එහෙම උනා නං ගෙවල් වලින් මාව දරුකමෙන් අස්කරන තත්වයක් තිබ්බෙ. යුද්ධ හමුදාවේ යාන්ත්‍රික බලගණයට දෙවැනි ලුතිනන් පට්ටමක් එක්ක එකතු වෙන්න තිබ්බ අවස්ථාව අපේ ගෙදර උදවිය බැනුම් වරුසාවකින් ව්‍යාර්ථ කරලා දැම්ම. පවුලේ එකම එකා වෙච්චි කරුමෙ ගැන ඒ දවස් වල අනන්ත දුක් උනා මට මතකයි.
 

යකෝ මේ වගේ උන් එක්කද විල්පත්තුව රකින්න හදන්නේ ..???



බිත්තර කටු , කුකුල් හම් , පොල් කුඩු, තුනපහ පැකට්, මාළු බඩවැල්, බෝංචි නටු , පළා අඬු , මෙකී නොකී හැම දෙයක්ම ලොකු පොලිතින් මල්ලක දාල පාර අයිනෙ දාල ගිහිං. ඒ මල්ල බල්ලො අවුස්සලා ඇතුලේ තිබුන කුණු හැමතැනම විසිරිලා... වැස්සට අහුවෙලා පොඟලා නරක වෙලා කුණු ගඳ ඉවසන්න බෑ...  කොහෙද මේ??? නගරයක් ආසන්න ප්‍රදේශයකද??? 
                       
නෑ.. ගමේ.. අපේ වත්ත අයිනෙ... ප්‍රමාණයෙන් ටිකක් ලොකු ඉඩම් තියන සහ ජනාකීර්ණ බව අඩු නිසා කව්රුත් දකින්නෙ නැති නිසා තමුන්ගෙ ගෙදර කුණු බෑග් එක ඩිස්පෝස් කරන්න කියාපු තැන. ඊයේ රෑ ගෙදර ජෝඩුව රේන්කෝට් ඇඳලා අඹු සැමි සබන්ධතා පවත්වලදත් කොහෙද.. ඊතලයක් සහිත රවුමක් විතර්ක මුද්‍රාවේ ඇඟිලි දෙකට මැදි වෙච්ච ආකාරයේ ලෝගෝ එකක් තියන "ප්‍රීති" කවරෙකුත් කුණු ගොඩේ. ඕක ඇවිස්සුවොත් ටාගට් එක අකොම්ප්ලිෂ් කරගන්න බැරිවුණු තුනී රබර් ආවරණයකට මැදිවුනු ශුක්‍රානු සාම්පලේකුත් ඇති.නැත්තං ගොන් වස්සා ඒක කොමඩ් එකට දාල ෆ්ලෂ් කරන්න ඇති (කුණු ටික දාගන්න තරමටවත් ඉඩකඩ මදි ඉඩම ඇතුලෙ කපපු වැසිකිලි වළ කෝ සෙප්ටික් ටැංකිය ඔව්ව වලින් සහ සනීපාරක්ෂක තුවා වලින් පට ගාල පිරෙයි)  එව්ව අපිට අදාළ නෑ...

ග්‍රාමීය පරිසරයක ජීවත් වෙන මට සතියට දවස් දෙකතුනක් ඔය අප්‍රසන්න අත්දැකීමට මූණපාන්න වෙනවා.ගමේ බල්ලො, කබරයෝ ටික ක්ලීනින් සර්විස් එක කලේ නැති උනොත් ගෝලයෙක් ලව්වා ඔව්ව එකතුකරලා ගිණිතියන්නත් වෙන වෙලාවල් තියනවා.

දැන් මොක්කුද ඔව්ව ගෙනත් දාන්නෙ? බයිසිකල් වල යන මිනිස්සුද? නැත්තං ගමේ එවුන්ද? එහෙමත් නැත්තං කුළියට වාහන එළවන මිනිස්සුද? නෑ... තමුන්ගෙ වාහනෙන් ඔෆිස් යන එවුං. සල්ලි වලට පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ලස්සනට ගෙයක් දොරක් හදාගත්ත වාහනෙන් වැඩට යන ලොකු පඩියකට වැඩකරන එවුං. අධ්‍යාපන මට්ටම? අතිශය ඉහලයි!!!  සමාජ දැනුම? අති විශිෂ්ටයි!!! කුණු ඩිස්පොස්  කරන තැන් නැද්ද? තියනවා ටවුන් වල, ට්‍රැෆික් නිසා ඒ තැන් වලට දාන්න කරදරයි. එහෙමත් නැත්තං ගෙදර කුණු වළක් කපාගන්න වෙලාවක් නෑ. ඒ තරමට බිසි.

වෙසක් මාරයි, දන්සැල් හමාරයි..



"මල්ලි පන්සල තව ඉස්සරහද?" තඩි හයිපයි වාහනේක යාන්ත්‍රිකව පාත් කරපු වීදුරුව අස්සෙන් ඔළුව එලියට දාපු (සන්ග්ලාස් පොල්ලකුත් පිණී බානවටද කොහේදෝ  ඔලුවෙ දාගත්තු) තඩි සයිස් මහත්තයෙක්, පුතේ කියල කතාකරන සයිස් පොඩි එකෙක්ගෙන් පාර අහනවා. "ඉස්සරහ, තව ටිකක් ඉස්සරහට යන්න මේ පාරෙම" මහත්තය කියනවද, මාමෙ කියනවද, එහෙමත් නැත්තං අන්කල් කියනවද කියල ආමන්ත්‍රණයක් හොයාගන්න බැරි වෙච්ච පොඩි එකා තටම තටම උත්තර දෙනවා. පන්සල ගැනද එහෙමත් නැත්තං දන්සැල ගැනද මන්ද ඇහුවෙ වීල් ඉස්පින් වෙන ගානට පිකප් කොරපු වාහනේ ඉගිල්ලුනේ පන්සල ලං වෙද්දී ශ්‍රද්ධාව වැඩි වෙච්චි නිසාද එහෙමත් නැත්තං දන්සැල සිහිවෙලා බඩගින්න තදවෙච්ච නිසාවටද මන්ද. ඒ අස්සෙන් අජානේය අස්ස වේගෙන් ඩබල් ත්‍රිබල් දාගෙන වෙට්ටු දාගෙන බයික් වල ඉගිල්ලෙන නහරකාර කොල්ලො, අපේ පුංචි කාලේ මතක් කරන පුෂ්බයිසිකල් වල දාඩිය පොල්ල දාගෙන දන්සැල් වන්දනාවෙ යන කොළු කුරුට්ටෝ රංචු , පයින්ම පන්සලට තලෝන වයසක ආච්චිලා , බලෙන් තැන් තැන් වල පාට පුච්චපු ඩෙනිම් ඇඳගෙන පන්සල පැත්තට අඹරවන ගමේ ගැටිස්සියෝ, උන්ගෙ කන් ගාවින් කෝච්චි ටයිප් හෝන් පිඹ පිඹ යන ඇට්ටර කොල්ලො පිරිච්ච ත්‍රීවීල්,  පන්සල් පාර කොච්චරට තදබදේකට අහුවෙලාද..
ඉස්සර බයිසිකල් කටුවත් අරගෙන දන්සැල් කන්න යාලුවෝ සෙට් ඒකත් එක්ක පාරට බහිනකොට අම්මගෙ සේෆ්ටිය සම්බන්ධ වෝනින් එක විදියට හැමදාම අහන්න ලැබෙන "අඬුපඬු  කඩාගන්නේ නැතුව රෑ වෙන්න කලින් ගෙදර වරෙල්ල" වචන සෙට් එකට අමතරව තාත්ත අහලපහලක හිටියොත් " පන්සල් යන මිනිස්සුන්ට දෙන දන්සැල්බතටත් නිකන්ම ගිහිං කෙලලා වරෙල්ල" කියල කින්ඩි කතාවකුත් අහන්න ලැබුණ. ගමේ දන්සැලෙන් ගිහිං බත් කාල එනවා කිව්වම ඒ දවස් වල ඒ වැඩේ සැළකුවේ මදිපුංචිකමක් විදියට.