දංසල් කාල එහෙම මරණාධාර සමිතියට ගොඩවෙමු



වෙසක් මාසෙත් ලඟයි. මාසෙ වගේම වෙසකුත් බොහොම ලඟයි. ගමේ මළගෙයක් වෙලා මළගෙදර ඉවර උනාට පස්සෙ පාලම්කොඩි ගලවන කොල්ලො දෙන්නෙක් එක්ක කයිවාරුවක් ගගහ හිටියෙ මේ වෙසක් එකට මොකද්ද කරන්නෙ කියන කාරණාව ගැන.


කැරකෙන කූඩුවක් හදනවද, දන්සලක් දෙනවද, ගමේම මිනිස්සුන්ට එකම මෙෂර්මන්ට් එක දීල අටපට්ටම් පෝලිමක් පාර දිගට එල්ලනවද , එහෙමත් නැත්තං තඩි අටපට්ටමක් හදල පොලිතින් වලින් කවර් කරලා හන්දියේ එල්ලනවද කියල. යකෝ පුදුමේ කියන්නෙ මුන් එකෙක්ටවත් එහෙම වැඩක බරක් අරන් කරන්න කොන්ද පණ නෑ. නිවාඩු නෑ අයියෙ, හෙන බිසි අයියෙ, සල්ලිත් නෑ අයියෙ. නෙදකින් විතරක්. යකෝ සල්ලි තිබිලද අපි ඔව්ව කොලේ ඒ දවස් වල. පවුල්කාරයෙක් වෙලත් මට තියන අමාරුව මුන්ට නැති හැටි. තොපිට බැරි නං මට මොකෝ.(එහෙම කියලත් බෑ. මොකක් හරි කෙමනක් අටවන්න ඕන මේ පාරත්)
ඇටෙන් පොත්තෙන් ඇවිත් බයිසිකල් කටුවක් පදින්න පුරුදු වෙච්ච කාලේ ඉඳන් අපේ සෙට් එක දන්සැල් කන්න ගියා බයිසිකල් වල. රෑට වෙසක් බලන්න ගියා ලෑන්ඩ්මාස්ටර් (අත් ට්‍රැක්ටර්)වල. ඒ සම්බන්ධ අත්දැකීම් අනන්තයි අප්‍රමානයි. බයිසිකල් වල දන්සැල් කන්න යනකොට ප්ලාස්ටික් බෝතල් බෑග් එකක දාගෙන යන්නෙ. බීම දන්සැල් වලින් ඉල්ලගෙන පුරවගෙන පස්සෙ ආයේ බොන්න. කොලිටි බීම දෙන තැන්වලින් තමයි බෝතල් පුරවගන්නෙ. නිකන්ම "පච්ච වතුර" මොකට පුරෝගන්නවද. බයිසිකල් වලින් දන්සැල්ම කන්න බලාගෙන යන අපි වගේ පොඩි කොල්ලො කුරුට්ටොන්ට දන්සැල් දෙන පින්වත්තු කොඩිය අල්ලන්නෙත් නෑ ගොඩක් වෙලාවට. අපිව ගණන් ගන්නෙත් නෑ. අපිට මොනා කොඩිද? කොඩි ඇල්ලුවත් නැතත් බලෙන් ඉල්ලගෙන හරි බොනවා බීම.

සිංහ ලේ vs බලු කිරි



මේ ඒයි... මට නං බෑ ඔන්න කිරි දෙන්න නං. බොඩි ශේප් එක අවුල් ගියාම එක සිංහයෙක් වත් මං දිහා බලන එකක් නෑ..
එහෙම කියල පුලුවන්ද සුදූ.. කිරි නොදී පොඩි එවුං තණකොළ කන්නද? අනික අර පුරාණ කවි සිංදු වලත් තියෙන්නෙ "තණකොළ නොබුදිති සිංහ පැටවු" කියල.
 
අනේ යන්න මෙයා යන්න , ඕන එකෙක්ට කියල කිරි දෙන එකයි ඇත්තේ .. මට නං බෑ... තමුසෙ නං කියයි.. සිංහ පැටවු වදල වදල අන්තිමට මට වෙන්නෙ සිංහයෙක් වත් බලන්නෙ නැතිකොට වේලි වේලි ඉන්න.

හරි දැන් මොකද්ද කිරි දුන්නම තමුසෙට වෙන්නෙ?
බොඩි ෂේප් එක අවුල් යනවා ඕයි. නිවුඩෙන් හිටපු මට  අන්තිමට "පුෂ්-අප් බ්‍රා" ඇඳගෙන තමයි ඉන්න වෙන්නෙ.


ඉතිං ඕයි නාකි තමුසෙට මොන ඉස්ටයිල්ද? මොන සෙල්ලන්ද? නහින දෙහින කාලෙ රැලේ එකෙක් අල්ලගත්ත සතෙක්ගෙ කුණක් කාලා පැත්තකට වෙලා ඉන්නවා මිසක්.

... අනේ නිකං යනවා යන්න. කෝ තමුසෙගෙත් ලොම් හැලිලත් තමුසෙ පැත්තකට වෙලා නිකං ඉන්නවද? අඩුගානේ රැලේ අලුත් එවුං කරන දඩයමකට වත් සපෝට් එකක් දෙනවද? කට්ටිය සතෙක් අල්ලගන්න කුරුමානම් අල්ලනකොට තමුසෙ බොරු ගර්ජනාවක් දාල සතාව පන්නනව මිසක්. පුළුවන් මගුලකුත් නෑ ...
මේ මේ.. මට තාම පුළුවන් හරිද, වයසට ගියත් මං තාම කොල්ල වාගෙ... තමුසෙට පොඩි එවුන්ට කිරි දෙන්න බැරි නං නිකං ඉන්නව. මගේ වැඩ මං නවත්තන්නේ නෑ... හිටහන්කෝ.. මං කිරි දෙන්න වෙන සිංහ ධේනුවක් හොයාගන්න..

පෝස්ට් අවුරුදු ඇනැලසිස් ...!!!!



කම්මැලියි... අතපයත් හිරි වැටිලා... ඔළුවට මහා හිස් බවක් ඇවිල්ල... රතිඥ්ඥා සද්දෙ නැති නිසාද මන්දා පරිසරයත් නිශ්ශබ්දයි...අරියාදුවට වගේ කොහාත් ඉඳල හිටල කෑගහනවා....කන්න බැරි පුස් කේක් උස්සගෙන විඩෙන් විඩේට නෑදෑයොත් ගෙට ගොඩවෙනවා... උන්ගෙ බොරු වල්පල් අහගෙන ඉඳල ඔළුවත් මඥ්ඥං වෙනව... බොරුවට හිනා වීගෙන ඉඳල කම්මුල දෙපැත්තත් රිදෙනව... උන් යනකොට උන්ට වැඳලා කොන්දත් රිදෙනව... පොඩි උන්ගෙන් බුලත් අරං ඔලුව අතගාලම අතත් රිදෙනව... උන්ට කීය කීය හරි දීල සාක්කුවටත් රිදෙනව...

අම්මගෙ කන්දොස්කිරියාවෙන් බේරෙන්න පලයල්ලකෝ දැන් නෑදෑ ගෙවල් කවර් කොරන්න. ඒ ගෙවල් ඔලිං  කන්න දෙන ජාති කන්න පුළුවන් නං ඒත් කමක් නෑ. පුස් කාගෙන එන කැවුම්, කොකිස් , සබන් රහ කේක් කාලා, බීපල්ලකො සීනි කියන නාමයක් නැති කටේ තියන බැරි තරමට කහට දාපු තේත්. බඩත් කචල් වෙලාද මංදා තරු හෝටල් කෑම තිබ්බත් කන්න හිතෙන්නෙ නෑ. අර ටියාරා කියන මල ජරා කේක් ජාතිය ගෙවල් වලට ගේනවට වැඩිය හොඳයි "කුකුළා පාන්" ගෙඩියක් ගෙනාව නං. ඒත් දැන් "කුකුළා පාන්" කඩවල් වල නෑ. "නාරං බික්" , "ඇඟිලි ඉස්කෝතු" , "සව්බෝරෝ" , "බුල්ටෝ" , "පකඩ" , "බට්ටො විස්කෝතු" , " හුළං විකොතු" දැන් කඩවල් වල නෑ. තිබුනත් එව්වට දැන් පොෂ් නම් වැටිල නිසා ඒ නමින් ඉල්ලුවොත් මුදලාලිය මූණ දිහා බලනව. "බට්ටො විස්කෝතු" ලස්සනට පැකට් කොරල "ජේම් බිස්කට්" වෙලා. ඉස්සර "කුකුළා පාන්" නිකම්ම ඉටි කොලේක ඔතල තිබ්බට දැන් එව්ව සීල් කරලා ලස්සන පෙට්ටියක දාල "ඩේට් කේක්" කියලයි විකුණන්නේ. ඉස්සර ඔය කියන කෑම ජාති හෙන රහයි. දැන් එහෙම නැත්තෙ ඉස්සර ඔව්ව කාලාතුරකින් කන්න ලැබෙන නිසා වත්ද?  දැන් ෆ්‍රිජ් එකේ තියන ඇපල් ගෙඩියට වැඩිය ඉස්කෝලෙ ඇරිල පාර අයිනෙ ගහකින් පොලු ගහල කඩාගත්ත අඹ ගැටේ දිවියලෝක රහ වෙන්න හේතුව වයසෙ වැරද්දද ? එහෙම නැත්තං ඒ කාලේ අපි හිටියෙ බඩගින්නේද? අම්බරැල්ල ගෙඩියක් නැත්තං, වෙරළු ගෙඩියක් හරි කාපු , ලොකු ලොකු කෑම මුකුත්ම නැත්තං කොට්ටන් මද ටිකකට හරි වැඩේ දීපු , පිනිජම්බු ගෙඩි තිබ්බෙ නැත්තං පිනි ජම්බු මල් ටිකට හරි වග කියාපු , ඒකත් නැත්තං කවුරුහරි කාලා විසිකරලා පරණ වෙච්ච වෙරළු ඇටෙත් තලලා කාපු අපිට ඒ දැනුනු රසය දැන් පිස්ටාශියෝ කෑවත් දැනෙන්නෙ නැත්තේ ඇයි? හේතුව බඩගින්නද? වයසද? අනේ මන්ද..

අවුරුදු උණට උණ වෙඩිල්ලක් ...!!!

කොල්ලෙක්  උනාම අවුරුද්දට උණ වෙඩිල්ලක් හැදුවෙ නැත්තං අවුරුද්දට චාරිත්‍ර ඉෂ්ට කොලේ නෑ වගේ තමා ඒ කාලෙ නං. උණ වෙඩි හදන ටෙක්නික් එක අපිට නං හම්බුනේ ගමේ සමාජෙන්ම තමයි. තෝරලා බේරලා උණ ගස් වල පුරුක් ගැනල අත්ත මුත්තා කාලේ ඉඳන් අවුරුද්දට උණ වෙඩි හදාපු පරම්පරාවේ අවසාන පුරුක් තමයි අපි.

 උණ වෙඩිත් එක්කම ඈඳෙන තවත් දෙයක් තමයි බීරංග. සීයලාගේ කාලේ මගුල් ගෙදරක ජෝඩුව පිටත් වෙද්දිත් ගහල තියෙන්නෙ බීරංග.  අවසාන වතාවට බීරංග කතාවක් දැකල අහන්න ලැබුණේ "බෝඩිම" ටෙලි නාට්ටෙන් තමා. බෝඩිමේ කට්ටිය වේදිකා නාට්ටි නාඩගමක් නටනකොට අහස ගුගුරුවාගෙන, පොලව දෙදරවාගෙන යකෙක් වේදිකාවට එන ජවනිකාවේදී වේදිකාව පිටිපස්සෙ ඉඳන් බීරංගයක් ගහනකොට වෙච්ච ඇබැද්දිය ඒක බලපු කට්ටියට මතක ඇති. බීරංගෙ ගලේ ගහනකොට පොඩ්ඩක් මිස් වෙලා ජවනිකාවට වේදිකාවට නගින්න හිටපු යකාගෙ කකුලෙ වැදිල ඌ මර ලතෝනි දීගන දුවල හෙන විජ්ජුම්බරයක් උනා කට්ටියට මීටර් ඇති. අපි ඔව්ව කොරන කාලේ බීරංග වඳ වෙලා. ටෙක්නික් එක අස්ථානගත වෙලා. බීරංග වෙනුවට රතිඥ්ඥා ඇවිල්ල. ඒ උනත් ඒ කාලේ පොඩි "model බීරංගයක්" බයිසිකල් ස්පෝක් එකකින් හදල ගිනිකූරු වෙඩිබේත් පුරවල පොඩි ඇණයක් සෙට් කරලා පත්තු කළා මතකයි. හැබැයි ඒකෙ සද්දෙ ටිකක් සැර මදි. ඔන්නොහෙ බීරංගෙ අල්ලලා දාමු. ඒ ගැන හරියට දන්න කවුරුහරි ඒකෙ තාක්ෂනේ ගැන කිව්වොත් අපිත් දැනුවත් වෙන්නම්.

අඩෝ.. මේක අපේ අති පාරිශුද්ධ අහවල් එක ඩෝ..!!



" ළාට රටේ සිට නැව් නැගලා.. තම්මැන්නාවට ගොඩ බැහැලා..." ඔන්න කොල්ලො සිංහල මෙව්වා එක පටන් ගන්නේ ඔහොමයි.. අපිට ඉගැන්නුවෙත් එහෙමයි , අහල තියෙන්නෙත් එහෙමයි. ඓතිහාසික කාරනාවක් විදියට සිද්ධවෙලා තියෙන්නෙත් ඔය සිද්ධියමයි. මේ ලියවිල්ලෙන් ලියන්න උත්සාහ කරන්නෙ ඕක එක සිද්ධියක් විතරයි කියන එක. තාත්තට කොන්ට්‍රෝල් කරගන්න බැරි උන , ගෙදර( වැරදුනා ... රජ මාළිගාවේ) , ගමේ තියා , රටේ වත් තියාගන්න බැරි වෙච්ච විජය නම්වූ  "මදාවි" පුත්තරයා උගෙ මදාවි පාප මිත්‍රයො හැත්ත බුරුත්තත් එක්කම බෝට්ටුවක දාලා "යන අතක මකබෑවියන්" කියල පන්නන්න සිංහබාහු රජ්ජුරුවන්ට සිද්ධ උනා.

කොහෝ කොහෝ......මොනමගුලට කොහෝ කියනවදෝ....?



නන්දා මාලිනී "ප්‍රේමයේ මධුර බව මෙයයි" කියලා " ඔබයි රම්‍ය සඳ කිරණ .." සිංදුව කිව්වා වගේම "ප්‍රේමයේ රුදුරුබව මෙයයි" කියල "දෙතොලම පුපුරා ලේ ගැලුවා.." සිංදුව කිව්වා මතක ඇති. හැම දේකම දෙපැත්තක් තියනවලුනේ. මෝඩයාගේ දවසෙන් අවුරුදු මාසෙත් උදා වෙලා. උදේට උදේට ඇහෙන කොහාගේ සද්දෙත් එක්ක එලිවුනු වෙලේ ඉඳන් රෑ වෙනකල් මාකටිං කාරයොන්ගෙ අවුරුදු මාකටිං, අවුරුදු සේල්, රතිඥ්ඥා සද්දෙන් "අවුරුද්දේ සොඳුරු බව මෙයයි" විදියේ මිහිරි හැඟීමක් නිතැතින්ම  හිතට ගලාගෙන එනවා. ටීවී වල, රේඩියෝවල, පත්තර වල නං අවුරුදු අසිරිය බේරෙනවා හෝ ගාලා.  ඒත් ඉතිං  ආර්ථික අපහසුතා තියෙන , පවුලේ වගකීම් දරන, වැඩකරන මිනිස්සුන්ගේ හිතට "අවුරුද්දේ රුදුරු බව මෙයයි" විදියේ හැඟීමකුත්  නොදැනීම වගේ හිතට එන බව මටත් දැනිල තියනවා. හැමෝටම "මේ අවුරුදු කාලේ .. තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ" හිනාවෙන්න බෑ.