ගෝ පයියා GO .....


ලෝකය බිහිවී සතියකි - හැම සතෙකුම බඩගින්නේ
යන්න එන්න තැනක් - නැතුව ලතවී උන්නේ
කන්න බොන්න යන්න එන්න - ඉන්න තැනක් දන්නෙ නැතුව
මහ ජරමර ගොඩක් මැද්දෙ - සතුන් වසන්නේ

සිංහයෙකුද තණකොළ කයි - බඩේ අමාරුවද හැදෙයි
හරක් රැළක් මාළු කමින්එක ජරමරයයි
අලියකු ගසකට බඩගා - ගහෙන් බිමට පතබෑවී
ගහ යට කිඹුලෙක් යටවී -විජ්ජුම්බරයයි

බුරියට තහනම .....!!!!!!

සජ්ජා ලෙවල් ලියන කාලෙ... හය වසරේ ඉඳන් එකට හිටපු කොල්ලන්ගෙ ෆිට් එක ලියලා වැඩුණු මල් පීදුනු යෞවනයේ උච්ඡතම අවධිය... තරඟ විභාගය නොවුණු නිසාවට කිසිම එකෙක්ගේ හිත් වල කුහකත්වයක් ගෑවිලා වත් නොතිබුණු යුගය.. ඒලෙවල් වලදි  වගේ පංති වලට අළුතෙන් කොල්ලො එකතු නොවෙච්චකලිසම් ගලෝගෙන හෙළුවෙන් හිටියත් එකෙක් වත් මොකුත් නොකියන " එකම රෑනේ ස්පිරිට් එක"... ඔය ගැන වැඩිය විස්තර කරන්න ගියොත් මේක ලියන්න වෙන්නෙ නෑ.. ලෙවල් වලින් අවසන් වෙන පාසැල් වාරෙදි තිබුණු සහෝදරත්වයෙන් ටික කාලෙකට හෝ මිදෙන්න වෙච්ච එක ගැන හැමෝගෙම හිත් වල තිබුනෙ ලොකු දුකක්. කාලේ මතකසටහන් බොහෝ දෙනෙක්ගෙ හිත් වල පැළපදියම් වෙලා තිබුණත් එයිනුත් ඔබ්බට ගිහිං සමරු සටහන් පොත් පුරවගන්න කීප දෙනකට උවමනා උනා... "ඔව්ව ගෑණු ළමයි කරන වැඩ" කියන ආකල්පය හිතේ තිබ්බ නිසාවට සජ්ජ නං සමරු පොත් වලට සමරු සටහන් එකතු කිරිල්ලක් කළේ නෑ.අනිත් එක අපේ එවුන්ට කියල අපිම සල්ලි දීල ගන්න සමරු පොත් වල කුණුහරුප සහ අපේම "කාඩ්" මොකට ලියවගන්නවද... ඔව්ව ගෙදර මිනිස්සු කාරිය දැක්කොත් මෙච්චර කාලයක් රැකගෙන හිටපු "නිර්මල චරිතය"  මොකෝ වෙන්නෙ?


"අපි ඔව්වට නෑ" කියල අනිත් එවුන්ගෙ සමරු පොත් වල සටහන් කරන එකෙන් කරඅරින කුහක මිනිස්සු නෙවෙයි අපි. සමරුපොත් දික්කරගෙන ආපු කොල්ලන්ගෙ සමරු පොත් කිසිම ලෝබ කමක් නැතුව චිත්තර කාරිය ඇඳල, උන්ට දාල තිබ්බ "නම්" අතිනුත් දාල විස්තර කරල ලියල , විශේෂ මතකසටහනුත් ඒකට එකතු කළේ බොහොම කැමැත්තෙන්. මට මතකයි අපේ එකෙක් ඔය "ඔටෝ" ලියවගත්ත හැම එකාගෙම සමරු පොත් වල අන්තිම පිටු හැම එකේම " කොච්චර යාළුවන් හිටියත් හතර අතේ... සැමා තමයි අන්තිම පිට ඉවර කළේ..." කියල කවියක් ලියල බලි කුරුටුත් ඇන්ද.ඉස්කෝලෙ තාප්පෙන් පැනපු කතන්දර, වල් පත්තර හොරෙන් බලපු කතන්දර , මගෝඩි වැඩ කරල ගුරුවරුන්ගෙන් ගුටිකාපු කේස් වගේ  හැම දෙයක්ම ඔව්ව වල කොල්ලො ලිව්වා. එහෙම බැලුවම ඔය එක සමරු පොතක් වත් ගෙවල් වල මිනිස්සුන්ට නම් පෙන්නනව බොරු. ඔය අතරෙ අපේ එකෙක් හිටිය බොහොම උනන්දුවෙන් සමරු සටහන් එකතු කරපු. "ජොකා" කියන කාඩ් එක 9 වසරේ ඉඳන්ම වැදිල තිබ්බ උගෙ සමරුපොත කොල්ලො කටුවට ඇඳපු "ජෝක්කු"න් ගෙන් පිරිල තිබුනෙ. මුගේ සමරු උණ කොයිතරම්ද කිව්වොත් මූට ඕන උනා ලෙවල් වලට අපට උගන්නපු ගුරුවරුන්ගෙ සටහනුත් උගෙ සමරු පොතට එකතු කරගන්න. "ඔටෝ" එකත් අරගෙන ගුරුවරු ගාවට ගිය "ජොකා"ගෙ සමරු උණට අනුකම්පා කරපු ගුරුවරු හැමෝම වගේ ඕකෙ " යහපත් ළමයෙක්... සුභ අනාගතයකට ආසිරි පතනවා" වගේ වැකි වලින් සුභපතල තිබුණ මතකයි.

දියව්, යකෝ දියව්........!!!!!!!!!!!

අල්ලපු ගමේ පොඩි ඉස්කෝලෙට හැතැප්ම තුනක් කුඹුරු යාය  මැද්දෙන් , බඩවැටි අයිනෙන් , ගල් ඒදඬු උඩින්,  ගෙවල් පිලිකණු අස්සෙන් සෙරෙප්පු දෙකක් වත් නැතුව පයින් බඩගාපු සුන්දර අතීතයක් මටත් තිබ්බ. වටේ පිටේ හිටපු ඉස්කෝලෙ ගිය කොලු කුරුට්ටෝ ඔක්කොම එකතුවෙලා "ගැන්සියක්" විදියටයි අපි කාලේ ඉස්කෝලෙ ගියෙ. අවුරුදු 8,9,10 වයස් වල ඉන්න කොල්ලන්ගෙ "ගැන්සි" හැක්... නානාප්රකාර විදිහේ ස්තුම් පැතුම් එක්ක , එක එක සමාජ මට්ටම් වල පවුල් වලින් ඉස්කෝලෙට ආපු විවිධාකාර කොල්ලෝ කෙල්ලො අතරේ තම තමුන්ට ආවේණික කථා විලාශ , ගති පැවතුම් සහිතව වගේම  වගේම එකම යුනිෆෝම් එක උනත් එක එක විදියට ඇඳගෙන ආපු සෙට් එකක් තමයි එකම ඩෙස් බංකු  වල එකම විෂයධාරා ඉගෙනගත්තෙ.

සපත්තු දාගෙන ඉස්කෝලෙ ආපු උදවිය වගේම රබර් සෙරෙප්පු දාගෙන සහ මොකුත්ම නැති නිරුවත් දෙපා වලින් ඉස්කෝලෙ ආපු කොල්ලොත් අපේ සෙට් එකේ හිටිය. දවස් වල  ශරීරයේ උස වේගයෙන් වර්ධනය වෙන වයසක හිටපු අපේ කමිස කලිසම් බොහෝ වෙලාවට ගෙවල් වලින් මැස්සුවෙ ටිකක් විතර ලොකුවට තියෙන්ට.  කොට කලිසමේ උනත් පහළ වාටිය ටිකක් ඉඩ තියළ තමයි මහල තිබුනෙ. කොට වෙනකොට ආයෙත් මැහුම් ලිහල දික් කරන්න පුළුවන් වෙන විදියට. ඔය කෝක කොහොම උනත් සමහර කොල්ලො ඇඳන් හිටපු කලිසම් ජංගි කොට ඇඳන් ඉන්නවා වගේ පෙනුන වගේම සමහරු ඇඳන් හිටපු කලිසම් නූතන "ත්රී ක්වාටර්" කැටගරියට වැටෙන ජාතියෙ එව්ව.