සීයගෙ මරණෙ සමඟ අටපිරිකර, සාංඝීක දාන කතා සමග "ධනපාල ICU" .....



කාලෙකට පස්සෙ.... ආයුබෝවන් , වාසනාවන් කිව්වා ඔන්න එහෙනං කට්ටියටම.. දහසක් දේවල් ලියන්න හිතේ තිබුනත්, ඉවාන් "කරුමෙ ඩබල් පින සිංගල්" කිව්වෑහැ මිනිස්සුන්ට ප්‍රශ්ණ කරදර සහ කාර්යබහුලත්වය එනකොට එන්නෙ ගස් ගල් පෙරලාගෙන. පොඩි කෙල්ල ඉපදුණ දවසෙන් පටන්ගත්ත වෙලාවක් ඉස්පාසුවක් නැතිකම, ඊට හරියටම මාසෙකින් අපේ සීය අන්තරා උනාම ගිනි විජ්ජුම්බරයක් උනා.... හරි හරි සීයට නිවන් සැප ලැබේවා... උඹලගෙ බලවත් කණගාටුව නිසාවට ඔන්න දැන් අපේ සීය දිවිය ලෝකෙ...


සීයට අඩුවක් පාඩුවක් නොවෙන්න හැමදාම සලකපු අපට ඒ සම්බන්ධයෙන් අබමල් රේණුවක තරමක් වත් පසුතැවිල්ලක් හිතේ නෑ.. උන්දෑ ඉන්න කාලෙ හරියට කන්න බොන්න දීල බෙහෙත් අරන් දීල සාත්තු සප්පායම් කරල මැරෙනකල් හොඳින් බලාකියාගත්ත අපට අවුරුදු 87ක් ජීවත්වෙලා අපිව දාල ගියා කියල හිතේ ලොකු දුකක් නෑ. එක්තැන් නොවී , අපා දුක් විඳින්නෙ නැතුව එකම මුණුබුරාගේ අත උඩ අන්තිම හුස්ම අරින්න තරමට අපේ සීය පින් කරල තිබුණ. මළමිනිය මාකට් කරකර දවස් ගණන් වටේ මිනිස්සුන්ට එන හැත්ත බුරුත්තට කන්න දෙන්න කරදර කරකර ඉන්නඑක එක අතකින් බැලුවම  කරදරයක්වෙන  නිසාවට මැරුණු දාට පහුවදා උන්දැව ආදාහනය කළා. දුර ඉඳන් අවසාන ගෞරව දක්වන්න එන්න තරම් නෑදෑයෝ නැති නිසා වගේම එහෙම ඉන්න එවුං සීය ජීවත්වෙලා ඉන්න කාලෙ උන්නද මළාද කියල නිකමටවත් ඇහුවෙ බැලුවෙ නැත්තං ඒ වගේ නෑදෑයෝ "මිනිය බලල දෙකට නැවිල යන්න අහවල් එකකට එනවද" කියන අදහස හිතේ තිබුන නිසා කරවල උම්බලකඩ කරකර දවස් ගණන් මිණිය "මාකට්" නොකරන්න තීරණයකළා.